
තිස්ස අබේසේකර මහතා අභවප්‍රාප්ත වී වසර 8 ක් ගත වී ඇති අද දවසේ ඔහු අනුස්මරණය කරමින් කවර කරුණක් සිහිපත් කළ යුතුදැයි යන්න මම කල්පනා කරන්නට වීීමි. ඔහු මෙරට පහළ වූ අසාමාන්‍ය කුසලතාවන් ප්‍රකට කළ ද්විභාෂා උගතකු බව බොහෝ දෙනා කියනු ඇත. සිනමාව, සාහිත්‍යය, වේදිකාව, සංගීතය හෝ මූර්ති ශිල්පය වැනි කවර කලාවක් අරබයා වුවද ඔහු සතු වූ දැනුම අසාමාන්‍ය වූවක් බැව් ඔවුන් කියනු ඇත. එසේම සිංහලෙන් හෝ ඉංග්‍රීසි බසින් ව්‍යක්ත ලෙස දේශන පැවැත්වීමටත් සිනමා මාධ්‍යය පිළිබඳ ඉගැන්වීමටත් ඔහු තුළ වූ දක්ෂතාව අගයමින් කරුණු කාරනා ඉදිරිපත් කරනු ඇත. එහෙත් මේ සියලු ක්ෂේත්‍රයන් පිළිබඳව ඔහුගේ මැදිහත් වීම හේතුවෙන් ඔහු තුළ සිටි විශිෂ්ට සාහිත්‍යකරුවා සැඟවී ගියාදෝයි වැනි හැඟීමක් මා සිත තුළ ඇති වේ. සිනමාවත් සිනමා තිර රචනකරණයත් නොව ‘සාහිත්‍යකරණය‘ කෙරෙහි යොමුවූවා නම් හෙතෙම මෙරට විශිෂ්ටතම සාහිත්‍යකරුවකු වීමට ඉඩ තිබුණා යැයි මට සිතේ. ඇතැම්විට ඔහු මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම ලේඛකයා හා සාහිත්‍යකරුවා වීමට ද ඉඩකඩ තිබූණාය යන්න බැහැර කළ නොහැකියි.
එහෙත් ඔහුගේ යුගයේ දී මුළුමනින්ම සිංහල භාෂාවෙන් සාහිත්‍යකරණයේ නියැළීම ආර්ථික වශෙයන් එතරම් ඵලදායී කටයුත්තක් නොවූවා විය හැකියි.
සිනමාව අරබයා ඉංග්‍රීසි බසින් පළවී ඇති සර්ජි එම්. අයිසන්ස්ටයින්ගේ Film from හා Film sense අන්ද්‍රේ බැසෑන් විසින් රචිත what is cinema හෝ සිග්ෆ්‍රයිඞ් ක්‍රකේවර් ගේ Film theory මෙන්ම අන්ද්‍රේ තර්කොව්ස්කි ගේ Sculpting in time වැනි විශිෂ්ට කෘතීන් සිංහලට පරිවර්තනය කිරීමට ඔහු තරම් දැනුවත්භාවයක් තිබූ සිනමා විද්වතෙකු මෙරට සිටියාදැයි මම නොදනිමි. එවැනි ග්‍රන්ථ කිහිපයක් හෝ සිංහලට පරිවර්තනය කිරීමට උත්සාහ නොකරන්නේ මන්දැයි වරක් මා ඔහුගෙන් විමසූ කල ඔහු කියාසිටියේ එවැනි කටයුත්තකට කාලය මිඩංගු කිරීම තමාගේ නඩත්තුවට ප්‍රමාණවත් නොවන බවයි.
ඔහු කීවේ සත්‍යයකි. මන්දයත් සිනමාව සම්බන්ධ ග්‍රන්ථ සාමාන්‍යයෙන් පිටපත් 500ක් හෝ මෙරටදී අලෙවිකරගැනීමට හැකිවන්නේ කලාතුරකින් වීමයි. තිස්ස අබේසේකරයන් විසින් රචිත ‘පිටගම්කාරයෝ‘ නම් වූ රසවක් තිර රචනාව ඇතුළත් ග්‍රන්ථයේ පිටපත් රැසක් වේයන් කා දමා ඔහුගේ නිෙවසේ ගොඩගසා තිබෙනු වරක් මම දුටුවෙමි. පසුකලෙක ඔහු සඳහන් කළේ සිංහල භාෂාවෙන් ග්‍රන්ථකරණයේ යෙදීමට වඩා මුලසිටම තමා ඉංග්‍රීසි බසින් එකී කටයුත්ත කළේනම් වඩා සාර්ථකත්වයක් ලැබීමට ඉඩකඩ තිබූ බවයි. ඉංග්‍රීසි බසින් පළකළ එක් ග්‍රන්ථයක් හෝ විදේශීය ප්‍රකාශකයෙකු ලවා පළකර ගැනීමෙන් සාර්ථකත්වයක් ලැබුවේ නම් මුළු ජීවිත කාලයටම එය ප්‍රමාණවක් විය හැකි බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය. එහෙත් එකී අදහස තමාට පහළවන විට බොහෝ ප්‍රමාද වී තිබීයැයි ඔහු කීවේය. සිය ජීවිතකාලයේ අවසාන භාගයේ දී ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ කිහිපයක් ම රචනා කිරීමටත් ඒවා අන්තර්ජාතික මටිටමින් පළකිරීමටත් ඔහු උත්සාහ කළේ එබැවිනි.
Bringing tony home නම් වූ කෙටි නවකතාව‘ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලැබූ පසු ඔහු එයට තවත් කථාංග කිහිපයක් එක්කොට අමරිකානු ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් මඟින් ප්‍රකාශයට පත්කළේය. එහිදී ඔහුට සහය වූයේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අන්තර්ජාතික කීර්තියක් හිමිකරගත් මයිකල් ඔන්ඩච්චි නම් ලේඛකයායි. මෙම ග්‍රන්ථය එතෙරදී සාර්ථකත්වයක් ලැබුවාද නැද්ද යන්න දැනගැනීමට ප්‍රථම ඔහු මිය ගියේය.
ඔහු විසින් රචිත In the kingdom of the sun and the holy peak නම් කෘතිය මෙරට විචාරකයින් ගේ නොමඳ පැසසුමට භාජනය විය. ඔහුගේ ඉංග්‍රීසි ග්‍රන්ථකරණය පිළිබඳ කිසියම් තක්සේරුවක් කිරීම සඳහා මෙකී ග්‍රන්ථ ද්වයය පමණක් වුවද ප්‍රමාණවත් යැයි සිතේ.
සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි බසින් ද ඔහු ලියූ ලිපි ලේඛන ප්‍රමාණය ද අතිවිශාලය. ඒ සියල්ල මෙතෙක් ග්‍රන්ථ වශයෙන් ප්‍රකාශයට පත් වී නැත.
සිංහල බසින් ඔහු කළ රචනා මෙන්ම තිර රචනා තුළද පිළිඹිබුවූයේ උසස් සාහිත්‍ය රසයකි. ‘පිටගම්කාරයෝ‘ නමින් ඔහු රචනාකළ තිර රචනය වඩා ළංවූයේ නවකතාවකටයි.
එහි පළමුවන පරිච්ඡේදයේ එන පහත සඳහන් විස්තරය සලකා බලන්න.
‘ එය වර්ෂ 1917 ක් වූ දුරුතු මහේ එක් හිමිදිරි උදයකි. ජුබිලි කණුවේ සිට කොට්ටාව දක්වා දිවෙන තාර පාර නාවින්නේ කඳු ගැටයෙන් බැස, වෙල්යායක් අද්දරින් මහරගමට හැරෙන ස්ථානයේ පිහිටි කුඩා දුම්රියපළ අවට ප්‍රදේශය ගන මීදුමින් වැසී ඇත. දුම්රිය ස්ථානයේ පළින් පළ දැල්වෙන ගෑස්ලාම්පුවල එළිය මීදුම් පටලය විසින් පරාවර්තනය කරනු ලැබ අවට වූ අඳුර තුනී කරයි. සාමාන්‍ය දිනක මේ වේලාවට මෙහිදී දැකිය නොහැකි තරම් පිරිසක් අද නාවින්න දුම්රියපළට රැස්ව සිටිති. බඩු පුරවාත් කොට්ට උර, බටකොළ පෙට්ටි සහ පන්මලු වැනිදේ අතින් කටින් එල්ලාගෙන සුදුවතින් සැරසී සිටින ඔවුහු සිරිපාද වන්දනාවේ යන ගැමියන් පිරිසකි.
කොළඹ සිට ඕපනායක දක්වා දිවෙන පුංචි කෝච්චියේ නැඟ කුරුවිටින් බැස පලාබද්දල ඔස්සේ ‘පද්මේ‘ වඳින්නට යන සැදැහැවතුන් දුරුතු මහේ සිට බක්මහ දක්වා වූ සිරිපාද වන්දනා සමයේ දී එකල බහුලව දැකිය හැකිවිය.
නාවින්න දුම්රියපළ ඉදිරියෙන් වූ වෙල්යාය වමට හැරී මහරගම ඔස්සේ ඇරැව්වල තෙක් දිවෙන අතර දකුණට හැරී බොරලැස්ගමුව බෙල්ලන්විල ඔස්සේ අත්තිඩිය දක්වා දිවෙයි. ඒ මහ වෙල්යාය දෙපස ගංගෙඩවල ජීවත් වූ ගැමියන් පිරිසකි මේ මොහොතේ දුම්රියපළට රැස්වී සිටිනුයේ. ‘
තිස්ස අබේසේතරයන්ගේ රචනා විලාසය විසින් පරිසරය මෙන්ම මෙරට සංස්කෘතිය, ඉතිහාසය මෙන්ම පුරා විද්‍යාව වැනි ක්ෂේත්‍ර පිළිබඳ වූ ඔහුගේ පෘථුල ඥානය පිළිඹිබු වේ. සිනමා මාධ්‍යය පිළිබඳව ඔහුකළ විග්‍රහයන් තුළින් පිළිබිඹු වූයේ ද බටහිර විශිෂ්ට සිනමා මූලාචාර්ය වරුන්ගේ ගැඹුරු චින්තනයයි.
තිර රචනය පිළිබඳ ඔහු විසින් පළකළ අදහසක් ‘විරාගය‘ තිර නාටකයේ පෙරවදනේ මෙසේ සඳහන් වේ.
’තිර රචනයක් යනු ස්වාධීන කලා කෘතියක් හෝ පරිසමාප්ත ප්‍රකාශනයක් හෝ නොවේ. එය කලා කෘතියක පරිනාමයේ එක් අවස්ථාවක් පමණි.
කිසියම් පුද්ගලයෙකුගේ මනසේ පිළිසිඳ ගන්නා සංකල්පයක් එය පිළිසිඳ ගත්තවුන්ගේ මනාපය රුචි අරුචිය දැන උගත්කම හා ප්‍රතිභාව අනුව කවියක්, නවකතාවක් හෝ වාක්‍ය රචනයක් ලෙස බිහිවන්නට පුළුවන. මින් කුමක් ලෙසින් බිහි වුවද එය උත්තම, මධ්‍යම හෝ අවම යනුවෙන් පැරණියන් විසින් නිර්මාණයන් වර්ග කරන ලද විවිධ ගණයේ කුමන ගණයකට අයත් වුව ද එය ඒකීය වස්තුවක් ලෙස ගෙන අපට විග්‍රහ කළ හැකිය. එහෙත් තිර රචනයක් ගැන එබන්දක් අපට කිව හැකිද?’
තිර රචනය පිළිබඳව ‘පිටගම්කාරයෝ’ ග්‍රන්ථයේ පෙරවදනේ දී හෙතෙම තවදුරටත් මෙසේ සඳහන් කරයි.
ඈත ධූලින් වැසීගිය ඇත් රජයැ- මෑත සවනක් බුදුරැසින් සැදීගිය බුදු රජාණෝයැ- බුත්සරණ
නවකතාවක මෙන්ම තිර නාටකයක ද මූලික අරමුණ වන්නේ කතන්දරයක් කීමයි.
එහෙත් නවකතාවත් තිරනාටකයත් අතර මූලික වෙනසක් ඇත. නවකතාව බසින් පටන්ගෙන බසින් කෙළවර වෙයි. තිර නාටකය බසින් පටන්ගෙන රූපයෙන් කෙළවර වෙයි. තිර නාටක රචකයා භාෂාව යොදාගන්නේ අවසානයේ දී තිරයේ මතුවන රූප හා ශබ්ද මාලාවන් විස්තර කිරීම සඳහා පමණි. එතැන දී කාව්‍යෝක්තීන් භාවිතා කිරීමෙන් පලක් නැත.
’ ගලන දහර හිරුරැස් තව පුළුල්වෙමින්
පේර ගසද එය දැන් සිපගෙන ඇතිය
පිටුපාමින් සිටිනා ඇගේ කෙස් රොදකුත්
එය අල්ලා සිපගත් බව පෙනුණි මට ‘
‘ගලන හිරුරැස් දහර පේර ගසත් එයට පිටුපා සිටින ඇයගේ කෙස් රොදකුත් සිප ගත්තා‘යනු කාව්‍යෝක්තියකි. එයට හේතුව ඉන් රූප මාලාව ඉක්මවා යන කල්පනා ලෝකයක් ධ්වනිත වන බැවිනි. මේ කවියෙන් මතුකරන්නා වැනි සංකීර්ණ රසයක් රූපයක් මුල්කොටගෙන ධ්වනිත කළ නොහැකිය යන්න මින් අදහස් නොකෙරේ. එහෙත් එය කිරීම සඳහා අප රූපය කිසියම් ආකාරයකට භාවිත කළ යුතුය. ඒ භාවිතයේ දී අප විසින් යොදාගනු ලබන්නේ රූපයටම ආවේණික ප්‍රයෝගයන්ය. එක් රූපයක් තවත් රූපයක් හා සන්ධි කිරීම තුළින් අරුත් මතුකිරීමට අපි උත්සාහ කරමු. එය කාව්‍යෝක්තිය නොවේ. මන්ද කාව්‍යෝක්තිය අවශ්‍යයෙන්ම බස ආශ්‍රිතව සකස් වී ඇත්තාවූ ද බසේ ඇති අර්ථ ධ්වනි හා ශබ්ද ධ්වනි ආත්මකොටගත්තාවූ ද ප්‍රකාශයක් බැවිනි‘
තිස්ස අබේසේකරයන් මෙහි දී අයිසන්ස්ටයින් වැනි බටහිර සිනමා විද්වතුන් ගේ මතවාදයන් පමණක් නොව සිංහළ සාහිත්‍ය පිළිබඳව ද හසල බුද්ධියක් ඇති විද්වතකු බැව් ප්‍රකට කරවයි. වඩාත් වැදගත් වන්නේ ඒ සියල්ලේ සංකලනයක් අතිශයින් සුඟම බස් වහරක් ඇසුරෙන් ඉදිරිපත් කිරීමට හෙතෙම සමත්වීමයි.
මෙරට වත්මන් සිනමා ලේඛකයින් හා විචාරකයින් ගේ දුරවබෝධය දනවන ඇතැම් ලිපි ලේඛන හා ග්‍රන්ථ පරිශීලනය කිරීමේ දී පැහැදිලි වන්නේ තිස්ස අබේසේකර ගේ ලේඛනවල විශිෂ්ටත්වයයි. ඔහුගේ ලේඛන කෞශල්‍ය මැනැවින් ප්‍රකට කළ ‘පිටගම්කාරයෝ ‘කෘතිය මැනැවින් පරිශීලනය කිරීමේ දී පැහැදිලි වන්නේ එය පාදකකොට ගෙන ඔහු විසින්ම නිර්මාණය කළ ටෙලිවෘතාන්තය ට එය අතික්‍රමණය කිරීමට නොහැකි වූ බවයි. ඔහු විසින් රචනා කළ බොහෝ තිර රචනාවලට ද අත්වූයේ එයම යැයි මට සිතේ. තිස්ස අබේසේකරයන් වරක් පැවසූ පරිදි වචනයෙන් නිපන් නිර්මාණයක් රූපයට නැඟීම පහසු නොවේ. ‘පිටගම්කාරයෝ ‘ රචනයෙහි අතුළත් වචනයක් වචනයක් පාසා ධ්වනිතවන ව්‍යංග්‍ය රසය කැමරාව හා මයික්‍රෆෝනය හරහා ප්‍රතිනි්ර්මාණය කිරීම අතිශයින් දුෂ්කර කටයුත්තක් වූ බැව් එම ටෙලිවෘත්තාන්තයේ කැමරා ශිල්පියා වූ මම හොඳින් දනිමි. මේ සියල්ලටම හේතුව ඔහුගේ තිර රචනා වඩාත් ළංවූයේ සාහිත්‍ය කෘතීන්ට වන නිසයි. හෙතෙම සිනමාකරුවකු නොවී සාහිත්‍යකරුවකු වූවා නම් වඩා සුදුසු යැයි මට හැඟීයන්නේ එබැවිනි. සාහිත්‍යකරණයේ නියැළීම සඳහා ඔහුට අවැසිවූ විවේකය හෝ ආර්ථික පසුබිමක් සකස් නොවීම ඛේදයකි. මුල් කාලයේ දී හෙතෙම වැඩි කැමැත්තක් දැක්වූයේ සිනමාවටයි. තමා ‘සිනමාකරුවකු’ බව ඔහු නිතර ප්‍රකාශ කළේය. එහෙත් වයසින් මුහුකුරායත්ම ඔහුගේ එකී ආස්ථානය වෙනස්වූවා යැයි මට සිතේ.