
තිස්ස අබේසේකරයන් කයෙන් අප හැර ගොස් ඇතැයි යන අසුබ ආරංචිය 2009 අප්‍රේල් 18 වැනිදා සවනත වැකෙත් ම ඔහු පිළිබඳ අතීත සැමරුම් රාශියක් මසිත චිත්‍රණය වූයේ තිස්ස අබේසේකරයනුත් මාත් වඩාත් ඇලුම් කළ සිනමා පටයක් පරිද්දෙනි. ඔහු මුල් වරට මා දුටු දිනයේ සිට අවසන් වරට දුටු දිනය දක්වා දිවුණු ඒ අතීත සැමරුම් නමැති සිනමා පටයේ හෘදයංගම, සංවේදී, සොඳුරු තැන් රැසක් තිබිණි. එතුමා මුල් වරට මට හඳුනාගන්නට ලැබුණේ කෘතහස්ත සිනමාකරුවකු, අග්‍රගණ්‍ය තිර නාටක රචකයකු, සිනමා ප්‍රාඥයකු ලෙස නොව, මගේ පියා (ඒ. ඩී. රන්ජිත් කුමාර) ඉතා ගරු කළ ඔහුගේ ජ්‍යෙෂ්ඨ මිත්‍රයකු වශයෙනි. තිස්ස අබේසේකරයන් පිළිබඳ මගේ පැරැණිතම මතකය දිවෙන්නේ 1980 වර්ෂයටය. එවකට සරත් ගුණරත්න අධ්‍යක්ෂණය කළ “වත්සලා අක්කා” චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය රඟපාමින් සිටියේය. මෙහි නිෂ්පාදිකා වාග් දේවි ප්‍රනාන්දුගේ ඇරියුමෙන් ඇගේ මහනුවර නිෙවසේ නවාතැන් ගෙන මගේ මවුපියන් සමඟ මම මෙහි රූගත කිරීම් නැරැඹීමට ගියෙමි. ස්වකීය බාහිර පෙනුමට සරිලන පෞරුෂය එළිකළ ගැඹුරු ස්වරයක් සහිත මේ අපූර්ව මිනිසා එහිදී මට හඳුනාගන්නට ලැබිණි. එවකට සිවු හැවිරිදි වියේ පසු වූ මා වඩාගෙන එතුමා සුරතල් කළ අයුරු යාන්තමින් හෝ මගේ මතකයේ රැඳී තිබේ.
එහිදී සිදුවූ අමතක නොවන සිදුවීමක් තිස්ස - අසංකා යුවළ මෑතක් වනතුරු මා දුටු කල්හි සිනහමුසු මුහුණින් සිහිපත් කළෝ ය. එනම් මේ ගමනේදී තිස්ස - අසංකා යුවළගේ මංගල සේයාරුව මට දැකගන්නට ලැබිණි. එහි තිස්ස අබේසේකරයන් උඩරට විවාහ ක්‍රමයට අනුව නිලමේ ඇඳුමෙන් සැරසී සිටියේ ය. මෙය දුටු මා “තිස්ස මාමා රජ වූයේ කවදා ද?” යැයි අසා තිබේ. ක්‍රමයෙන් මුහුකුරා වැඩෙත් ම තිස්ස අබේසේකර නම් වූ කෘතහස්ත සිනමාකරුවා, අග්‍රගණ්‍ය තිර රචකයා, සිනමා ප්‍රාඥයා, ශූර ද්විභාෂා සන්නිවේදකයා පිළිබඳ මම ගැඹුරින් හදාරන්නට වීමි. එතුමාට ආමන්ත්‍රණය කරන කල්හි වරෙක “තිස්ස මාමා” යන්න වෙනුවට “තිස්ස සර්” යන්න මා මුවින් ගිලිහුණේ ඔහුගේ ප්‍රඥා පාටවයට, දුලබ ගණයේ ප්‍රතිභාවට තිබූ අප්‍රමාණ ගෞරවය හේතුවෙනි. ඔහු මගේ විචාර ශක්තිය දැල්වූ, ලේඛන දිවියට මහත් ආශීර්වාදයක් වූ ආචාර්යවරුන් අල්ප දෙනාගෙන් කෙනෙකි.
තිස්ස අබේසේකර (1939 - 2009) යනු බහුවිධ කලා ප්‍රතිභා සපිරුණු සිනමා ප්‍රාඥයෙකි. එදා මෙදා ලාංකේය සිනමාවේ බිහි වූ උසස් අධ්‍යක්ෂවරුන් අල්ප දෙනාගෙන් ඔහු අයෙකි. ප්‍රශස්ත ගණයේ තිර නාටක රචනයෙන් අබේසේකරයන් අබිබවා යා හැකි වූවකු එදා මෙන් අදත් මෙරට පහළ වී නොමැත.
තිස්ස දේශීය සිනමා මන්දාකිනියට සම්ප්‍රාප්ත වූයේ අන්තර්ජාතික ඇගැයුම් ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම්පෙරළිය” චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හා දෙබස් රචකයා ලෙසිනි. ඉක්බිති උසස් තිර රචනා විරල දේශීය සිනමා “වැලිකතර”ට තිස්ස අග්‍රගණ්‍ය “නිධානය”ක් මැ විය. සිනමාව නුමුහුන් කලාවක් නොවන බවත් එය සාහිත්‍යාදී අවසෙස් නානා විධ කලා පයුරුපාසනයෙන් ප්‍රාරබ්ධ සංශ්ලේෂී (Synthetic) උත්තම කලාවක් බවත් “කරුමක්කාරයෝ (1980) “මහ ගෙදර” (1982) “විරාගය” (1987) ඈ ස්වකීය නිර්මාණ ත්‍රිත්වයෙන් අබේසේකරයෝ පෙන්වා දුන්හ.
ආතර් යූ. අමරසේනයන්ගේ “විසිතුර” පුවත්පත ඔස්සේ විචාරයට ප්‍රවිෂ්ට වූ තිස්ස, සිනමා මාධ්‍යයට ආවේණික විචාර මිනුම් දඬු සොයා ගිය පුරෝගාමී විචාරකයන් අල්පයෙන් ද කෙනෙකි. එසේම හේ පෙර අපර දෙදිග කලා න්‍යායන් යා කළ දාර්ශනිකයෙකි.
තිස්ස අබේසේකරයන් මෙලොව එළිය දුටුවේ 1939 මැයි මස 7 වැනිදා මහරගමදී ය. පවුලේ එකම පිරිමි දරුවා වූ ඔහු, මවුපියන් ඇසුරෙහි ද්විභාෂා ප්‍රගුණ කළේය. තම පියා ඔහු සමඟ නිෙවසේ වැඩි වශයෙන් කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙනි. මේ නිසා තමාට සිංහල හා ඉංග්‍රීසි භාෂාද්වය මවුපියන් හා සමාන බව තිස්ස වරක් පැවැසීය.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අකුරු කළ ඔහු කිසිදු විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා නැතත් ස්වෝත්සාහයෙන් පොතපත කියවා විශ්වවිද්‍යාල මහා ඇදුරකුට තරම් වන බහුශ්‍රැත බවක් සරිකොට ගත්තේ ය. මේ අතින් ඔහු සම වන්නේ මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක වැනි විධිමත් සරසවි අධ්‍යාපනයකින් තොරව ස්වයං සිද්ධ අධ්‍යාපන මාර්ගයක ගමන් ගත් ස්වාධ්‍යායෙන් යුත් ප්‍රාඥයන් අතළොස්සට ය.
තිස්ස ආනන්ද ද ෆොන්සේකා ඔහුගේ මුල් නාමය විය. හේ කලා ක්ෂේත්‍රයට පිවිසීමට පෙර තම නාමය “තිස්ස අබේසේකර” ලෙස වෙනස් කොට ගත්තේ ය. සිනමා මාධ්‍යය ගැඹුරින් ප්‍රගුණ කිරීමේ උනන්දුව තිස්ස තුළ පැවතුණේ ළාබාල වියෙහි පටන් ය. ගාමිණි ෆොන්සේකා සූරීන් මා හට පැවසූ අතීත සිදුවීමක් මෙහිදී සිහිපත් වේ.
ගාමිණිගේ අවිවාහක මහප්පා කෙනෙකුට අයත් නිෙවසක් එකල දෙහිවල පිහිටා තිබුණි. මහප්පා රැකියාවට ගිය කල ගාමිණි සහ ඔහුගේ සමීප මිතුරෝ මේ නිෙවසෙහි ලැගුම් ගෙන සිනමාව පිළිබඳ බොහෝ වාද විවාද පැවැත්වූහ. 50 දශකයේ මැද භාගයේ මේ ඉස්තෝප්පු සංවාදවලට එක්වූවෝ සිවුදෙනෙකි. එනම් ගාමිණි ෆොන්සේකා, ප්‍රේම්නාත් මොරායස්, විජය අභයදේව හා තිස්ස අබේසේකරය. තිස්ස තම මිත්‍ර විජය අභයදේවයන්ගෙන් “Sight and Sound” සඟරාව ලබාගෙන, කියවා සිනමා විචාරය හැදෑරීමට උත්සුක වූයේ මේ කාලයේදී ය. ලෙස්ටර්ගේ “සන්දේශය” (1960) චිත්‍රපටය නිර්දය ලෙස විචාරයට ලක් කොට තිස්ස ලියූ ලිපියක් ආචාර්ය ලෙස්ටර්ට දැකගන්නට ලැබිණි. මේ ලිපිය පිටුපස සැඟව පැවැති තිස්සගේ විචාර ප්‍රතිභාව ලෙස්ටර් හැඳින ගත්තේ ය. ඔහු තම “ගම්පෙරළිය” (1963) චිත්‍රපටයේ දෙබස් රචනයට හා සහාය අධ්‍යක්ෂණයට මේ තරුණයා දායක කොට ගත්තේ ය. “ගම්පෙරළිය” හි තිර නාටකය ලියූ රෙජී සිරිවර්ධනයන්ට සිංහල බස පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොතිබූ බැවින් තිස්සගේ සහාය ඔහුට ලැබිණි. එතැන් සිට ලෙස්ටර්ගේ ගුරුහරුකම් යටතේ සිනමාව දිග් විජය කළ ශිෂ්‍යයන් අල්ප දෙනා අතර තිස්ස ද ප්‍රමුඛයෙක් වූයේ ය.
එදා මෙදා මෙරට බිහි වූ අග්‍රගණ්‍ය තිර නාටක රචකයා ලෙස ඔහු විචාරක ප්‍රේක්ෂක උභය පාර්ශ්වයේ සම්භාවනාවට පාත්‍ර විය. “ලෝක හොරු” (1976) චිත්‍රපටයෙන් තිස්ස අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ට වූවත් සිනමාකරුවකු ලෙස ඔහුගේ අනන්‍යතාව, ලකුණ ස්ථාපිත වූයේ “කරුමක්කාරයෝ” (1980) චිත්‍රපටයෙනි. සාහිත්‍ය කලාවට මහත් සේ ඇලුම් කළ තිස්ස, ගුණදාස අමරසේකරයන්ගේ එනමින් ම ප්‍රකට වූ නවකතාව මේ සඳහා පාදක කොට ගත්තේ ය. සැබැවින් ම තිස්සගේ පළමු ජීවන ප්‍රණිධානය වූයේ උසස් සාහිත්‍යවේදියකු බවට පත්වීම ය. එහෙත් ඔහු සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයෙන් එම ප්‍රණිධානය ඵල නොදැරී ය.
තිස්ස ඉංග්‍රීසි බසින් අඛණ්ඩව සාහිත්‍යකරණයෙහි නියැළුණේ නම් බූකර් සම්මානයකට පවා උරුමකම් කිව හැකි, අන්තර්ජාතික පිළිගැනීමට ලක් වන ලාංකික ලේඛකයකු වන්නට ඉඩ තිබිණි.
හොඳ තිර නාටක රචකයකුට උසස් ලේඛකයකු විය නොහැකි බව හේ වරක් පවසා තිබිණි. මන්ද තිර නාටක රචකයා කෙතරම් ශූර ලෙස එම කාර්යයෙහි නියැළුණත් ඔහු අධ්‍යක්ෂවරයාට පරිවාර සේවයෙහි යෙදෙන්නකු වන හෙයිනි.
තිර නාටක රචකයා අරභයා තිස්ස තුළ නිරන්තර පශ්චාත්තාපයක් ඇතිවූයේ මේ හෙයිනැයි මම සිතමි. දේශපාලන වශයෙන් හේ වාමාංශික ප්‍රගතිශීලී මතවාද දැරුවෙකි. තිස්ස “මහ ගෙදර” (1982) නිර්මාණය කළේ ග්‍රීක ශෝකාන්ත නාට්‍යවල ආශ්‍රය ලැබීමෙනි. රූගත කොට නිම කළ ඔහුගේ “මංමුළාවැල්” තිරයට සේන්දු නොවීම මෙරට සිනමා සහෘදයන්ගේ අභාග්‍යයකි. විඥාන ධාරා රීතිය (Stream of consciousness) ප්‍රකට කළ නවකතා සාර්ථක ලෙස සිනමාවට නැඟිය හැක්කේ සූර සිනමාකරුවන්ට පමණි. යුරෝපයේ පවා ඇලන් රෙනේ විසින් නිර්මාණය කරන ලද “Last year at Marienbad” වැනි චිත්‍රපට බිහි වන තෙක් එබඳු සිනමා කෘතීන්ට අත ගැසීමට අධ්‍යක්ෂවරු මැළි වූහ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “විරාගය” නවකතාව සිනමාවට නැඟීමට බොහෝ දෙනා ඇලුම් කළත් එය ක්‍රියාවට නැඟීමට සිනමාකරුවන් මැළි වූයේ මේ කරුණ හේතු කොටගෙන ය.
තිස්ස “විරාගය” හි තිර නාටකය රචනා කරමින් මතු නොව එය අධ්‍යක්ෂණය කරමින් ද ශූර ලෙස මේ අභියෝගය ජය ගත්තේ ය. සිනමාවට හා සාහිත්‍යයට ආවේණික වූ නියාම ධර්ම හේ අතැඹුලක් සේ දැන සිටීම මීට හේතුකාරක විය. 1997 ලාංකේය කථානාද සිනමාවට වසර 50ක් සපිරිම නිමිත්තෙන් විචාරකයෝ මෙරට බිහි වූ හොඳම චිත්‍රපට 25ක් තේරූහ. එහි දී “විරාගය”ට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ප්‍රථම ස්ථානය හිමි වූ ලෙස්ටර්ගේ “නිධානය” හි තිර නාටකය ඔහුගේ වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.
රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රයෙන් ම (සහන් එළිය, කාමම්, Olcott) විත්ති කථා චිත්‍රපට නිර්මාණය කළ තිස්ස, නළුවකු ලෙස ද කැපී පෙනිණ. “විර පුරන්අප්පු” (කුඩාපොළ හිමි), “මහ ගෙදර” (පාලිත), “වත්සලා අක්කා” (ධනුක - ප්‍රධාන චරිතය) “අම්මාවරුනේ” (භික්ෂුන් වහන්සේ) යන චිත්‍රපටවල නිරූපණය කළ භූමිකා මෙහිදී සුවිශේෂ වේ. “මන්දාරම් එළි” ටෙලි නළුවේ ද ඔහු රඟපෑවේ ය.
එක්සත් ලංකා රසික, සරසවිය, OCIC, විචාරක, ජනාධිපති, ස්වර්ණ සංඛ, උණ්ඩා, සුමති, ෆී ෂූට් ෂුරා (බර්ලින් උලෙළේ “ලේළි” ටෙලි නාට්‍යය උදෙසා) ආදි සම්මාන රාශියකින් පිදුම ලැබූ හේ “දොළොස් මහේ ගංගාව”, “ගංගාව තරණය”, “වන සරණ”, “ලේළි”, “පිටගම්කාරයෝ”, “එක ගෙයි අවුරුද්ද”, “මායා” යන ටෙලි නාට්‍ය ඔස්සේ ටෙලි නළු කලාවේ ද නිම් වළලු පුළුල් කළේ ය.
ආචාර්ය ලෙස්ටර්ගේ “ගම්පෙරළිය” චිත්‍රපටයේ තිස්ස නිල වශයෙන් සහාය දෙබස් රචකයා පමණක් වූවත් මෙහි තිර රචනයෙහි සාර්ථකත්වය පසුපස ලෙස්ටර්ගේ ගුරුහරුකම් හැරුණුවිට තිබුණේ තිස්සගේ ප්‍රතිභාව බව දන්නෝ දනිති. මෙහි තිරරචනය ලියූ රෙජි සිරිවර්ධන කෘතහස්ත විචාරකයකු බව සැබෑය. එහෙත් ඔහු ප්‍රතිභාපූර්ණ තිර රචකයෙක් නොවීය. ආචාර්ය ලෙස්ටර්ගේ “දෙලොවක් අතර” චිත්‍රපටයෙහිදී ද සිදු වූයේ මෙහිම දිගුවකි. එහිද තිරරචනය ලියන ලද්දේ රෙජී සිරිවර්ධන විසිනි. දෙබස් රචනය තිස්ස අබේසේකරගෙනි. “දෙලොවක් අතර” හිදීද ඉස්මතු වූ තිස්සගේ ප්‍රතිභාව මෙලෙස යටපත් වී තිබිණ. නිසි ඇගැයුම් නොලැබී මේ අයුරින් යටපත් වී තිබුණු තිස්සගේ තිර රචනා ප්‍රතිභාව පිළිබඳව එදා සිටම අවධානය යොමු කොට ගෙන සිටි අධ්‍යක්ෂවරයා ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයි.
චිත්‍රපටයක ස්වාධීනව තිරරචනයක් ලිවීමේ පළමු අවස්ථාව තිස්ස අබේසේකරයන්ට ලබා දෙන ලද්දේ නිහාල්සිංහ විසිනි. “කෙටිකතාව” (1967) නම් වූ විත්ති කථා චිත්‍රපටයෙන් හා “වැලිකතර” චිත්‍රපටයෙන් ලැබුණු ඒ ප්‍රථම අවස්ථාවට සුවිශිෂ්ට සාධාරණයක් තිස්ස ඉටු කළේය. ලංකාවේ අග්‍රගණ්‍ය තිරනාටක රචකයා තමාගේ කණ්ඩායමේ සිටින බව ආචාර්ය ලෙස්ටර් හට වඩාත් පසක් වූයේ ඉන්පසුව බව මා හට වරක් නිහාල්සිංහයෝ පැවැසූහ. ආචාර්ය ලෙස්ටර් ‘නිධානය’ තිර රචනය ලිවීමට තිස්ස හට ඇරියුම් කළේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ආචාර්ය තිස්ස ලියූ විශිෂ්ටතම ස්වතන්ත්‍ර තිර රචනය ‘වැලිකතර’ වූ අතර සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් (ජී. බී. සේනානායකයන්ගේ ‘නිධානය’ කෙටි කතාව) ලියූ අග්‍රගණ්‍ය තිර රචනය ‘නිධානය’ වේ.
දුරාතීතයෙහි සිටම ලාංකේය කෙටි කතා කලාව දියුණු වූයේ ලියෝ ටොල්ස්ටෝයි, ඇන්ටන් චෙකොෆ්, නිකොලොයි ගොගොල්, මැක්සිම් ගෝර්කි යනාදී ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන්ගේ හෝ ගී ද මෝපසාං වැනි ප්‍රංස ලේඛකයන්ගේ නිර්මාණවල ආභාසය අපේ සිංහල ලේඛකයන්ට ලැබීමෙනි. මේ නිසා 20 දශකයේ මැද භාගයේ (1924) සිට 50 දශකයේ මැද භාගය වන විටත් උසස් සිංහල කෙටි කතාවල පවා කිසියම් ඒකාකාරීත්වයක් ද දිස් විය. තිස්ස ‘ඉපනැල්ල’ (1958) ඔස්සේ මුල් වරට කෙටිකතාකරණයට ප්‍රවිෂ්ට වූයේ සිංහල කෙටිකතාව තුළ තිබූ මෙකී ප්‍රවණතාව අරභයා සුපැහැදිලි අවබෝධයකිනි. ඇමෙරිකානු කෙටිකතා කලාවෙන් ආභාසය ලැබු ප්‍රථම සිංහල කෙටිකතාකරුවා තිස්ස අබේසේකර ලෙස දකිමි.
කොන්රඩ් ඒකන් නමැති විශිෂ්ට ඇමෙරිකානු කෙටි කතාකරුවා මෙහිදී ඔහුට ආභාසය විය. ඉපනැල්ල කෙටිකතා සංග්‍රහයෙහි ඇතුළත් සියලු කෙටිකතා මෙහිලා දෘෂ්ටාන්තයෝ වෙති. එහෙත් අභාග්‍යයකට ඉපනැල්ලෙන් ඇරැඹුණු තිස්සගේ එකී කෙටිකතාකරණයෙහි ආකෘතික, අන්තර්ගත, සන්දර්භ අත්හදා බැලීම් එතැනින් නතර විය. ඒ ඔහු සිනමාවට අවතීර්ණ වූ බැවිනි.
“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ තිර රචනය ඔහුගේ ය. එසේම තිස්ස නේපාල රජය වෙනුවෙන් “සූර්ය මුඛී” චිත්‍රපටය නිර්මාණය කළේය.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ ඔහු ස්වකීය පාලන සමයේ (1999 - 2001) නවක සිනමාකරුවන් වන ජයන්ත චන්ද්‍රසිරි, ඉනෝකා සත්‍යාංගනී, ආරියරත්න විතාන, සුදත් දේවප්‍රිය, සුදත් රෝහණ, සත්‍යජිත් මාඉටිපේ, ලින්ටන් සේමගේ යනාදීන්ට සිනමා කෘති නිර්මාණය කිරීම උදෙසා මූල්‍යාධාර සැපයී ය. “සදිසි” සිනමා සඟරාව ද ආරම්භ කළේය.
ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපති ධුරය ද හෙබවූ තිස්ස සිංහල, ඉංග්‍රීසි ද්විභාෂාවෙන් ම ලේඛනයෙහි යෙදුණු ශූර සන්නිවේදකයෙකි; චතුර කථිකයෙකි. ඔහුගේ කථන විලාසය ඇතැම් නිවේදකයෝ අනුකරණය කළහ.
සිනමා විචාරය හුදු සාහිත්‍යමය විචාරයෙන් මුදාගෙන සිනමා මාධ්‍යයට ආවේණික මිනුම් දඬු ඊට ප්‍රවේශ කිරීමෙහිලා පුරෝගාමි ප්‍රයත්න දැරූ විචාරක පරම්පරාවට (සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, රෙජි සිරිවර්ධන, නීල් අයි. පෙරේරා, රෙජි රණසිංහ) තිස්ස අබේසේකරයන් ද අයත් වේ. සාහිත්‍යවේදියකු ලෙස “ඉපනැල්ල” කෙටිකතා සංග්‍රහය මුලින් ම පළ කළ ඔහු “විරාගය”, “පිටගම්කාරයෝ” වැනි නිර්මාණවල තිර නාටක එළිදැක්වීය.
“සිනමා සිතුවිලි”, “රූප ස්වරූප”, “අයාලේ ගිය සිතක සටහන්” තිස්ස විසින් රචනා කරන ලද ශාස්ත්‍රීය ලේඛන සංහිතාවන් ය. “In my Kingdom of the sun and the holy peak” යන ඉංග්‍රීසි කථා එකතුව ලියා පළ කළ ඔහු ඉංග්‍රීසි බසින් ලියන ලද “Bringing Tony Home” යන කෙටි නවකතාව උදෙසා 1996 “ග්‍රේෂන්” සම්මානයට පාත්‍ර විය.
මේ ග්‍රන්ථය 2009 දී ඇමෙරිකානු ප්‍රකාශන සමාගමක් නැවත පළ කිරීම ලාංකික ලේඛකයකු ලෙස තිස්ස ලැබූ මහඟු ජයග්‍රහණයකි. එය ඔහු පිළිගැන්වූයේ තම ගුරු ආචාර්ය ලෙස්ටර් වෙත ය. “Bringing Tony Home” කෘතිය අන්තර්ජාතික තලයේ ඇගැයුමකට පාත්‍ර වීමට ප්‍රථම තිස්ස අප හැර යෑම අපගේ අභාග්‍යයක් නොවේ ද?
එදා මෙදා තුර ස්වකීය කලා සාහිත්යික සේවාව අගයා කොළඹ විශ්විවද්‍යාලයෙන් ඔහුට සම්මාන ආචාර්ය (සාහිත්‍ය සූරී) උපාධිය (D. Litt) පිරිනැමිණ.
කලා සූරී සම්මානයෙන් ද හේ ඇගැයුමට ලක් විය. ගීත රචකයකු ලෙස ද විරලව හෝ ඔහු දායක විය. “වත්සලා අක්කා” චිත්‍රපටයට මාලිනී බුලත්සිංහල ගැයූ “සඳ මෝරා උඩු ගුවනට” නමැති සම්මානනීය ගීතයේ ගේය පද රචකයා ඔහු වේ. කොළඹ සරසවියේ සාහිත්‍ය සූරී (D. Litt) උපාධිය ඔහුට ගෞරවයක් ගෙන ඒමට වඩා ඊට ඔහුගෙන් ගෞරවයක් ලැබිණි. තිස්ස ස්වකීය ජීවිතයේ ආරම්භක සමයේ උසස් ගණයේ ලේඛකයකු වීමේ ප්‍රණිධානයෙන් මඩනා ලද්දෙකි. එහෙත් සිනමා කලාවට ඒ ප්‍රතිභාව කැප වූයෙන් ඒ උත්තම ගණයේ සාහිත්‍යකරුවා අපට අහිමි විය. සිංහල බසෙහි රස රිසියෙන් හේ පාඨකයා ඔකඳ කළ අපූරුව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඔහුගේ “Bringing Tony Home” කෘතිය (ග්‍රේෂන් සම්මානය ලැබූ) කියවූ කල මා හට දැනුණේ සොම්නසක් නොව දොම්නසකි. මන්ද තිස්ස අඛණ්ඩව ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයෙහි නියැළිණි නම් ඔහු බූකර් සම්මානයකට පවා උරුමකම් කිව හැකි අන්තර්ජාතික තලයට පිවිසිය හැකි, ලාංකික ලේඛකයකු බව මට පෙනී ගිය හෙයිනි. තිස්සගේ මහා ප්‍රතිභාව අපතේ ගියා දැයි මට වරෙක සිතේ.
විශිෂ්ට ගණයේ ප්‍රංස සිනමාකරුවකු වූ ප්‍රාන්සුවා ටෲෆෝ මියගිය අවස්ථාවේ ඔහු අරභයා ප්‍රංස සිනමාවේදී ෂාන් ලූක් ගොඩාඩ් විසින් ලියන ලද ශෝක ප්‍රකාශයක ජීවිතයේ අනිත්‍යතාව මෙලෙස සටහන්ව තිබූ බව මා ස්මෘතියට නැඟේ.
“ඔබ මිය ගොසිනි. මම තවමත් ජීවත් වෙමි. මෙහි වෙනසක් ඇද්ද?”