දම්මිලාට වඩා අහිංසක සුගත්! | සිළුමිණ

දම්මිලාට වඩා අහිංසක සුගත්!

 මගේ නාට්‍ය ගුරුවරයා වශයෙන් මා සලකන්නේ සුගතපාල ද සිල්වා මැතිතුමාය. සාමාන්‍යයෙන් කියනු ලබන්නේ ගැහැනු ළමයින්ගේ සිත් පිවිතුරු බවය. එහෙත් සුගතපාල ද සිල්වා මහතාගේ සිත ගැහැනු ළමයකුගේ සිතටත් වඩා අහිංසක වූ බවත් පිවිතුරු වූ බවත් මම දැන් දනිමි.

රැකියා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ ඇමැතිවරුය. එහෙත් මා සිතන්නේ ලංකාවේ මිනිසුන්ට වැඩියෙන් ම රැකියා ලබාදී ඇත්තේ ගායක එච්ආර් ජෝතිපාල මහතා බවය. ඊළඟට වැඩියෙන් ම රැකියා ලබාදී ඇති කලාකරුවා සුගතපාල ද සිල්වා මහතාය.

එච්ආර් ජෝතිපාල මහතා නිසා දිවි රැකගන්නේ බස්වල කෝච්චිවල එතුමන්ගේ ගී ගයා ජීවිකාව කරගන්නා අහිංසක ගායකයන් පමණක් නොවේ. බොහෝ චැනල්වල ස්ටාර් වැඩසටහන් හා වෙනත් වැඩසටහන්ද පවතින්නේ ප්‍රධාන වශයෙන් ජෝතිපාලගේ ගීත මතය. ඒ වැඩසටහන්වල අධ්‍යක්ෂවරුන් පමණක් නොව එම නාලිකා ප්‍රධානීහු හා හිමිකරුවෝද තමන්ගේ ජීවිකාව සම්බන්ධයෙන් ජෝතිට ණයගැතිය. බොහෝ සුපිරි තරු අහසට නැඟගත්තේද ජෝතිගේ ගීත ඉනිමඟකරගනිමිනි. මගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයටද ජෝතිගේ පිහිට ලැබී තිබේ.

ජෝති ළඟට වැඩිම රැකියා ලබාදුන් කලාකරුවා සුගතපාල ද සිල්වා යැයි මා කියන්නේ ප්‍රධාන වශයෙන්ම සුගතපාල ද සිල්වා මහතා යෞවන සම්මාන විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන විනිසුරුවරයා වශයෙන් ගත කළ කාලය සිහි කරමිනි. මට කියන්නට ඇත්තේ විනිශ්චයේදී සුගතපාල ද සිල්වා මහතා හුනුවටයේ අසඩක්ටද වඩා සාධාරණ විනිශ්චයකරුවකු වූ බවය.

ඔහු දක්ෂයන් හඳුනාගැනීමට භාවිතා කළේ ඥාතිත්වය, මිත්‍රතාවක් නොවේ. එම යොවුන් නිර්මාණකරුවාගේ නිර්මාණශීලී භාවය පමණි. ඒ නිසාම එතුමා යෞවන සම්මාන නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ කාලය දහසක් මල් පිපුණු සමයක් විය. එතුමන්ගේ විනිශ්චය මත සම්මාන ලබා අද කලාව හොබවන මා දන්නා නම් ටිකක් පමණක් මෙහි ලා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමි. ප්‍රසන්න ජයකොඩි, නලින් ප්‍රදීප් උඩවෙල, සංජීව දිසානායක, ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, රාජිත දිසානායක, වසන්ත මොරගොඩ, වසන්ති රංවල, පියල් කාරියවසම්, ධනංජය කරුණාරත්න, ප්‍රියන්ත සිරිකුමාර, සරත් කුමාර පෙරේරා, සෞම්‍ය ලියනගේ, බුද්ධික දමයන්ත. මේ දැනට මේ මොහොතේ මගේ දුර්වල මතකයට නැඟෙන නම් ටික පමණි. එහෙත් මේ ලැයිස්තුව මෙයින් දෙතුන් ගුණයකටද වඩා දිගය. තරුණයන්ගේ දක්ෂකම් සුගතපාල ද සිල්වා මහතාට අනුන්ගේ දක්ෂකම් ලෙසින් නොපෙනුණි. දැකීමෙන් ලබන සන්තෝසයටද වඩා සන්තෝසයක් තරුණයන්ගේ නිර්මාණ දැකීමෙන් වින්දේය. එය කළ හැක්කේ මා කී ආකාරයට යොවුන් තරුණියකටත් වඩා පිවිතුරු හදවතක් ඇත්තකුට පමණි.

එසේම සුගතපාල ද සිල්වා මහතා අප හෝ තවත් බොහෝ අය මෙන් තමන්ගේ මතවාද ඇසුරෙන් නාට්‍යයක් විනිශ්චය කළේ නැත. නාට්‍ය තුළින් මතු වන මතවාද ඇත් නම් ඒවාට ඇලුම් කළේය. එනම් බාහිර කරුණු තුළින් නොව නාට්‍ය තුළින්ම නාට්‍යය විනිශ්චය කළේය. දහසක් මල් පිපුණේ ඒ නිසාය. විවිධ වෙනස් නාට්‍යකරුවන් නළුනිළියන් බිහි වුණේ ඒ නිසාය. එනම් බාහිරින් නොව නිර්මාණය තුළින් නිර්මාණය විනිශ්චය කළ නිසාය. එතුමා බුද්ධිමතකු වූවා පමණක් නොව, සෑම හදක් සමඟම සහෘද වීමේ හැකියාවද එතුමන්ට තිබිණි. ඇත්තටම අප විසින් මේ දක්වා කර ඇති නාට්‍ය නිර්මාණවලින් බාගයකම අයිතිය එතුමාට හිමි විය යුතුය. මක් නිසාද යත්: කලාවේ ඉදිරියට යෑමට අවශ්‍ය ඇගැයීම අපට ලබා දුන්නේ සුගතපාල ද සිල්වා මහතා විසින් බැවිනි; ධෛර්යය ලබා දුන්නේ සුගතපාල ද සිල්වා මහතා බැවිනි. අප නාට්‍යකරුන්ද යන සැකය අප තුළ තිබිණි. ඒ සැකය නැති කළේ එතුමාය. ඒ ආත්මවිශ්වාසය අපට ලබා දුන්නේ එතුමාගේ සොඳුරු විනිශ්චයයි. ඒ අනුව සැබවින්ම සුගතපාල ද සිල්වා මහතාගේ නිර්මාණ අතරට අයත් වන්නේ ඔහු විසින් ම කළ නිර්මාණ පමණක් නොවේ. අපේ පරපුර විසින් බිහි කළ නිර්මාණවලින් බාගයකම අයිතිය එතුමන්ට හිමි වේ.

මා මගේ ගුරුවරයා ලෙස සුගතපාල ද සිල්වා මහතා හඳුනාගන්නේ මා එතුමාගේ නාට්‍ය ශෛලිය අනුගමනය කරන නිසා හෝ මට ඒ සඳහා හැකියාවක් ඇති නිසා හෝ නොවේ. ඒ පිවිතුරු හදවත මට සැමවිමට ගුරුවරයකු වූ නිසාය. ශක්තියක් වූ නිසාය. මග පෙන්වීමක් වූ නිසාය.

අන් සියල්ලට වඩා කලාව ම විඳි, කලාව ම අගය කළ ඒ හදවත මට පමණක් නොව, අප බොහෝ දෙනාගේද ප්‍රධාන ගුරුවරයා වන්නට ඇත. කලාවට ගුරුවරයකු විය හැක්කේ තමන්ගේ හා අනුන්ගේ නිර්මාණ අතර වෙනසක් නොදකින අයෙකුට පමණි. ගුත්තිල මූසිල කතාවද එන්නේ ඒ නිසාය. මූසිල දුටුවේ නිර්මාණයේ වටිනාකමට වඩා නිර්මාණයට ලැබෙන මිලේ වටිනාකමය. සුගතපාල ද සිල්වා මහතාට දැකගැනීමට හැමදාම හැකියාව තිබුණේ අමිල වන කලාවම පමණි.

මෙහිදී මා තවත් දෙයක් කිව යුතුය. මුදලාලි කෙනකුගේ ධනය ඉපැයීමේ හැකියාවට අප ගැරහිය යුතු නොවේ. එය ඔහුගේ හපන්කමයි. එය ඔහු දිවි හිමියෙන් කැප වී කරයි. එසේම මුදලාලි කෙනෙකු අපගේ කලා හැකියාවටද ගැරහිය යුතු නොවේ. එය වෙනස් හපන්කමකි. තමන්ගේ හපන්කම පමණක් හපන්කමයැයි නොසිතීමේ ගුණය එදා සමාජයේ තිබිණි. එනම් කවියා කවිය නොවන වෙනත් හේතුවක් නිසා මුදලාලිට ගරු කළ අතර මුදලාලි මුදල නොවන වෙනත් හේතුවක් නිසා කවියාට ගරු කළේය.

මුදල හෝ කලාව හෝ වෙනත් දෙයක් සියල්ලන් මනින එකම මිනුම විය යුතු නොවේ. ධනය සියල්ල මනින මිනුම විය යුතු ද නොවේ. ලංකාවේ කිසිදු ධන හිමියකුට නොලැබෙන තරම් ආදරයක් මහා ධන කුවේරයන් වෙතින්ද දිවංගත එච්ආර් ජෝතිපාලයන්ට ලැබෙන්නේ ඔහු අසීමිත ධනයක් ඉපැයූ පුද්ගලයකු වීම නිසා නොවේ. ධාතුසේන රජ්ජුරුවන් තමන්ගේ ධනය ලෙස කලාවැව පෙන්වූවා සේ ජෝතිපාලයන්ට පෙන්වන්නට තිබුණේ තමන්ගේ ගී ගඟුලයි. මා කියන්නේ එක් එක් පුද්ගලයන්ට අප ගරු කළ යුත්තේ එකම හේතුව නිසා නොව, විවිධ හේතු නිසා බවය. ඒ අනුව සුගතපාල ද සිල්වා මහතා අගය කළ හැක්කේ එතුමා සුගතපාල ද සිල්වා මහතා වීම නිසාමය.

මුලින්ද කී ලෙස එතුමන්ගෙන් ඇගැයීම් ලද අප අනුගමනය කරන්නේ විවිධ නාට්‍ය ශෛලීන්ය. උදාහරණයක් වශයෙන්: ප්‍රසන්න ජයකොඩිගේ නාට්‍ය නිර්මාණ ධනංජය කරුණාරත්නගේ නාට්‍ය නිර්මාණ වෙතින් ද රාජිත දිසානායකගේ නාට්‍ය නිර්මාණ ධනංජය කරුණාරත්නගේ නාට්‍ය නිර්මාණ වෙතින් ද වෙනස් විය.

එහෙත් මේ තිදෙනාටම සුගතපාල ද සිල්වා මහතා ගුරුවරයකු වූයේයැයි සිතමි. එය වූයේ කෙසේද? එතුමා අපට නාට්‍ය හෝ කලා ශෛලීන් කියා දුන්නේ නැත. එහෙත් කිසිදු කලා ගුරුවරයකුට කියාදීමට අපහසු දෙයක් එතුමා අපේ පරපුරට කියා දුන්නේය. ඒ, කලාව යනු කුමක්ද යන්නයි. එය එතුමා ඉගැන්වූයේ තමන්ගේම ජීවිතයෙනි. කලාව යනු කුමක්දැයි එතුමා ජීවිතයෙන්ම පෙන්නුම් කළේය. බස්-එකේ යමින්, තමන්ගේ කියා ගෙදරකට හිමිකම් නොකියමින්, එහෙත් ජීවිතය දුකක් නොව වින්දනයක් කරගනිමින්, විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආයතනයක ඇදුරකු නොවී, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මගේ නොවන මගේ ආදරය’ මෙන් තමන්ගේ නොවන තමන්ගේ ගෝළ පිරිසක් බිහි කරමින් සුගතපාල ද සිල්වා මහතා කලාව යනු කුමක්දැයි පෙන්වා දුන්නේය. එතුමන් සැමදා අපේ ගුරුවරයා වන්නේ ඒ නිසාය.

උදයසිරි වික්‍රමරත්න 

Comments