
එමලියාට අපුල වූ හදවතක්
‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ චිත්‍රපට මාලාවේ 7 වැනි අදියර දැන් HBO රූපවාහිනී නාළිකාවේ විකාශනය වෙනවා. මේ ටෙලි වෘත්තාන්තය රුගත කිරීම ඇරැඹුණේ 2016 අගෝස්තු 31 දා. ස්පාඤ්ඤයේ සහ අයිස්ලන්තයේ තමයි මෙහි ඇතුළත් වන දර්ශන රූගත කර ඇත්තේ.
මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන එමිලියා ක්ලාක්. එක්තරා දර්ශන කිහිපයක් රුගත කිරීමේදී සිදු වූ අමිහිරි සිදුවීමක් අදත් සිහිපත් කරන්නේ තම දෙවුර හකුලුවාලමින්. මේ දර්ශනවල ඇයට රඟපාන්නට සිදු වුණේ නාඹර අශ්වයකුගේ හදවතක් අනුභව කරන අවස්ථාවක්. (මෙය, එම ටෙලි වෘත්තාන්තයෙහි එන ‘ඩොත්රැකි’ නම් වූ ජන වර්ගය විසින් අනුගමනය කරන ලද ඉපැරැණි චාරිත්‍රයක්.) ඇත්තටම, එමිලියා ඒ මොහොතේ අනුභව කළේ ජෑම් වර්ගයකින් සාදන ලද ආහාරයක්. නමුත්, එහි රසය ඇගේ හිතට ඇල්ලුවේ නැහැ. ඇය ඒ දිනවල සිටියේ දරුවකු කුස දරාගෙනයි. ඉතින්, මින් පෙර අනුභව නොකළ ඒ පැණි රස මුසු කළ ආහාරය ඇයට අප්‍රියජනක වුණා. දින කිහිපයක්ම එය අනුභව කරන අයුරු රූගත කළ නිසා එමිලියාට වරින්වර වමනය කරන්නටත් සිදුවෙලා.
ඩැනියෙල්ගේ වීරකම
ඩැනියල් රැඩ්ක්ලිෆ් පසුගිය දිනෙක බටහිර ලන්ඩනයේ මාර්ගයක පයින් ගමන් කරමින් සිටියා. ඔහු අසලින් ලන්ඩනයේ සංචාරයකට පැමිණි අයකු ද වටපිට බලමින් ඇවිද යමින් සිටියා. ඩැනියල් ඔහු සංචාරකයෙකු බව තේරුම් ගත්තේ ඔහු එල්ලාගෙන සිටි වටිනා ගමන් මල්ල දුටු විටදීයි.
තත්පර කිහිපයක් ගතවෙද්දී සංචාරකයා දෙසට වේගයෙන් හඹා ආවේ යතුරුපැදියක්. එහි පසුපස ආසනයේ වාඩිවී සිටි පුද්ගලයා අර සංචාරකයාගේ මුහුණ පිහියක් වැනි ආයුධයකින් කපා දැමීමට සූදානම් වී ඒ සමඟම ඔහුගේ ගමන් මල්ල උදුරා ගන්නට තැත් කළා. ක්ෂණයකින් මේ දසුන දුටු ඩැනියල්, ඒ අසල සිටි පදිකයන් කිහිප දෙනකු සමඟ එක්වී සංචාරකයා බේරා ගන්නට දැඩි උත්සාහයක යෙදුණා. උත්සාහය සාර්ථක වුණා. මංකොල්ල කරුවන්ට සංචාරකයාගේ ගමන් මල්ල උදුර ගන්නට හැකි වුණේ නැහැ. නමුත්, මංකොල්ල කරුවාගේ පිහි පහරක් වැදී තිබුණු නිසා සංචාරකයාගේ මුහුණ තුවාල වී තිබුණා. ඔහුට, වෙනත් අනතුරක් සිදුවුණේ නැහැ. ඩැනියල් මේ වීරකම සිදුකළේ කුඩා කාලයේදී ‘හැරී පොටර්’ චිත්‍රපටවලදී නිරූපණය කළ ඉන්ද්‍රජාලයකින් නම් නොවෙයි! ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඩැනියල් දැන් 27 වියැති තරුණයෙක්.
සිගරැට්ටුවක් නිසා ලබාෆ් කූඩුවේ
ශයා ලබාෆ් යොවුන් රසික කැල අතර නමක් දිනා සිටින නළුවෙක්. ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’, ‘ඩිස්ටර්බියා’ සහ ‘ෆියුරි’ වැනි මෑතකදී තිරගත වූ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ ඔහු, ඩිස්නි රූපවාහිනී චැනලයෙන් විකාශය වූ චිත්‍රපටවල රඟපෑමෙන් වඩාත් ජනප්‍රිය වූවා.
රංගනයෙන් ජනප්‍රිය වූවත් ඔහුගේ පෞද්ගලික ක්‍රියා කලාපයන් නම් ප්‍රසන්න බවකින් යුතු නැහැ. මෑතකදී ඔහු ජොර්ජියා ප්‍රාන්තයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, බීමත්ව සිටිමින් මහජනතාවට හිරිහැර වන ලෙස හැසිරීම නිසයි. ඔහු මහමඟ රැඳී සිටි පුද්ගලයකුගෙන් දුම්වැටියක් ඉල්ලා සිටීමෙන් පසුවයි, මේ කලහකාරී තත්ත්වය මතුවී ඇත්තේ. එම පුද්ගලයා දුම්වැටියක් ලබාදීම ප්‍රතික්ෂේප කළ විට ඔහු සමඟ දබරයකට පැටලුණු ශයා, එහි කුඩා ළමයින් සහ කාන්තාවන් ද සිට තිබෙනවා. මේ වාතාවරණය මැඬලීමට එතැනට පොලිස් නිලධාරියකු පැමිණියත් ඔහුව ද නොතැකූ හොලිවුඩ් නළුවා, දිගින් දිගටම පරුෂ වචනයෙන් බැණ වැදිලා. මේ නිසා ඔහුව අත්අඩංගුවට ගන්නට පොලිස් නිලධාරියා උත්සුක වෙලා. නමුත් ශයා, පැන යන්නට උත්සාහ ගෙන තිබෙනවා. කෙසේ හෝ ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ඔහුව රිමාන්ඩ් භාරයට පත් කරලා. පසුව ඩොලර් 7000ක ඇපයක් මත ශයා ලබාෆ්ව නිදහස් කර තිබෙනවා.
මයිකල් ජැක්සන්ගේ නෑසූ ගී එකතුවක්
පොප් ගී ලොව කිරුළ දැරූ මයිකල් ජැක්සන් මෙලොවින් සමුගෙන වසර 8ක් ගත වෙලා. ඔහු ගැයූ, රසික පිරිස් මෙතෙක් නොඇසූ ගීත 12ක් ඇතුළත් තැටියක් පසුගිය සතියේ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු සංවිධානය කර තිබුණා.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර වෙන්දේසි හලකදී අලෙවියට තබා තිබෙන මේ ගීත එකතුවේ අවම ලන්සුව මිල කර ඇත්තේ ඩොලර් 50,000කටයි. ‘බයිබල්’ යනුවෙන් නම් කර ඇති මේ ගීත එකතුවෙහි ඇතුළත් වන සෑම ගීතයක්ම හොඳ තත්ත්වයක පවතින බවයි, මයිකල්ගේ පෞද්ගලික සහකාරවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ අයකු පවසා තිබුණේ. ජූලි 19 දා සිට 28 දක්වා පැවැත්වීමට නියමිත මෙම වෙන්දේසියට මයිකල් භාවිත කළ භාණ්ඩ කිහිපයක් සහ ඔහු විසින් සිතුවම් කරන ලද චිත්‍රයක් ද ඇතුළත් වුණා.