dark room වෙනස්ම ආකාරයේ වැඩක් | සිළුමිණ

dark room වෙනස්ම ආකාරයේ වැඩක්

නාලක හපුආරච්චි

වර්තමාන ආර්ථිකමය, සමාජමය රාමුව තුළ ජීවත්වන තරුණයන් හතර දෙනකු මුහුණ දෙන ගැටලු රැසක් ගෙනහැර පාන dark room වේදිකා නාට්‍යයේ මංගල දැක්ම පසුගියදා ලුම්බිණි රඟහලේදි වේදිකා ගත කෙරිණි. එහි අධ්‍යක්ෂ නාලක හපුආරච්චි සමග කළ පිළිසඳරකි මේ.

dark room වෙනස්ම ආකාරයේ වැඩක් ..?

ඔව්.. dark room වෙනස්ම අද්දැකීමක් ගෙනදෙන නාට්‍යයක්. ස්ත්‍රිත්වයත්, පුරුෂභාවයත් නැති පුද්ගලයකු සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන්නත්, ඔහුගේ හෙට දවස කෙසේ විසඳෙනවාද යන්නත් පිළිබඳව තරුණයන් හතර දෙනකු වටා ගෙතෙන කතාවක් මෙය.එහිදී ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන ආර්ථිකමය, සාමාජීමය, සහ වෙනත් බාහිර බලවේගයන්ට මුහුණ දීමේදි සිදුවන ගැටලු පිළිබඳවත් නිරූපණය වනවා. 'dark room' යන නම යෙදුවේත් අපි සියලු දෙනාම ඉපදෙනකොට පේන්නේ අදුර,ඒ අඳුරේ අපි හැමදාමත් ගිලී සිටින බවයි මෙමගින් නිරූපණය වන්නේ.

• මේ නාට්‍යයේ ඔබ දකින තවත් විශේෂතා තිබෙනවාද..?

නාට්‍යය පැය දෙකක් පුරාවටම රඟදැක්වෙනවා.එහෙත් රංගන ශිල්පීන් සිටින්නේ හතර දෙනකු පමණයි.නාට්‍ය පුරාවටම මේ චරිත හතර හුවමාරු වෙනවා. ලංකාවේ නාට්‍ය කලාවේ මේ ක්‍රමය දක්නට ලැබෙන්නේ කලාතුරකින්.

• අධ්‍යක්ෂණයට අමතරව ඔබත් මෙහි රංගන ශිල්පියෙක්..?

අධ්‍යක්ෂණය,නිෂ්පාදනය, රංගනය, පසුතල නිර්මාණය යන අංශ කිහිපයකින් මම මේ නාට්‍යයට දායකවෙනවා. මෙයට පෙරත් වේදිකා නාට්‍ය 16ක පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ආනන්ද එස්.විජේසිරි මහතාගේ දෙව්ලොව යනතෙක්, අඳ බිසව්, පුරවර සුන්දරී ආදී නාට්‍ය ඒ අතර තිබෙනවා.

• මේ සඳහා දායකවන අනෙකුත් ශිල්පීන් ගැන සඳහන් කළොත්..?

පිටපත් රචනය-රත්නසිරි පරණවිතාන, රංගනය-නිශාන්ත කුලරත්න,විජිත හෙට්ටිගේ, දිනිදු ඒකනායක,සහ මම . වේදිකා පරිපාලනය-ගැමුණු රණවීර, වේශ නිරූපණය-වසන්ත ගුණසේකර,සංගීත අධ්‍යක්ෂණය-දිනේෂ් හේවගේ

• ඔබට මේ නාට්‍යයෙන් සමාජයට පුළුල් දැනුමක් දිය හැකිවේයැයි කියා විශ්වාස කරනවාද..?

බුද්ධිමතුන්ට තෙවැනි ඇසකින් බැලිය හැකි ගැඹුරු අර්ථයක් මෙහි ගැබ්ව තිබෙනවා. පාසල් සිසුන් නැරඹියයුතු නාට්‍යයක් මෙය.එසේම පාසල්වල විදුහල්පතිවරුන්ට නොමිලේ සපයන නාට්‍ය වැඩමුළු සඳහාත් ඉල්ලුම් කළ හැකියි.මෙතෙක් නාට්‍ය කලාවේ නොකෙරුණු අලුත්ම අත්දැකීමක් විඳ ගැනීමට හැකි නාට්‍යයක් මෙය. වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍යනම් 0777765746 දුරකථන අංකයෙන් හෝ නාලක හපුආරච්චි, නො.137/2, දෙව්රම්වෙහෙර පාර, දෙපානම, පන්නිපිටිය ලිපිනයට යොමුකළ හැකියි.

 


ඇසි දිසි මඟක හෙට දවස සම්මන්ත්‍රණය 04දා කොළඹදී

ශ්‍රී ලංකාවේ විවිධ රූපවාහිනී නාළිකා වලින් විකාශය වන වැඩ සටහන්වල සහ එම මාධ්‍ය භාවිතයේ සමාජයීය බලපෑම ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු වන්නේ එමගින් රටේ අනාගතයට එල්ල වන තීරණාත්මක බලපෑම සුළු පටු නොවන හෙයිනි. විද්වත් සමාජය පිළිගත් ආචාර ධර්ම විටෙක අමු අමුවේ උල්ලංඝනය කරවූ මෙරට මාධ්‍ය පද්ධතිය තරගකාරිත්වය හමුවේ ජන මනසට ගෝචර නොවන වැඩ සටහන් ඉදිරිපත් කරන අවස්ථා පිළිබඳවද විවිධ විවේචන එල්ල වේ. එක් අතකින් සමාජ මාධ්‍ය සහ නව තාක්ෂණය හමුවේ අභියෝගයට ලක්වන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. එහෙත් ඇසි දිසි මගෙහි හෙට දවස පැහැබර කර ගැනීමේ වගකීම ඒ හා බැඳුණු සියලු පාර්ශව වෙත ඇත.මේ සියලු සාධක සාකච්ඡාවට ගැනෙන විවෘත සංවාදයක් ලබන මස ( අගෝස්තු) 04 සිකුරාදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රෙය්දී පැවැත්වේ.


ඇපට් ආට් ඇකඩමියෙන් වෘත්තීය චිත්‍ර ශිල්පීන්ට සත්කාරක්

මෙරට වෙසෙන නිදහස් වෘත්තීය ක්‍රියාකාරි චිත්‍ර ශිල්පීන්/ශිල්පිණියන්ගේ අභිවෘද්ධිය සඳහා සකස්වුණු චිත්‍රකලා ‍ක්ෂේත්‍ර සුභසාධන වැඩසටහනක් ශ්‍රි ලංකාවේ පුරෝගාමි චිත්‍රකලා ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භකළ ඇපට්ආර්ට් ඇකඩමියේ අධ්‍යක්ෂ කලා ශිල්පී ලලිත් කළුබෝවිල මහතා විසින් සැලසුම්කොට ඇත. ඒ සඳහා සහභාගිවීමට ජීවදත්ත ලේඛනය(තමන්ගේ පෞද්ගලික තොරතුරු) සහ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරි ඡායාරූප සමගින් ලබන (අගෝස්තු)මස 04දා පෙරවරු 10.30ට 'සුදර්ශි' සිංහල සංස්කෘති ආයතනයට නොවරදවා ම පැමිණෙන ලෙස ආරාධනා කරයි. දුරකථන අංක-0777485137 අධ්‍යක්ෂ ලලිත් කළුබෝවිල සහ 0773030667 සම්බන්ධීකරණ නිලධාරි රංජිත් ගුණතිලක ඇමතීමෙන් වැඩිවිස්තර ලබාගත හැකිය.


තමළිනී ජෙයක්කුමාරන්ගේ කෙටිකතා සංග්‍රහය පිළිබඳ සංවාදය හෙටයි

 එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ක්‍රියාකිරි සමාජිකාවකව සිටි තමිළිනී ජෙයක්කුමාරන් පුනරුත්තාපනය වු කාලයේදි හා ඉන් පසුව දෙමළ බසින් රචනාකරන ලද කෙටිකතා එකතුවක සිංහල පරිවර්තනයවු 'අළුයම සිහිනය 'කෙටිකතා සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය දේශපාලන සංවාදය හෙට(31) සවස 3.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවනාගාරයේදි පැවැත්වේ. 

Comments