BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 බිග් බී ගෙන් දේශපාලනඥයකුට චෝදනාවක්

‘බිග් බී’ ගෙන් ඉන්දීය දේශපාලන නායකයකුට චෝදනාවක් එල්ල වෙලා. බිග් බී හෙවත් අමිතාබ් භච්චන් ගෙන් මේ කෝපාවිෂ්ට ප්‍රතිචාරය එල්ල වී ඇත්තේ ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයේ නායක කුමාර් විශ්වාස්ටයි. අමිතාබ් පවසන්නේ, කුමාර් විසින් තම පියා රචනා කළ ගීත නාටකයක කොටසක් අනවසරයෙන් උපුටාගෙන කළ ගායනයක් යූ ටියුබ් වෙබ් අඩවියට මුසු කර ඇති බවයි. (අමිතාබ්ගේ පියා, ප්‍රකට කවියකු වූ දිවංගත හරිවනාෂ් රායි භච්චන්.)

අමිතාබ් වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය ප්‍රකාශන හිමිකම් නීතිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් පියා ලියූ ගීත නාටකය කුමාර් යූ ටියුබ්හි ගායනය කරන බවයි. එම නිසා කුමාර්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වන බවත් ‘බිග් බී’ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කුමාර් විශ්වාස් පවසන්නේ හරිවනාෂ් භච්චන්ගේ නිර්මාණයක කොටසක් තමන් එලෙස උපුටා ගත්තේ කිසිවකුටවත් අලාභයක් සිදු කිරීමේ අදහසින් නොවන බවයි.

අන් අඟනක උකුල මත...

පසුගියදා මුම්බායිහි සුපිරි හෝටලයකදී පැවැත්වුණු ජනප්‍රිය නිළියකගේ උපන් දින සාදයකදී අපූරු දෙයක් සිදු වුණා. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු රැසක්ම සහභාගි වූ මේ උපන් දින සාදයට එක්තරා පෙම් යුවළක් ද පැමිණ සිටියා. ඔවුන් දෙදෙනා කවුරුන් ද යන වග මේ සිද්ධිය වාර්තා කළ ඉන්දීය මාධ්‍ය හෙළි කළේ නැහැ. සාදයට එක්වූ මේ දෙදෙනා කවුරුත් දන්නා පෙම් යුවළක්. සෙසු නළු නිළි පිරිස සමඟ සතුටු සාමීචියෙහි යෙදී සිටි පෙම්වතියගෙන් මඳක් බැහැර වූ පෙම්වතා මත්පැන්වලින් සප්පායම් වූවා. පැයක් දෙකක් ‍ගතවෙද්දී ඔහු සිටියේ බමන බඹරකු වගෙයි.

ඔහු වැනි වැනී පෙම්වතිය සිටින දෙසට ගමන් කළේ කාගේත් සිනා හඬ මැද්දේ. එක් වරම ඔහුගේ නෙත ගැටුණේ සුරූපී නිළියක්. ඇය මේසයක් අසල අසුන්ගෙන සිටියා. මේ බමන නළුවා ඊළඟ මොහොතේ සිදු කළේ කවුරුත් නොසිතූ දෙයක්. ඔහු ඇගේ උකුල උඩ වාඩි වෙලා මේ දර්ශනය දුටු බොහෝ දෙනා තුෂ්ණිම්භූත වී ඒ දෙස බලා සිටිද්දී තවත් සමහරු කොක් හඬලමින් සිනාසුණා. නළුවාගේ පෙම්වතියට මේ මොහොතේ පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති. ඇය වහාම දුවගෙන විත් තම පෙම්වතාගේ අතකින් ඇදගෙන සාදයෙන් නික්ම ගියේ තරහෙන් පුපුර පුපුරා බැණ වදිමින්. මේ සිද්ධියත් එක්කම උපන් දින සාදයක් නිමාවට පත්වූ බවයි ආරංචි. මේ තරුණ නළුවා මීට පෙරත් මෙලෙස අසෝබනව හැසිරී තිබෙනවාලු. මෙලෙස හැසිරුණොත් මේ සම්බන්ධය නතර කරන්නේ යැයි ඇය ඔහුට පවසා තිබෙනවාලු.

කන්ගනාට කඩු පහරක්

කන්ගනා රනවුත්, සටන් ජවනිකාවලදී පසුපසට නොයන නිළියක්. ආදේශක (ස්ටන්ට්) නිළියක් හෝ නළුවකු නොගෙන තමන්ම එවැනි අවදානම් අවස්ථා නිරූපණයට ඇය නොපැකිළව ඉදිරිපත් වෙනවා. පසුගියදා එවැනි ජවනිකාවක රඟපාද්දී ඇයට තුවාල ලබන්නට සිදුවුණා. ඒ, ‘මණිකර්ණිකා ද ක්වීන් ඔෆ් ජන්සි’ නම්වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයේ දර්ශනයක රඟපාද්දීයි. මෙම දර්ශනයේ ඇයට සිදුවුණේ නිහාර් පාණ්ඩ සමඟ කඩු සටනක් නිරූපණය කරන්නයි. රූගත කරන්නට කලින් පෙරහුරු කිහිපයකම යෙදුණු කන්ගනා රූගත කිරීමට සූදානම් වුණා. මේ ජවනිකාවේ එක් අවස්ථාවකදී නිහාර් විසින් ඇය දෙසට කඩු පහරක් එල්ල කරන විට ඇය තම හිස පහත් කළ යුතුව තිබුණා. ඇය එලෙස හිස පහත් කළත් සිදු වුණේ නිහාර්ගේ කඩු පහර ඇගේ නළලෙහි වැදීමයි. කන්ගනාගේ දෙබැම අතරට වැදුණු ඒ කඩු පහරෙන් ඇගේ නළල ගැඹුරට කැපී තිබුණු බවයි පැවසෙන්නේ. කඩු පහර වැදුණු විට නොනවත්වා රුධිරය ගලා ගියත්, දැඩි වේදනාවක් දැනුණත් රෝහලට ඇතුළු කරන තෙක් කන්ගනා දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව බිය නොවී සිටි බවයි චිත්‍රපට කණ්ඩායමේ ශිල්පීන් පැවසුවේ.

කන්ගනාව ඇතුළත් කෙරුණේ ඉන්දියාවේ ඇපලෝ රෝහලටයි. කන්ගනා පරීක්ෂා කළ වෛද්‍යවරු වහාම ක්‍රියාත්මක වී ඇගේ නළලට ප්‍රතිකාර කළා. තුවාල වූ ස්ථානයට මැහුම් 15ක් දැමූ බවයි, වෛද්‍යවරයකු ප්‍රකාශ කළේ. ඉන් පසුව ඇය දැඩි සත්කාර ඒකකයට යොමු කෙරුණා. මේ සති අන්තයේදී ඇයව රෝහලෙන් නිදහස් කිරීමට නියමිතව තිබුණා. තමන්ගේ කඩු පහරෙන් කන්ගනා තුවාල ලැබූ නිසා කනස්සල්ලට පත් නිහාර්, ඇගෙන් සමාව අයැද සිටියා. නමුත් කන්ගනා ඔහුව අස්වමින් සුහදව කතා කළා. වෛද්‍යවරුන් පැවසුවේ තුවාලය සුව වීමෙන් පසුව කන්ගනාගේ නළලෙහි කැළලක් මතු විය හැකි බවයි. ඒ නිසා එය මකා දැමීමට ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීමට සිදුවිය හැකි බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. 

 

Comments