
‘‘මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි”ශ්‍රාවකයාගේ සිත් පිනා යන්නේ ශ්‍රාවකයාගේ සිත් ප්‍රබෝධවත් වන්නේ අපූර්වත්වයෙන් යුත් ගීත ශ්‍රවනය කිරීම මගිනි. අපූර්වත්වයෙන් යුත් ගීතයක් නිර්මාණය වන්නේ රමණීය වදන් සමූහයකිනි.
රමණීය වදන් සමූහයක් සම්පාදනයකර ගැනීමේ දී නිර්මාණශීලීව භාෂාව භාවිත කිරීම වැදගත් වෙයි. නිර්මාණශීලීව භාෂාව භාවිත කිරිම තුළින් ගීතයක් සුපුෂ්පිත වෙයි. මේ අනුව අපූර්වත්වයෙන් යුත් ගීත තනන ගීත නිබන්ධකයා භාෂාව ප්‍රධාන මෙවලමක් කර ගනී.
සිංහල ගීත සංස්කෘතිය පෝෂණය කරමින් විශිෂ්ට ලෙස භාෂාව භාවිත කළ ගීත නිබන්ධකයකු ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට හිමි වන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. නිර්මාණාත්මක ගීතයේ විෂය පථය මැනවින් වටහාගනු ලැබූප්‍රේමකීර්ති ද අල්විස් මහතා එහි සැරි සැරුවේ විවිධ මුහුණුවරයන්ගෙන් යුත් නිර්මාණ සමුදායක් සිංහල සමාජ සංස්කෘතියට දායාද කරමිනි.
පාරම්පරිකව වහනය වන අපගේ පැරැණි සංස්කෘතික ජනවහරේ ඇතැම් රීතින් සහ සම්භාව්‍ය ගීත සංස්කෘතියේ ඇතැම් අංග ලක්ෂණ උකහා ගනිමින් ශ්‍රාවකයින්ගේ අධ්‍යාත්මික ගුණය සංවර්ධනය කිරීමට දායකත්වයක් සැපයූ ඒ මහතා අසීමිත ප්‍රතිභා ශක්තියකින් හෙබි ගීත නිබන්ධකයෙක් ලෙස පිළි ගැණේ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් නිර්මාණය කළ බොහෝ ගීත නිබන්ධ අතීතයට වඩා වර්තමානයටත් ඒවාගේම අනාගතයටත් වැදගත් වීමේ ප්‍රවණතාවක් ද පවතී. නිදර්ශනයක් ලෙස චිත්ත රූප මැවෙන හැඟීම් කුළුගන්වන වදන් සමුදායකින් නිමැවුණු ‘දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ‘ ‘ආදරයේ උල්පත වූ අම්මා” සහ ‘‘මේ නගරය මා ඔබමුණ ගැසුණු නගරයයි” ආදී ගීත සඳහන් කළ හැකිය. මෙම ගීතවල අන්තර්ගත ප්‍රස්තුතයන් ඒ මහතා විසින් අපට සමීප කරනු ලැබුවේ අසා රසවිඳීමට පමණක් ම නොවේ.
අපගේ සිත් වලට සැනසිල්ලක් ගෙන දී උදාර සිතුවිලි ඇති කරවීමට ය. මේ අනුවප්‍රේමකීර්ති ද අල්විස් මහතා නූතන ගීත සාහිත්‍ය පෝෂණය කිරීමට දායකත්වය සැපයූ දුලබ ගණයේ නිර්මාණකරුවකු ලෙසහැඳින්වීමට පුළුවන.
නිර්මාණශීලී ගීත නිබන්ධකයකු, සන්නිවේදකයකු, මෙන්ම මානව හිතවාදීයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ කෘතහස්ත කලාකරුවා අපේ ජන සමාජයට අහිමි වී මේ වන විට වසර 28 ක් ගත වී තිබේ. ඒ මහතා අපගෙන් සමුගැනීම මහත් පාඩුවකි. ඒමහතාගේ වෙන්වීම එදාට වඩා දැනෙන්නේ අද දවසේ ය.
එය හෙට දවසේ දී අපට ඊටත් වඩා වැඩියෙන් දැනෙනු ඇත.. එබැවින් මේ සූර සන්නිවේදකයා අපට ඉතිරි කළ දෙයක් වේ නම්, එය රැකගෙන මතු පරම්පරාවට උරුම කර දීම අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්වනු ඇත.