සිනා කතා | සිළුමිණ

සිනා කතා

තරු පොකුරක්

“අර ඈත අහසෙ පේන්නෙ ඉරබට තරුවද ප්‍රේම්?” රාත්‍රියේ මුහුදු වෙරළේ ගලක් මත තම පෙම්වතා ආසන්නයේ වාඩිවී සිටි සුමාලි ඇසුවේ ප්‍රේමාන්විත බැල්මක් ඔහු වෙත හෙළමිනි.

“වෙන්ඩ ඇති. ඉරබට තරුව විතරක් නෙමෙයි, තරු පොකුරක් ම පේන්ඩ ගත්තේ, ගෙදර දැන් තියෙන තත්ත්වේ හින්දා අපිට ඉක්මනට ම කසාද බඳින්ඩ වෙයි කියලා ඔයා දැන් ටිකකට කලින් කිව්ව වෙලාවේ ඉඳලා.” ප්‍රේමපාල කීවේ දිග හුස්මක් හෙළමිනි. ‍‍‍

 

ඇත්තට ම මොකෙන් ද?

 

“ඔයා දිගට ම බෙහෙත් කරපු අර ලෙඩාට දැන් හොඳට ම සනීපයි කියලා දැන් ඔයා ටිකකට කලින් කිව්වා නේද? ඉතින් අනේ දැන් ඔය මොකද ඔයා අහස පොළොව ගැට ගහන්ඩ වගෙ කෙලවරක් නැතුව කල්පනා කරන්ඩ පටන් ගත්තෙ?” බිරිඳ තම වෛද්‍ය සැමියාගෙන් ඇසුවේ සාලයට පිවිසෙමිනි.

“මට හිතාගන්ඩ බැරි මම දුන්න මොන බෙහෙතෙන් ද ඒ ලෙඩාට සනීප වුණේ කියලනෙ. මම මේ කල්පනා කළේ ඒ ගැන.” වෛද්‍යවරයා කීවේ බරෑරුම් ස්වරයකිනි.

 

මන්තරේ බලය

 

සිහිමඳ ගතියකින් පෙළෙන දයා සුපුරුදු පරිදි උදේ බස් රථයක නැඟී කොළඹ බලා එමින් සිටියේ ය. බස්රථයේ ඉදිරි අසුනක කවුළුවක් අසල වාඩි වී සිටි හේ තම අතේ තිබූ ෆයිල් කවරය තුළ තිබූ පත්තර පිටුවක් ගෙන එය සිහින් තීරුවලට ඉරා, යමක් මතුරමින් එම කඩදාසි තීරු කවුළුවෙන් පිටතට දමන්නට විය. එම කඩාදාසි තීරු කීපයක් පාවී අවුත් තම මුහුණේ රැඳීමේ කෝප වූ ගාමිණී, මඳක් ඉදිරියට නැඹුරු වී ඉදිරි අසුනේ සිටි දයාගෙන් මෙසේ ඇසුවේ රළු හඬිනි.

“ඔහේ ඔය මොකද කරන්නෙ? ඔය කඩදාසි තීරු මගෙ මූණ පුරාම.”

“මම මේ අලි එළවන්ඩ මන්තරයක් මතුරලයි ඔය කඩදාසි තීරු එළියට දැම්මේ.” දයා කීවේ බැරෑරුම් හඬකිනි.

“ඒත් ඉතින් කෝ, අලි එකෙක් වත් පේන්ඩ නැහැනෙ.” ගාමිණී ඇසුවේ අන්දමන්ද වෙමිනි.

“ඒක තමයි, මගෙ මන්තරේ නියමෙට වැඩ කරලා.” දයා සිනාසෙමින් කීවේ ය.

එහෙම කළොත් වැඩිය හොඳයි

 

“සුමාලි ඔයාගෙ අම්මලා තාත්තලා ඔයාව මට නොදුන්නොත් එහෙම ඇත්තමයි මම පොලිඩෝල් බොනවා.” ප්‍රේමපාල කීවේ තම පෙම්වතියගේ හිස මත තම සුරත තබා දිවුරමිනි.

“අනේ ඇත්තමයි ප්‍රේම්, ඔයා එහෙම දෙයක්වත් හරියට කරලා පෙන්නන එක හොඳයි. අපේ අම්මලා හැමවෙලේ ම කියන්නෙ ඔයා වගෙ නෝන්ජල්, බයගුල්ලකුට මාව දෙන්නෙ නැහැ කියලනෙ, ඒ හින්දා ඒගොල්ලෝ ඔයා ගැන දරන ඔය මත දුරු කරන්ඩත් එක්ක ඔයා ලෝකාන්තය වගේ තැනකින් පැනලා මැරෙන්ඩ.” සුමාලි කීවා ය.

 

උපදෙස් දුන්නෙ එයානෙ

 

“මට නං හිතෙන්නෙ සමන් මහත්තයා අද මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමැතිතුමා විවේචනය කළා සැර වැ‍ඩියි කියලයි. ඇමැතිතුමා ඒක දැක්කාම එය‍ා‍ෙග යකා ඇවිස්සෙන්නත් බැරි නැහැ.” පියදාස සමන් අමතා එසේ කීවේ මාධ්‍ය සාකච්ඡාව අවසන් වී ඒ සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන් සියලු දෙනා ම තේබී පිටවයාමෙන් පසුවය.

“පිස්සුද පියදාස, ඇමතිතුමාමනෙ මට කිව්වේ එයාට තදින් ම බැණලා කතා කරන්ඩ කියල. එතකොට, අපි එයත් එක්ක හොර රහසේ සම්බන්ධකම් පවත්වනවයි කියල අපිට විරුද්ධ එවුන් ගෙනියන ප්‍රචාර නිකංම බොරුවෙලා යයි කියලා කිව්වෙත් ඇමැතිතුමාමනෙ.” සමන් කපටි සිනාවක් පාමින් කීවේ ය.

 

විසඳුම ඒකයි

 

“අයියෙ, ඔයා පෙරේදා හොඳටම බීලා ඇවිත් කුමාරි අක්කට පරුෂ වචන පවා කියලා හරි නරක විදියට බැන්නා කියල ආන් එයා හරිම හිතේ අමාරුවෙන් ඉන්නෙ.” අසල්වැසි සෝමා සෙනෙවිරත්න හට කීවේ ඔහු උදේ බයිසිකලයේ නැඟී රාජකාරි කටයුත්තකට යමින් සිටියදී ය.

“‍ෙහාඳයි සෝමා නංගි. එයා දැන් මට මොනවා කරන්ඩ කියලද කියන්නෙ?” සෙනෙවි ඇසුවේ සිනාසෙමිනි.

“ඉතින් අයියේ, ඔයා මාධ්‍ය සාකච්ඡාක් කැඳවලා ඒකෙදි ප්‍රසිද්ධියෙ ම එහෙම බැන්නට තුෂාරි අක්කගෙන් සමාව ගත්තා ම ඉවරයිනෙ.” සෝමා කීවා ය. 

Comments