සතර සවිය සහ නෙළුම 13 | Page 2 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 13

සංස්කාරක සටහන

 

රසඳුන දෙවැනි පිටුව වෙන්කර ඇත්තේ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ලියන ‘සතර සවිය සහ නෙළුම‘ ලිපියටයි. මෙවැනි ලිපියක් ලියන්නැයි මම එතුමන්ට ආරාධනා කරන්නට සිතා ගත්තේ මීට වසර කීපයකට පෙර සුමති සම්මාන උළෙලකට පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එතුමන් පැවැත්වූ කෙටි දෙසුමකට සවන් දුන් අවස්ථාවකදීය. එදා එහි රැස්ව සිටි ප්‍රවීණ , නවක නළු නිළියන්ගේ මෙන්ම මාධ්‍ය වේදීන් සැමගේම ප්‍රශංසාවට එම කෙටි දෙසුම බඳුන් වූ අතර, නව පරපුරේ නළුවකු පැවසුවේ මෙවැනි හරවත්, රසවත් දේශනා මාසයකට වරක් හෝ අසන්නට හැකිනම් මොන තරම් වටින්නේද කියායි.

ඒ අනුව පසුගිය වසරේ රසඳුන 20 වැනි සංවත්සරයේදී එහි ප්‍රධාන දේශනය පවත්වන්නට මම එතුමන්ට ආරාධනා කළෙමි.එතුමන් එය නිහතමානීව පිළිගත්තා පමණක් නොව කතා කරන්නට අවැසි මාතෘකාව පිළිබඳව මා සමඟ සාකච්ඡා කරන්නට තරම් නිහතමානී විය. එදා එතුමන් ඉතා හරවත්, රසවත්, වැදගත්, ප්‍රයෝජනවත් කතාවක් කළේය.

මීට මාස කිහිපයකට පෙර මම එතුමන්ට රසඳුනට ලිපිපෙළක් ලියන්නැයි කළ ආරාධනය ද එතුමා නිහතමානීව පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ලිපිය ආරම්භ කෙරිණි. මෙම ලිපිය ලියන්නට පෙර ඒ අදහස සහ එහි ගුණදොස් මා හට කියූ එතුමා සිය ජීවිත කතාව ඇසුරෙන් මෙම ලිපිය ලියන්නේය. සැබැවින්ම මෙය කලා ලෝකයේ සිටින නවකයන්ට මෙන්ම ප්‍රවීණයන්ටද එකසේ ප්‍රයෝජනවත් බව මට ලැබෙන සුබදායී ප්‍රතිචාරවලින් පෙනේ.

ඔහු කොතරම් නිහතමානීව උනන්දුවකින් සහ සැලකිල්ලකින් මෙම ලිපිය ලියනවාදැයි මම දැනගත්තේ එම ලිපිය එතුමන්ගේ අතින්ම මට ගෙනැවිත් දීමෙනි.

පසුගිය සතියේ සිරිත් පරිදි එතුමන් ලිපියේ කොටස් 2 ක් මා අතට පත්කරන අතර තරමක සිත් කලකිරීමකින් කතා කළේ ය.දිනපතා පුවත්පතක (ලේක්හවුස් නොවේ) එතුමන් නිවේදකයන්ගේ වෘත්තිය තෝරාගෙන ඇති බවත් ඒ නිසා නිවේදකයන්ට බලවත් අසාධාරණයක්, අනර්ථයක් සිදුකරන බවත් පලකර ඇතැයි කීවේය. සැබැවින්ම එම මාධ්‍ය වේදියා කලක් ඡායාරූප ශිල්පයේ නියැලුණු අයෙකි. වර්තමානයේ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කරන අතර තරමක අහංකාරකමකින් ආඩම්බරයකින් පසුවන්නකු බව මාධ්‍ය ක්ෂේත්‍රයම දන්නා බව මම ඔහුට කීවෙමි.

කෙසේ වුවත් අප මාධ්‍ය වේදීන් ලෙස ලියන දෙය පිළිබඳව දෙවරක් සිතිය යුතුය. එසේම කිසියම් දෙයක් පුවත්පතේ පලකිරීමට ප්‍රථම එම ලිපියේ අන්තර්ගතය පිළිබඳව සංස්කාරකවරුන් දැනගත යුතුය. පුවත්පත් කලාවේ විශ්වාසවන්ත භාවය රැකෙන්නේ එවිටය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ යනු පළපුරුදු කලාකරුවෙකි. ජීවිතයේ සැඳෑ සමය අර්ථවත්ව ගත කරමින් තම මිහිඳු පදනම හරහා කලාකරුවන් වෙනුවෙන් බොහෝ දේ කරන කෙනෙකි.

පිදිය යුත්තා පුදන, ගරුකළ යුත්තාට ගරුකරන රටට, කලාවට දැනෙන යමක් කරමින් සිටින සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට තම මෙහෙවර තව බොහෝකලක් කරන්නට දිර්ඝායුෂ පතමි.


යකඩ වැටවල් කඩාගෙන සෙනඟ එන පික්චර් එකක්

මාතර ආච්චි’ චිත්‍රපටය තිරගත වූයේ එක්තරා විධියක සංක්‍රාන්ති සමයක ය. ඒ සමය මෙසේ ය. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ ඒකාධිකාර බලය තිබුණේ ප්‍රසිද්ධ සමාගම් තුනක ය. මේ ඒකාධිකාරී බව බිඳ දමා චිත්‍රපට සංස්ථාවක් ඇති කළ යුතු යැයි සිතූ ප්‍රවීණ සිනමාකරුවන්, අධ්‍යක්ෂවරුන්, කැමරා අධ්‍යක්ෂවරුන්, තිර නාටක රචකයන්, රංගන ශිල්පීන් විශාල පිරිසක් සිනමා හවුලක් පිහිටුවාගෙන එකල ඉදිරියේදී පැවැත්වීමට යන මැතිවරණයේදී සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය සමඟ කථිකාකොට ගිවිසුමකට එළඹීමට තීරණය කළෝය. ඒ පාර්ලිමේන්තු පනතකින් චිත්‍රපට සංස්ථාවක් ස්ථාපිත කිරීමට යි. මැතිණිය ජය ගත්තා ය. පනත ස්ථාපිත විය.

මෙතැනදී සිනමා ශාලා හිමියන් තමාගේ සූර පාලන පද්ධතිය ළිහිල් කළේ ය. සිනමා ශාලා පාලක කළමනාකරුවන්ට මේ චිත්‍රපට සංස්ථාව නිල වශයෙන් පිහිටුවා කටයුතු කරන්නට ප්‍රථම සංක්‍රාන්තිය කාලය හොඳ ඉල්ලමක් විය. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් ය. සිනමා රසිකයා නිෂ්පාදකට දෙන මුදල නිසි ලෙස නොලැබීම සිදුවිය.

‘මාතර ආච්චි’ චිත්‍රපටයේ නිෂ්පාදක අපට ද එය තදින් බලපෑවේ ය. දෛනික වාර්ථා පොත ඇතැමුන් නිවැරැදිව තැබුවේ නැත. බස්නාහිර පළාතේ එක්තරා සිනමා ශාලාවක් පරීක්ෂා කිරීමට ඉරුදිනක මම ගියෙමි. ‘House Full’ දැන්වීම් පුවරුව දුටිමි. මම සතුටට පත්වුණෙමි. අඟහරුවාදා දෛනික වාර්තාවේ සඳහන් වූයේ විදුලි බලය නොමැති නිසා දර්ශන අවලංගු කළ වගයි. මා ඔවුනට සාප නොකළත් පෘතග්ජන මගේ හිතට ආවේ ‘හෙන හත ගහන අපරාධයක් නේද? මුන්මේ කරලා තියෙන්නේ” යන්න යි.

පිටපළාත්වල බොහෝ සිනමා ශාලාවල අධික ලෙස වංචා සිදුවූයේ ය. එම නිසා චිත්‍රපටයට ලැබුණු ආදායම අඩු විය. එහෙත් සිනමාස් සමාගමේ ණය මුලින් ගෙවූ පසු ලත් මුදල් වලින් කොටස්කාර නිෂ්පාදකවරුන්ගේ මුදල් ගෙවා ණය කාරයෙක් නොවීමේ වාසනාව මට තිබුණි. ‘මාතර ආච්චි’ තිරගතවන කාලයේදී සිනමා කළමනාකරුවන් බොහොමයක් කියා සිටියේ “කලාත්මක චිත්‍රපට කරලා හරියන්නේ නෑ සර්! ගහන්න Action පිච්චර් එකක්. යකඩ වැටවල් කඩාගන යන්න මිනිස්සු එන්න.” ඒ අදහස මහරගම ‘අනූෂා’ සිනමා ශාලාවේ එවකට සිටිය කළමනාකරුගෙනි. එය හිතේ තැන්පත් විය. ඊට පසු ‘රජගෙදර පරවියෝ’ චිත්‍රපටයේ තිර රචනය කළෙමි. ඩබ්.ඒ.බී. ද සිල්වා කැමරා අධ්‍යක්ෂවරයා සමඟ සම අධ්‍යක්ෂණය කළෙමි. ගාමිණි ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, එම්.ඩී. කුලතුංග, ප්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන, දෙනවක හාමිනේ, හියුගෝ ප්‍රනාන්දු, පර්ල් වාසුදේවි, ලයනල් දැරණියගල, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සහ මානෙල් වානගුරු යනාදී ඉතා දක්ෂ ජනප්‍රිය ශිල්පීන් හා ශිල්පිනියන් රාශියක් චරිත නිරූපණය කළේ ය. සංගීත ආචාර්ය වික්ටර් රත්නායක ගෙනි. ගී පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස් සහ කේ.ඩී.කේ. ධර්මවර්ධනගෙනි. ප්‍රථම වරට වික්ටර් රත්නායකයන් කලාසූරි ලතා වල්පොල සමඟ ‘හිනැහෙන්න රෝමියේ මමයි’ ගීතය ගායනා කළේ ය. සෙසු ගායකයන් වූයේ ප්‍රෙඩී සිල්වා, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරිසිංහ සමඟ ප්‍රථම වරට චිත්‍රපට පසුබිම් ගීතයට සම්බන්ධ වූ මර්වින් පෙරේරා සහ වෝල්ටර් ප්‍රනාන්දු ය.

‘මාතර ආරච්චි’ චිත්‍රපටයේ මෙන් ම ‘රජගෙදර පරවියෝ’ චිත්‍රපටයේ සියලු ගීත අතිශයින් ම ජනප්‍රිය විය. ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘රජගෙදර පරවියෝ’ අතිසාර්ථක වානිජමය චිත්‍රපටයකි. බොක්ස් ඔෆීස් වාර්තා තැබුවේ ය. මෙම චිත්‍රපට ය. සිලෝන් තියටර්ස් සමාගමේ සිනමා ශාලාවල තිරගත විය. මහරගම නැෂනල් සිනමා ශාලාවේ අති සාර්ථක ලෙස චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනවල මම මහරගම අනූෂා සිනමා ශාලාවට ගොඩ වීමි.

එහි කළමනාකරු මා දුටු විගස “ඇයි සර්! ‘රජගෙදර පරවියෝ’ අපිට දුන්නේ නැත්තේ කියා ඇසුවේ ය. මා ඔහුට ඔහුගේ පැරැණි කියමනක් මතක් කර දුන්නෙමි. ඔයා මට කිව්වේ යකඩ වැටවල් කඩාගන යන්න සෙනඟ එන පිච්චර් එකක් ගහන්නනේ. මම ඒක කළා. ඔයාලගෙ යකඩ වැටවල් ශක්තිය මදි හින්දයි මම ඒක නැෂනල් එකට දුන්නේ. ඔහු බිම බලාගත්තේ ලැජ්ජාවෙනි.

‘රජගෙදර පරවියෝ’ මුල්ම දින රූපගත කරද්දී සිදු වූයේ අපූරු සිදුවීමකි. මුහුරත් උත්සවය පවත්වා මංගල රූපගත කිරීමට නැකතට සිදු කරන ලද්දේ රත්නපුරේ සමන් දේවාලයේදීය. පළමු දින දර්ශනවලට සහභාගි වූයේ ගාමිණී, නීටා, හියුගෝ සහ පර්ල් වාසුදේවිය යන අයයි. මේ දිනවල රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ අතුරු මැතිවරණයක් ගැන උණුසුම් කථාබහ කෙරුණු කාලයකි. එක්සත් ජාතික පක්ෂයෙන් ගාමිණී ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීමට යනවා යන කටකථාවක් ප්‍රචලිත විය. අනෙක් පැත්තෙන් නන්ද එල්ලාවල මහතා ය. ඔහු ජනප්‍රිය ප්‍රබල දේශපාලනඥයෙකි.

‍කොයි මොහොතේ හෝ ගාමිණී රත්නපුරයට එනු ඇතැයි යන සිතිවිලිවලින් හිසපුරවාගන සිටින UNP විරෝධී පිරිසේ එක් අයෙක් උදෑසන ඇහැලියගොඩින් රත්නපුර දෙසට ගාමිණි ෆොන්සේකා මහතා යනු දැක ඒ පුවත රත්නපුරයේ නන්ද එල්ලාවල මහතාගේ සහායකයින්ට දන්වා තිබිණි. අපි සමන් දේවාලයේ රූපගත කිරීම් තාවකාලිකව නිම කොට උදෑසන ආහාර වේලාව සඳහා වෛද්‍ය ආටිගල මහතාගේ නිවසට ගිය අතර ගාමිණී මහතා පිටව ගියේ තානායමට ය. ආටිගල මහතාගේ නිවසේ සිටි මා ගාමිණීගේ ප්‍රමාදය ගැන වැටහී තානායමට කථා ‍කළෙමි. තානායම් පාලක මහතා “සර් ඉක්මනට එන්න. මෙතන විශාල ප්‍රශ්නයක්” කීවෙන් මම වහා පිටත් වූයෙමි.

අතරමගදී ගාමිණී මහතා එන රථය මා ගිය රථය ඉදිරියේ නතර විය. මම වාහනයෙන් බැස්සෙමි. ප්‍රශ්නය කුමක්දැයි ඇසුවෙමි. ‘get in’ යයි ගාමිණී කීවේ ය. එම රථයට මම ගොඩ වුණෙමි. දැන් මේ යන්නේ නන්ද එල්ලාවල මහතාගේ කාර්යාලයටයි.

සිදුවී ඇති දේ හා සිදුවු දේ මෙසේ ය. ගාමිණි හමුවට පැමිණි පිරිස හත් දෙනෙකි. ඔවුන් දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙති. ඒ අයට අවශ්‍ය වී තිබුණේ ගාමිණි සමඟ ආරාවුලක් ඇති කොට අතුරු මැතිවරණයට පැමිණීම අඩපණ කිරීමටය. ගාමිණී භාෂා තුනම හොඳින් කතා කරන බුද්ධිමතෙකි. තැනට සුදුසු නුවණ ඇති අයෙකි. එතැන සිටි හත්දෙනාගෙන් එක් අයෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් කථාකොට ඇවිළෙන්නට ගිය ගින්න තාවකාලිකව නිවාගෙන නන්ද එල්ලාවල මහතා හමුවී කතාකොට ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තීරණය වී තිබුණි.

ගාමිණී ෆොන්සේකා යනු තිරයේ වීරයෙක් පමණක් නොවේ. සාමාන්‍ය ජීවිතයේදී ද ඔහු වීරයෙකි. ඒ බව මා හොඳින් වටහා ගත්තේ එදිනයි. පක්ෂ කාර්යාලයට ඇතුළු වූ ගාමිණී එතැන තිබූ බංකු දෙකට උඩින් පැන ඉදිරිය‍ට ගොස් එතැන සිටි තරුණියට “මම ගාමිණි ෆොන්සේකා. මට නන්ද එල්ලාවල හමුවෙන්න ඕනෑ” කීවේය. ගතවූයේ සුළු මොහොතකි. එල්ලාවල මහතා එළියට ආවේය. “Hello gamini, come come කියා ඉතාමත් සුහදශීලීව අප පිළිගත්තේය. පඩි‍ෙපළ කීපයක් බැස එතුමාගේ කාර්යාලයට අපි ගියෙමු. ඒ ගාමිණී, නන්ද සහ මා පමණි. “nanda meet my learned director Mr. Sathischandra Edirisinghe.” යනුවෙන් මා හඳුන්වා දුන්නේ දැඩි ගෞරවයකින් යුතුවය. පාසල් සමයේදී මේ දෙදෙනා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී ගතකළ රසවත් ‍තොරතුරු කතාකරමින් සිටි සොඳුරු හෝරාව අදත් මගේ මතකයේ ඇත. මේ සිදුවීම, පිට සිටින අය දකින්නේ නැත. වෛර සහ අනුවණ දේශපාලන ක්‍රමවල යෙදෙන මෝඩයින්ට අති විශාල කුතුහලයකි. මේ සිදුවීම නමැති ආරංචියට තටු ආවේ ය. සතර දිගින් ම නගරවැසියන් අති විශාල පිරිසකි. U.N.P. අයගේ පැමිණීම වැඩිවිය. කලින් සඳහන් කළ හත්දෙනා මීයන්සේ නිහඬය. කාර්යාලයෙන් එළියට පැමිණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සිනමාවේ චක්‍රවර්ති ඔල්වරසන් මැද රථ පෙරහැරකින් කොළඹට පැමිණියේය. 

Comments