
“අපි හුදකලාවේ යුද්ධ කරන කඳවුරක්... හැබැයි අපි ටික එකාපිට මරාගෙන මැරුණත් මේ ටවර් එක සතුරාට දෙන්නේ නෑ. අතහරින්නේ නෑ. මේ වෙලාවේ අපි ටික දෙනාටම තියෙන්නේ ආත්ම විශ්වාසයයි එඩිතරකමයි. අපි හැමදේම කරන්නේ අපේ අම්මා ඒ කියන්නේ අපේ මාතෘ භූමිය රැකගන්න. පෞද්ගලික අරමුණු පැත්තකට දාලා රට කියන පොදු අරමුණින් සටන් කරමු.”
‘1990 කොකාවිල්’ කෘතිය වූ කලි පරම වීර විභූෂණයෙන් පිදුම් ලද 2 / ලුතිනන් එස්.යු. අලදෙනිය නම් අභීත විරුවාණන්ගේ කථාන්තරය ඔස්සේ දිගහැරෙන යුද සාහිත්‍යයේ සංවේගාත්මක ආවර්ජනයයි. වාර්තා සිනමා අධ්යක්ෂ, මාධ්‍යවේදී හා ගත්කතුවර චරිත් කිරිඇල්ල විසින් රචිත ආර්ය ප්රකාශනයක් වන ‘1990 කොකාවිල්’ කෘතිය ඔස්සේ දිගහැරෙන යුද සාහිත්‍යයේ කතිකාවත පිළිබඳ කතුවරයාගේ අදහසයි මේ.
• ‘1990 කොකාවිල්’ කෘතිය නිර්මාණයේ අදහස?
මෙහි අන්තර්ගතය 1990 කොකාවිල් භූමිය පාදක වුණු සිදුවීමයි. මීට අවුරුදු 27 පෙර සිදු වූ ඒ යුද සංග්‍රාමයත්, කොකාවිල් භූමියේ තිබූ වැදගත්කමත්, ඒ වෙනුවෙන් සටන් කළ අභීත රණවිරුවන් 64 දෙනා ආවර්ජනය කිරීම හා ඇගයීමට ලක් කිරීමත් මෙයින් සිදුවෙනවා. ඒ වගේ ම ලංකාවේ යුද සාහිත්‍යය පිළිබඳව කතිකාවතක් ගොඩනැඟීමත් ඒ තුළින් බලාපොරොත්තු වනවා.
* ‘1990 කොකාවිල්’ හි ඒ අමිහිරි මතකය කෙටියෙන් සිහිපත් කළොත්?
ඇත්තෙන් ම එය ඉතා අමිහිරි අතීත ආවර්ජනයක්. නමුත් කොකාවිල් සිදුවීම හරහා අපේ රටේ අභීත රණවිරුවන්ගේ භූමිකාව ඉස්මතු වුණා. 2 / ලුතිනන් එස්.යු. අලදෙනිය ඇතුළු, අභීත රණවිරුවන් 64 දෙනකු කොකාවිල් ‘විදුලි සම්ප්‍රේෂණ’ කුලුන ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි නොතකා සටන් කළා. යුද මර්මස්ථානයක් වූ කොකාවිල් එල්.ටී.ටී.ඊ ය විසින් අල්ලා ගැනීමට දීර්ඝ කාලීන මෙහෙයුමක් එවක තිබුණා. උතුරත් - දකුණත් යා කෙරෙන යුද හමුදාවේ සියලු සන්නිවේදන කාර්යයන් ඉටුකරන සන්නිෙව්දන මධ්‍යස්ථානය වූයේ කොකාවිල් භූමියයි. එය බිඳ වැටුණොත් සතුරාට තම මවුබිම භාර කළා හා සමාන යුද වටිනාකමක් එහි තිබුණා.
නමුත් අපේ රණවිරුවන් 64 දෙනාම තම දිවි කැපකිරීම මත ඒ ඛේදාන්තය ඔවුන් අපට හිමි කළේ නෑ. ලංකා යුද ඉතිහාසයේ පළමු වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ 2/ලුතිනන් එස්. යු. අලදෙනිය රටේ රණ වීරවරයකු සේ ඉතිහාසගත වන්නේ මේ අවස්ථාවේදීයි.
* කොකාවිල් ‘විදුලි සම්ප්‍රේෂණ’ කුලුනෙහි තිබුණු වැදගත්කම?
ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවය ආරම්භ කිරීමත් සමඟම උතුරු ප්‍රදේශයට සන්නිවේදන සේවාව ලබාදීමේ අරමුණින් රූපවාහිනී සංස්ථාව මඟින් කොකාවිල් කඳවුරෙහි ස්ථානගත කර තිබූ රූපවාහිනී ප්රතිවිකාශන කුලුනයි. මෙහි ආරක්ෂාවට සිංහ රෙජිමේන්තු අනුඛණ්ඩයක් ස්ථානගත කරල තිබුණා. එහි ඛණ්ඩ භාර නිලධාරි ලෙස නි/3113 2/ලුතිනන් එස්.යු. අලදෙනිය රණවිරුවා කටයුතු කළා. ඉතිං අද වගේ දියුණු තාක්ෂණයක් එදා තිබුණේ නෑ. උතුරයි දකුණයි සම්බන්ධ කළ පාලම නැත්නම් සන්නිවේදන ක්‍රියාවලිය තිබුණේ කොකාවිල්වලයි. මේ භූමිය එදා එල්.ටී.ටී.ඊ. ය අතට පත්වුණා නම් ක්ෂණිකව උතුරු ප්‍රදේශය අපට අහිමි වෙනවා. අනිත් කාරණය තමයි මේ සන්නිවේදන ක්‍රියාවලියත් අපිට අහිමි වුණා නම් රට අරාජික වෙනවා. ඉහළ මූලස්ථානයන් වෙතින් උපක්රමශීලීව පසුබසින ලෙස උපදෙස් ලැබුණද සටනේදි මියගිය, තුවාල ලත් තම සහෝදර භට පිරිස් හා කඳවුර අතහැර පසුබැසීම කිසිසේත් කළ නොහැකි බව අලදෙණිය විරුවා ඇතුළු සිටි රණවිරුවන් සැවොම අභීත සිංහ නාදයක් එදා කළා. රාජකාරියට එහා ගිය කැපවීමකින් මේ භූමියේ අගය ඔවුන් රැක දුන්නා.
* ඔබ යුද සාහිත්‍යයක් ගැන කතා කරනවා. මොකක්ද ඒ?
‘යුද සාහිත්‍ය’ ලෝකයේ අනෙක් රටවල්වල ව්‍යවහාර වන්නක්. ඉන්දියාව, වියට්නාමය, චීනය මේ ගැන වැඩියෙන් කතාවන රටවල්. අනෙක් රටවල්වලට වඩා මෙවැනි කතිකාවතක් බිහිවීමේ අවශ්‍යතාවය අපේ රටේ පවතිනවා. අවුරුදු 30කට වැඩි කාලයක් සෙබළු විශාල ප්රමාණයකගේ ජීවිත අහිමි කරමින් දරුණු යුද්ධයක් පැවැති රටක් අපි. නමුත් අපේ සමාජයේ මේ යුද ඉතිහාසයේ වටිනාකම, ප්‍රෞඩත්වය කතාවට ලක්වන්නෙ අඩුවෙන්. ඉතිං ඒ අනුව තමයි යුද සාහිත්‍ය යන තේමාව යටතේ ඒ පොත ආර්ය ප්‍රකාශන මඟින් එළිදක්වන්නේ. තවපොත් එළිදැක්වී තියෙනවා. ඉස්සරහටත් එළිදැක්වෙනවා. ලංකාවේ යුද සාහිත්‍ය ස්ථාපිත කිරීමේ කාර්යභාරයේ එක් දිගුවක් ලෙස මේ පොත හඳුන්වන්න පුළුවන්.
* මෙම පොත ‘ආර්ය ප්‍රකාශන’ මඟින් එළිදැක්වෙන්නේ. මොක්කද මේ ආර්ය පදනම?
අපේ රටේ යුද්ධය පැවැති කාලයේත් යුද පශ්චාත් කාල වකවානුවේත් රණවිරුවන් සම්බන්ධව අර්බුද විශාල ප්‍රමාණයක් පැවතියා. තවමත් පවතිනවා. ඒ සම්බන්ධව ඒවාට පිළිතුරු සෙවීමක් ලෙස හා ඒ වෙනුවෙන් පෙනී සිටීමේ ශක්තිමත් ආයතනයක් අවශ්‍ය වෙලා තිබුණා. මෙය රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) නොවන අතර රටේ කලාකරුවන්, යුද හමුදා ඉහළ නිලධාරීන්, පොලිස් සේවයේ නියුතු හා අන් ආරක්ෂක සේවා ඉහළ නිලධාරීන් ද එකතුව සමාජයේ උසස් සැලකිය යුතු පිරිසකගේ එකතුවෙන් රණවිරුවන්ගේ සුබසෙත සඳහාම නිර්මාණය වූ පදනමක්.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය වන පදනමක්. මෙහි සන්නාම තානාධිපති ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතාත්, ප්‍රධාන විධායක නිලධාරි ලෙස හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතාත්, ජ්‍යෙෂ්ඨ සභාපති ලෙස ඩග්ලස් රණසිංහ මහතාත් ඇතුළු උගත් බුද්ධිමත් පිරිසකගේ දායක්තවයෙන් මෙහි පාලන කළමනාකාරිත්වය සිදුවනවා.
ලොව පුරා ශාඛා පිහිටුවමින් යන ගමනක විශාල මෙහෙවරක් ආර්ය පදනම මඟින් සිදුවනවා. ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් හා යුද සාහිත්‍ය යන සංකල්පය වෙනුවෙන් කොන්දේසි විරහිතව නිහඬව පෙනී සිටින පදනමක් ලෙස ආර්ය පදනම හඳුන්වන්න පුළුවන්.
* ‘1990 කොකාවිල්’ කෘතිය තෙවැනි වරටත් එළිදක්වනවා. ඇයි මේ?
යුද සාහිත්‍යය යන කතිකාවත ප්‍රබල ලෙස සමාජගත කිරීමක් අවශ්‍ය වනවා. එයට හේතුව අපේ රට බේරාගත් උදාර රණවිරුවන් තම දිවි නොතකා සටන් කළ ඒ මොහොතේ සමහරකුගේ අත්, පාද, දෙනෙත්, ශ්‍රවණ හැකියාව අහිමි වන්නේ අපි වෙනුවෙන්. ඔවුන් හුදකලාවීමට නොදී ඔවුන් ගැන මතකය අපේ හිතේ පවත්වා ගැනීමත් අවශ්‍යයි.
ඉතිං ඒ ගමනේදි ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ යුද සාහිත්‍ය කතිකාවත ගෙනයන්නේ ‘1990 කොකාවිල්’ කෘතිය හරහායි. 1 වන එළිදැක්වීම මහරගම තරුණසේවා සභාවේත්, දෙවැනි එළිදැක්වීම මාර්තු මස 30 වැනිදා දකුණු පළාත් සභාවේ සංස්කෘතික කලා කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කර සිදුවුණු අතර තෙවැනි එළිදැක්වීම අප්‍රේල් 07 වැනිදා කොකාවිල් විදුලි සම්ප්‍රේෂණාගාර මධ්‍යස්ථාන භූමියේදී, පැවැත්වූවා. ලංකාවේ එකම පොතක් තෙවරක් එළිදැක්වූ ප්‍රථම අවස්ථාවද මෙයයි.