විදෙස් චිත්‍ර­ප­ටය | සිළුමිණ

විදෙස් චිත්‍ර­ප­ටය

හැරී සේජල් හමුවුණාම නැතිවූ මුද්ද සොයාගනීද?

“හරීන්ද සිං නේරා සංචාරක මග පෙන්වන්නෙකි. ඔහු දිනපතා මිනිසුන් විශාල සංඛ්‍යාවකට මඟ පෙන්වන්නේ ය. අන් අයට මඟ පෙන්නුවත් ඔහු අතරමං වූ අයකි. හරීන්දට තමන් සොයන දේ නොලැබුණත් ඔහු නිසා විශාල පිරිසක් තමන්ට අවශ්‍ය තැනට ළඟා වෙති. ඔහුට ඔවුන් ළඟාවන ස්ථානය කුමක්දැයි සෙවීමේ අවශ්‍යතාවක් නැත. තමා කොහි යන්නේ දැයි ඔහු නොදනී. ඒ හරීන්ද සිං නේරා (හැරී) යනු සංචාරක මඟ පෙන්වන්නකු නිසයි.”

අධ්‍යක්ෂ ඉම්තියාස් අලි තම නවතම සිනමා නිර්මාණය ‘ජබ් හැරී මෙට් සේජල්’ ගැන එසේ අර්ථකථනය කළ ද හරීන්ද පෙම්වතිය සේජල් සවේරී සමඟ යු‍රෝපය පුරා සරන්නේ එක්තරා ඉලක්කයක් ඇතිව ය. ඒ සේජල්ගේ නැතිවූ විවාහ ගිවිස ගැනීමේ මුද්ද සොයා ගැනීමේ අභිලාෂයෙනි. එසේ යන ගමනේදී හරීන්ද ආදරය ගැන හා දෙහදක බැඳීම ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමට සමත් වේ. ඒ විනෝදය, ත්‍රාසය ද සමඟ ය.

මෙහි හරීන්ද හෙවත් හැරී ලෙස රඟන්නේ ශාරුක් ඛාන් ය. අනුෂ්කා ෂර්මා හැරීට පෙම් බඳින සේජල් ය. ශාරුක් සහ අනුෂ්කා සුසංයෝගය මීට පෙර දැකිය හැකි වූයේ රබි නේ බනා දි ජෝ දි (2008), ජබ් තක් හෛ ජාන් (2012) සිනමා පටවල ය.

2016 වසරේ අගෝස්තු මාසයේ අවසානයේ චෙක් ජනරජයේ ප්‍රාග් නුවර දී ඇරැඹුණු ර‍ෑගත කිරීම්, ඇම්ස්ටර්ඩෑම්, බුඩාපේස්ට්හිදී මෙන් ම යු‍රෝපයේ සහ පන්ජාබයේ ද සිදු කෙරිණි.

සිනමා පටයේ ප්‍රධාන චරිත ශාරුක් සහ අනුෂ්කා රඟපාන බව හෙළි වුණත් එහි නම කලක් යන තුරුම සේජල්ගේ නැතිවූ මුද්ද මෙන් ම කුතුහලය දනවන කරුණක් විය. විවිධ නම් පිළිබඳ කතා බහ කෙරිණි. ‘ද රිං ටු රහ්නුමා/ රාඋලා’ වැනි නම් ද ඒ අතර විය‍.

ඉමිතියාස් අලිට සිනමා පටය ප්‍රවර්ධනයේදී එහි නම පිළිබඳ බොහෝ දෙනකු ප්‍රශ්න මතු කළ බව කියා තිබේ. එහි වරද ඔහු පවරන්නේ රන්බීර් කපූර්ට ය. ඒ රන්බීර් එම නමේ හිමිකරු වීම නිසා ය .

ශාරුක් ඉමිතියාස් අලිගේ සිනමා පටයකට සම්බන්ධවන්නේ ප්‍රථම වතාවට ය‍. මීට පෙර ඉමිතිහාස් ශාරුක්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබේ. පනස් එක් හැවිරිදි ශාරුක් මෙහි රඟන්නේ සුපුරුදු සීනි බෝල පෙම්වතාගේ චරිතයට මඳක් වෙනස් පෙම්වතකුගේ චරිතයකි. බොලිවුඩයේ ප්‍රේමයේ රජුට සිනමා පටයේ වඩාත් ප්‍රබල ලෙසින් හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩ ලැබී ඇති බව බොහෝ විචාරකයන්ගේ අදහසයි.

අනුෂ්කා ෂර්මාට මෙය දෛවෝපගත සිනමා පටයක් වන්නේ නිළියක වීමට ඇයට සිත ගියේ ‘ජබ් වී මෙට්’ සිනමා පටයේ ‘කරීනා කපූර් රැඟූ ‘ගීත්’ චරිතයට ද වශීවීම නිසා ය.‍ ‘ජබ් වී මෙට්’ හි ඇත්තේ ‘අප මුණ ගැසුණා ම’ යන අරුත ය. ‘ජබ් හැරී මෙට් සේජල්’ යන්නෙහි අරුත ‘හැරී සේජල්ව හමුවුණාම’ යන තේරුමයි.

සිනමා පටය නිසා සේජල් නම ඇති කාන්තාවන්ට ද නොසිතූ වාසනාවක් පෑදිණි. ශාරුක් - අනුෂ්කා ඇතුළු ‘ජබී හැරී මෙට් සේජල්’ කණ්ඩායම ඉන්දියාවේ වැඩිපුරම ‘සේජල්’ නම ඇති කාන්තාවන් සිටින දිස්ත්‍රික්කය සොයා තරගයක් පැවැත්වූ අතර වැඩිපුරම එම නමැති කතුන් සිට ඇත්තේ අහමදාබාද්වලට ය.‍ ‍ශාරුක් - අනුෂ්කා එහි ගොස් ඔවුන් මුණ ගැසී සිනමා පටයේ පළමු ගීතය ද ඔවුනට තිළිණ කරන ලදී.

සිනමා පටය තිරගත වීමට නියමිත අගෝස්තු 4 වැනිදාට පෙර සිනමාපටයේ ගීත සංගීතවත් කළ ප්‍රීතම්ට ශාරුක් ඔහු අගයමින් ගිටාරයක්, තෑගි දී තිබේ. එහි ‘වොට් යූ සීක් ඊස් සීකිං යූ යන සිනමා පටයේ තේමාව ‍දෙ ලියා ඇත. ඉමිතියාස් අලි මුලින් ම ශාරුක් වෙත පැමිණ තිබෙන්නේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරන ‘හැරී’ කෙනකු සිතේ මවා ගෙන ය. එහෙත් පසුව ඔහු සුබවාදී බවක් කතාවට එක් කර තිබේ. ශාරුක් මීට පෙර ඉමිතිහාස්ගේ සිනමා පට නරඹා නොතිබුණු අතර ඔහු සමඟ වැඩ කළ පසු ඔහු යාෂ් රාජ්, අදි, මෙන් ම කරන් මෙන් ම ගතිගුණ ඇති සංවේදී පුද්ගලයකු බව වටහාගෙන ඇත. අධ්‍යක්ෂවරයා ආදර කතාවක් කිරීමට තරම් සංවේදී ආදරණීය පුද්ගලයකු නොවේ නම් චරිත සඳහා ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීම ශාරුක්ගේ සිරිතයි. ජනප්‍රිය අධ්‍යක්ෂවරයකුට වරක් ඔහු එසේ කර තිබේ‍. එහෙත් ඉමිතියාස් ආදරය විඳිනා ආදරයේ ජීවත්වන කෙනකු නිසා ශාරුක් ‘හැරී’ ගේ චරිතය බාර ගෙන ඇත්තේ ඉතා කැමැත්තෙනි. ප්‍රධාන චරිතය රැඟූ ‘ගයිඩ්’ සිනමා පටයේ කතා නායකයා ද සංචාරක මඟ පෙන්වන්නකු වූ අතර එය එරට සිනමා වංශ කතාවේ අමරණීය නිර්මාණයකි. මේ සිනමා පටය එම සිනමා පටය හා සැසඳීම කෙසේ වෙතත් හැරීගේ අවංක ආදර කතාව

හොඳින් රසිකයන් තේරුම් ගනු ඇති බව ශාරුක්ගේ අදහසයි. සිනමා පටයේ ඔහුගේ කැමැතිම දෙබස ‘අබ් තෝ දේක් හයි ලෙකේ හෛන්’ ය‍.

විසි නව හැවිරිදි අනුෂ්කා ෂර්මා ගුජරාටි තරුණියකගේ චරිතය රඟපාන්නේ ප්‍රථම වරටය. සැබෑ ජීවිතයේදීත් නිදහස්, කෙළින් කතා කරන, ස්වාධීන තරුණියක වන අනුෂ්කාට මෙහි අසීරුම කටයුත්ත වූයේ ගුජරාටි ඌරුවට කතා කිරීමයි. සිනමා පටය සඳහා ම ඇය අවශ්‍ය වචන ගුජරාටි ඌරුවට කතා කරන ආකාරය ගුරුවරියකගෙන් ලියාගෙන තිබේ.‍ භාෂා විලාසය හුරු වූ පසුව ගුජරාටි කතා කිරීම ඉතා පහසු බව අනුෂ්කා කියා සිටියේ සිනමා පටයේ ට්‍රේලරය නිකුත් කළ ජූලි 21 වැනිදා ය.

පවුලේ සියල්ලන්ටම එකට නැරඹිය හැකි, සිනමා පටයක් වුව ද එහි දෙබස්වල ‘ඉන්ටර්කෝස්’ යන වචනය කපා හැරීම සම්බන්ධව රැඟුම් පාලක මණ්ඩලය සමඟ ගැටුම් ඇති විය. එහෙත් අවසානයේ කිසිදු කප්පාදුවකින් තොරව සිනමා පටය තිරගත කිරීමට නියමිත ය.

ශාරුක්, සිනමා පටය පන්ජාබයේ ප්‍රවර්ධනය කිරීමට ට්‍රැක්ටරයක් පදවා තිබේ. සිනමා පටයේ ‘බටර්ෆ්ලයි’ ගීතය ද රූ ගන්වා ඇත්තේ පන්ජාබයේ ය. රාධා, බීච්, බීච් මෛන්, සෆර්, බටර්ෆ්ලයි ගීතවලින් ශාරුක්ගේ සහ අනුෂ්කාගේ හමුවීමේ ආදර කථාව රසවත් වී තිබේ. මෙහි ගීත ගායනා සුනිධි චෞහාන්, ෂාහිඩ් මාලියා, අරිජිත් සිං, ශල්මාලි කොල්ගේඩ්, ෂෙෆාලි අල්වාරිස්, දේවි ‍ෙන්ගි, අමන් ට්‍රිඛා සහ නූරන් සොයුරියන්ගෙනි. රෙඩ් චිලීස්... එන්ටර්ටෙයින්ට්මන්ට් සමාගම මඟින් සිනමා පටය බෙදා හරිනු ලැබේ.‍ මෙහි නිෂ්පාදකවරිය ශාරුක්ගේ ප්‍රිය බිරිය ගෞරී ඛාන් ය.

‘ජබ් හැරී මෙට් සේජල්’ සිනමා පටයේ ඊෂා ලෙස සයානි ගුප්තා රඟන අතර එව්ලින් ෂර්මා, අරූ ක්‍රිදාන්ස් වර්මා, චන්දන් රෝයි සන්යාල්, පාරාස් අරෝරා සෙසු චරිත රඟති.

අන්තර්ජාලයෙනි. 

 

Comments