දඬු­වම් මාරුව මගේ දිවිය වෙනස් අත­කට යොමු කළා | සිළුමිණ

දඬු­වම් මාරුව මගේ දිවිය වෙනස් අත­කට යොමු කළා

ආනන්ද ගමගේ කලාකරුවාගේ සංගීත දිවියට 50 වසරයි ආනන්ද හරසර ප්‍රසාද ප්‍රණාම උලෙළ අගෝස්තු තුන් වැනිදා සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී

කටු අකුළේ මල් ඇහැරේ

තරු අහසේ තරු හිනැහේ

තුඩින් තුඩේ පැතිරෙතේ

කුරුලු ගී ගායනා...

 

ඔහුව හඳුනා ගැනීමට ඉහත ගීතය වුව ප්‍රමාණවත්ය. මේ හැරුණු විට ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අතින් සංගීත අධ්‍යක්ෂණය නිමැ වූ අපූර්ව ගීත රැසකි. ඒ අතර කටු අකුළේ ගීතය අදටත් පරම්පරාවෙන් පරම්පරාව වැලැඳගන්නේ එහි ඇති අසමසම ගීතවත් බව නිසාය.මීට අමතරව ආනන්ද ගමගේ අතින් නිර්මාණය වූ තාරපාර දිග පාටපාට කඩ,පහන තියා බුදු සාදුට හිමිදිරියේ,එකම මඟක පියවර මැන යන්නයි, වැනි සදා නොමියෙන මතකයක පවතින ගී නිර්මාණයන්රැසකි. ගීත දෙසීයකට ආසන්න ප්‍රමාණයක සංගීත අධ්‍යක්ෂණය කළ ආනන්ද ගමගේ කලාකරුවාගේ සංගීත දිවියට මේ වන විට පනස් වසරකි. ඔහු විසින් රචනා කළ'මියැසි මතක 'ග්‍රන්ථය දොරට වැඩුම මෙන්ම ආනන්ද හරසර ප්‍රසාද ප්‍රණාම උළෙල ලබන මස තුන් වැනිදා සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙන්නේ එනිසාය. ආනන්ද ගමගේ සංගීතවේදියා සමඟ යෙදෙන මේ කතාබහ වෙන්වනුයේ ද ඒ නිමිත්තෙනි.

 

ඔබේ නවතම තොරතුරු මොනවාද?

මේ දිනවල නවතම ගීත කිහිපයකට සංගීතය නිර්මාණය කළා. ඒ වගේම විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන කිහිපයක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා.

ඔබේ සංගීත දිවියේ ඇරැඹුම ගැන කතා කරමු.

මගේ ගම් පියස මාදම්පේ. පුංචි කාලෙ ඉඳලම සංගීතයට ආසවක් මගේ හිතේ තිබුණා.එයට හුඟක් බලපෑවේ අපේ නිවෙස අද්දර පිහිටා තිබුණු සිනමා ශාලාව. එහි චිත්‍රපට පටන් ගන්න පෙර ඇසෙන ගීතවලට, සංගීතවාදනයන්ට මම කන්යොමාගෙන නිතර ඒ ගී රසවිඳින්න පුරුදු වුණා. පාසල් අධ්‍යාපනය ලබන සමයේ කේ.විමලසිරි ගුරුතුමාගෙන් තමයි සංගීතයට අත්පොත් තබන්නේ. නමුත් දිගටම සංගීතය හදාරනවාට මවු පියන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ.එනිසා සාමාන්‍ය පෙළ විභාගය ලියන තුරු සංගීතයෙන් දුරස්වෙන්න මට සිදු වුණා. ඒත් ඒ එක් පොරොන්දුවක් මත.

ඒ කුමක්ද?

සාමාන්‍ය පෙළ සමත් වුණොත් වයලීනයක් අරන්දෙන්න කියලා.

එය ඉටුවුණාද?

ඔව්.විභාගය උසස් ලෙස සමත් වුණු නිසා 1966 දී රුපියල් 150 ක් වටිනා වයලීනයක් මට තෑගි ලැබුණා.පසුව මාදම්පේ එලායස් වර්ණකුලසූරිය මාස්ටර්ගෙන් වයලින් වාදනය ඉගෙන ගත්තා. ඔහු ඇසුරින් බොහෝ දේ උගෙන ගත්තා. වි‍ශේෂයෙන් දේවස්ථාන සංගීතය කරා ඔහු මාව යොමු කළා. මේ ආභාෂයන් පසුකලෙක මගේ නිර්මාණ දිවියට ආලෝකයක් වුණා. කොහොම හරි එලායස් ගුරුතුමා මාව පසුකලෙක යොමු කළා සිනමා නිර්මාණයක සංගීත නිර්මාණයක පටිගත කිරීමකට. මෙය මගේ සංගීත දිවියට ලොකු අත්දැකීමක් වුණා. දවස් තුනක් ඒ රෙකෝඩින් එක තිබුණා. ඒ කාලයේ හැටියට රුපියල් 300ක් වගේ මුදලක් මට ඒ වෙනුවෙන් හම්බ වුණා. ප්‍රියා සුරියසේනත් එලායස් ගුරුතුමාගෙන් මා සමඟ සංගීතය ඉගෙන ගත්තා.ඔහුත් මමත් සාමාන්‍ය පෙළ, උසස්පෙළ සංගීත විභාග සඳහා පෙනී සිටියා.

ඔබ වේදිකාවෙන් තමයි ප්‍රසිද්ධ වන්නේ?

ඔව්. 1972 දී තමයි හාහා පුරා කියලා වේදිකා නාට්‍යයකට ගීත නිර්මාණය කළේ. ඒ 'හිම කබාය'කියලා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර තමයි එය අධ්‍යක්ෂණය කළේ.ඉන්පසු ඔහු කෙටි නාට්‍ය යුගළයක් කළා. පෙරහැර සහ වියෝලේ කියලා.'වියෝලේ නාට්‍යයට ඇක්ට් කළේ විමල් කුමාර ද කොස්තා. ඒකෙ තේමාව වුණේ හාස්‍ය වයලින් වාදකයෙක් ගැනයි.ඔහු ශාස්ත්‍රීය වයලීන් වාදනය කරමින් ප්‍රසංග තියනවා. නමුත් ඒවා අහන්න කවුරුත් එන්නේ නැහැ. ඔහු පසු තැවෙනවා. පසුව ජනප්‍රිය සංගීතය ඉදිරිපත් කරනවා. සෙනඟ එනවා. මේ වේදිකා නාට්‍යය හරි ජනප්‍රිය වුණා. එහි සංගීත නිර්මාණය සිදු වුණේ මගේ අතින්. මේ විදිහට කාලය ගෙවීගෙන යන කොට 1975 දී මට ගුරුපත් වීමක් ලැබෙනවා. කුරුණෑගල පාසලකට. මම තමයි එහි සංගීතය උගන්වන්න ගිය පළමු සංගීත ගුරුවරයා. 1977 මැතිවරණයෙන් පසුව දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා මට දඩුවම් මාරුවක් ලැබෙනවා අනුරාධපුරයට. ඒ රත්මලේ තිස්ස මහා විද්‍යාලයට.

ඉන් පසු මොකද වෙන්නේ?‍

එය මගේ සංගීත දිවියට ආලෝකයක් වෙනවා.දඬුවම් මාරුව මගේ දිවිය වෙනස් අතකට යොමු කරනවා.මම එහෙට යන කොට සරත් දසනායක පෙර පැවැති ආණ්ඩුවෙන් දඩුවම් මාරුවක් ලබලා දඩුවම් විඳිමින් ඉන්නවා. ඔහුත් මාත් හිටියේ එක ගුරු නිවාසේ. මේ අතර අනුරාධපුරයේ දි මට නාට්‍ය කණ්ඩායම් දෙකක් හමුවෙනවා. ඒ ජන නළු කැළ සහ නිර්මාණ සේනා කියලා. විමලරත්න අධිකාරි, සුසිල් ගුණරත්න, රෝහණ දංදෙණිය, භද්‍රා නන්දනී, උපාලි ජයලත්, මහින්ද පතිරගේ, සුනන්ද සිල්වා, සේන නානායක්කාර, උපාලි බණ්ඩාර වීරසේකර, ඒ අතර වෙනවා. මේ කණ්ඩායම් දෙකෙන්ම වේදිකා නාට්‍ය, විවිධ නිර්මාණ එළිදැක්වුණා. මම සංගීතයෙන් මේවාට දායක වුණා. කොහොම හරි මේ අයත් එක්ක ඇසුරු කරත්දී දඩුවම් මාරුවක් ලැබුණා කියන දේ මගේ හිතෙන් ඉවත් වී සිත සතුටට පත් වුණා.

පසුව ඔබ කොළඹට එනවා?‍

ඔව්.මොකද සරසවිය පුවත්පතේ මාධ්‍යවේදියකු වුණු සුනිල් හොරේෂස් 'ඇගේ නම රතී 'නාට්‍යය පටන් ගන්නවා. එයට සංගීත අධ්‍යක්ෂණය කළේ මම.එනිසා මම කොළඹ ආවා. කෙහොම හරි මේ අතර 1983 දී නාලන්ද විදුහලට මාරුවක් ලැබෙනවා. මේ කාලයේ ටෙලි නාට්‍යවල වගේම සම්පත් තෙන්නකෝන්, විජය කුමාරතුංග වැනි ප්‍රවීණයන්ගේ කැසට්පට ගීත සඳහා සංගීතයෙන් දායක වෙනවා.1985 දී පුන්සිරි සොයිසා ගයන 'එකම මඟක පියවර මැන යන්නයි.. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය මගේ. මම මේ අතර ගුවන්විදුලි වාදක මණ්ඩලයට එක්වෙලා කටයුතු කරනවා.රූපවාහිනී නාට්‍යවලටත් මම සංගීතය නිර්මාණය කරමින් දායක වෙනවා. ජැක්සන් ඇන්තනී, ප්‍රේමකීර්ති ද අල්විස්, ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණයන්ගේ නිර්මාණවලට දායක වෙමින් එතැන් පටන් රූපවාහිනී නාට්‍යවලට සහ වැඩසටහන්වලටත් මම සංගීතයෙන් දායක වෙනවා. ඒ අතර සුදත් දේවප්‍ර­ියගේ අඹයාළුවෝ ටෙලි නාට්‍යයට මම සංගීත අධ්‍යක්ෂණය කළ ගීත අදටත් අතිශය ජනප්‍රියයි.කටු අතුළේ ගීතය ලිව්වේ බන්ධුල නානායක්කාරවසම්. එය තමයි ඔහුගේ මම හිතන විදිහට පළමු ටෙලි නාට්‍ය ගීතය වුණේ.මම මේ වන විට ගීත දෙසීයකට වැඩි ප්‍රමාණයක සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ඔබ සංගීත අධ්‍යක්ෂණය කළ වෙනත් ටෙලි නිර්මාණ මොනවාද?

අවසඳ, ධවල රාත්‍රිය, ගුරු දෙවියෝ, සුර අසුර, මහමෙර පාමුල, එන්න මගේ ප්‍රිය මිතුරෝ, ගැහැනු ළමයි, මරුවැල ඒ අතර කීපයක් පමණයි.

සිනමාවට පිවිසුණේ නැතිද?

සිනමා නිර්මාණ කිහිපයකුත් සංගීත අධ්‍යක්ෂණය කළා.ඒ අතර 'දැහැන' චිත්‍රපටය විශේෂයි.

සංගීත අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය ඔබ දකින්නේ කොහොමද?‍

හැමවිටම සංගීත අධ්‍යක්ෂවරයෙක් ගායිකාවගේ හෝ ගායකයාගේ කටහඬ තම සංගීතයට අනූව මැනැවින් හැසිරවිය යුතුයි. ගීතයත්, සංගීතයත් පසුබිමත් මේ සියලු දේ එක් වී මධුර මනෝහර ස්වර මැවීමක් සිදු වෙනවා.එලෙසම දෙස් විදෙස් සංගීතය පිළිබඳ පතපොත පරිශීලනය කිරීමත් වැදගත්. එය සංගීත අධ්‍යක්ෂවරයෙකුට ඉතා වැදගත්. එලෙසම නිතර නාට්‍ය චිත්‍රපට නැරඹීමෙන් ලබන රසාස්වාදය ප්‍රගුණ කිරීම ද දක්ෂ සංගීතඥයකුවීමට පිටිවහලක් වෙනවා.

ජීවිතය දෙස ආපසු හැරී බලත්දී මොකද හිතෙන්නේ?

සියලු යුතුකම් ඉටු කළ පියෙක් ලෙස හැඟෙනවා. මගේ ජීවිතෙත් විවිධ හැලහැප්පීම් සිදු වුණා. ඒ හැම දේටම මම උපේක්ෂා සහගතව මුහුණ දුන්නා. මගේ බිරිඳ ඈන් ප්‍රියදර්ශනී. ඇය නවලෝක රෝහලේ ශල්‍යාගාරයේ හෙදියක ලෙස කටයුතු කරනවා. වැඩිමහල් දියණිය මේ වන විට විවාහ වී ජපානයේ ජීවත් වෙනවා.බාල දියණිය අසංකා උත්පලනි. ඇය ආනන්ද බාලිකාවේ ඉගෙනුම ලබනවා. ඇයත් කලාවට දක්ෂයි.

 

 

  

Comments