තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

වෛද්‍ය දුමින්දගෙන් අලුත්ම ගීතයක්

දුරින් හිඳන් බලා හිදිමි.. නුඔ රූ සිරි රෑ අහසේ ... වලාකුළක් මගෙන් මිදී ඈතට යනවා...

හෙමින් හෙමින් අනන්තයට පාවී යනවා...

ගීත ලියන වෛද්‍යවරුන් අතර ඔහු ඉදිරියෙන්ම සිටින ගී පද රචකයෙක්. ඔහු ලියූ බොහෝ ගී රසිකයන් වැළඳගත්තේ එනිසාවෙනි.මා ඉහත සඳහන් කළේ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ ලියූ නවතම ගීතයේ පද වැල් කිහිපයක් .මේ ගීතය ඔහු රචනා කර ඇත්තේ විශේෂ හේතුවක් නිසයි.ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් නිකුත් කළ 'ඔබේ සිනා' සංයුක්ත තැටියේ මේ ගීතය අඩංගු වුණා.කොහොම නමුත් වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ඔහුගේ වජ්‍ර ප්‍රභා ජයන්තියට ගීතයක් ලියූ එකම වෛද්‍යවරයා ඔහුයි.මේ ගැන වෛද්‍ය දුමින්ද අපිත් සමඟ කතා කළා.'ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා.මම නිරතුරුවම වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ගීත ලියනවා. වජ්‍ර ප්‍රභා ජයන්තිය වෙනුවෙන් වික්ටර් රත්නායකයන් විශේෂ ගීත සමුච්චයක් ජනගත කළා.එයට මගේ ගී පද රචනයක් තෝරා ගැනීම ගැන තිබෙන්නේ ඇත්තටම සතුටක්.විශේෂයෙන්ම 'ඔබේ සිනා' ගී එකතුවට අනෙක් ගී රචනා කළේ ගීත ක්ෂේත්‍රයේ නමක් දිනූ ප්‍රවීණ ගී පද රචකයන්. වෛද්‍යවරයෙක් විදිහට මේ ආකාරයට ගීත රචනා කරන්නට හැකි වීම එක අතකින් මා ලැබූ භාග්‍යයක්.මීට අමතරව ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන් වෙනුවෙනුත් මම ගීතයක් රචනා කළා.එය සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංගයි.එය මේ වන විට පටිගත කරලා තිබෙන්නේ.මේ ගීතයත් ඇතුළුව මා ලියූ ගීතවලට ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. එදිනෙදා මා අත්දකින බොහෝ දේ මගේ අතින් ගීත බවට පෙරළෙනවා.එයත් හරිම සුන්දර අත්දැකීමක්.කොහොම වුණත් දෙනෝදාහක් මිනිසුන් ගතින් සුවපත් කරනවා වගේම ගීතය ඔස්සේ ඔවුන්ගේ සිත්සතන් ද සුවපත් කරන්නට හැකිවීම ගැනත් ‍පුදුමාකාර සතුටක් දැනෙනවා.

 


ඉන්දුගෙන් 'අවංකා'

ඉන්දු මධුබාලා දක්ෂ මාධ්‍යවේදිනියක් වගේම නවකතා රචිකාවියක්. මේ දවස්වල ඉන්දු ගැන කවුරුත් කතාබහ කරන්නේ ඇගේ නවතම මංගල නවකතාව දොරට වඩින බැවින්.මේ ගැන අපිට ඇගෙන් තොරතුරු දැන ගන්නට ලැබුණා.'මගේ කුළුදුල් නවකතාව 'අවංකා'. අවංකා ගැන කතා කරනවා නම් මෙය කියවන පාඨකයන්ට හිතෙන්නට පුළුවන් මෙය මගේ අත්දැකීමක් ද කියලා. ඇතැම් විට සමහර සිද්ධි මගේ වෙන්ත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. අවංකා රචනා වුණේ මගේ ලිපි කියවපු බොහෝ දෙනෙක් මගෙන් නවකතාවක් ලියන්න කියලා කරපු ඉල්ලීම වගේම මා අසළ රැදෙමින් මට අවශ්‍ය ආධාර උපකාර කරමින් අවවාද උපදෙස් දෙමින් මා දිරිමත් කළ මගේ ගුරු අර්නස්ට් වඩුගේ මැතිතුමා නිසයි කිව්වොත් එය නිවැරදියි.මගේ වෘත්තීය මාධ්‍ය ජීවිතයට වසරක් ගත වෙන්නටත් ප්‍රථනවකතාකාරියන් ලෙසින් පාඨකයා හමුවට පැමිණ නමක් ගොඩනඟාගන්නට ලැබීම සැබෑම වාසනාවක්.


වසර ගණනකට පසු රසිකයන් අතරට

නුවර අම්පිටියේ පදිංචිව සිටි කමල් කන්දනාරච්චි වසර ගණනකට පසු නැවතත් නවතම ගීතයකින් රසිකයන් අතරට එන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඔහු අනූව දශකයේ දී 'මා හඬවන්න එපා..'යනුවෙන් කළ කැසට් පටය එදා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. වෙළෙඳපොළ ආක්‍රමණය කළ ඒ කැසට් පටයෙන් අනතුරුව ඔහුගේ හඬ වසර ගණනක් පුරා නොඇසුණේය. මේ දුරස් වීම ගැන වගේම කලකට පසු නැවත රසිකයන් අතරට පැමිණිම ගැන අපි ඔහුගෙන් විමසා බැලුවා.'මම වසර ගණනක්ම හිටියේ විදෙස් ගත වෙලා.මොකද මම 90 දශකයේ දී තමයි සංගීතයට යොමු වුණේ.ඒ කාලෙ මා ගැයූ ගීතවලට හොඳ ප්‍රතිචාරයක් තිබුණා. නමුත් ඒ වකවානුවේ මගේ රැකියාවත් සමඟ මට විදෙස් ගත වෙන්න සිදු වුණා. මම අලුතෙන්ම මගේ රසිකයන් අතට පත් කරන්නට සූදානම් වන්නේ අපූර්වත්වයෙන් යුතු ගීතයක්.

හිමි නෑ ඔයා... කවදාවත්...

පිදු සෙනේ දැන් බොඳවී ගිහින්... මේ ගීතය රචනා කළේ අයෝධ්‍යා ප්‍රනාන්දු. සංගීතවත් කළේ ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු . මේ වන විට මේ ගීතයේ විෂුවල් කරලා හෙට අනිද්දාම රිලීස් කරන්නයි හිතාගෙන ඉන්නේ. මෙහි රූප රචනා වෙනස්ම ආකාරයකින් තමයි රූගත කළේ.මගේ රසිකයන්ට මේ ගීතය ඔස්සේ අලුත්ම ආරක වෙනස්ම ගීතමය අත්දැකීමක් ලබා ගන්නට පුළුවන් වේවි.ඒ වගේම මම තවත් ලස්සන සුන්දර නිර්මාණ කිහිපයක්ම කරලා තිබෙනවා. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඉදිරියේ දී ඒ ගී නිර්මාණ රසිකයන් අතට පත් කරන්නට කටයුතු කරනවා.'540/ඊ,මල්වත්ත මාවත,මල්වත්ත, නිට්ටඹුව.කමල්ගේ ලිපිනයයි.


අම්මයි දුවයි දෙන්නම රිදී තිරයේ

කලා ලෝකය කියන්නේ හරි අපූරු සංසිද්ධීන් සිදුවන තැනක්. මේ දවස්වල රිදී තිරයේ එවැනි සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි මවක් වගේම දුවෙකුත් අපූරු රංගනයන් ඉදිරිපත් කිරීම මේ අම්මයි දුවයි අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ තමයි සුසන්තා චන්ද්‍රමාලි සහ තිසුරි යුවනිකා. මේ දවස්වල කලකට පසුව සුසන්තා චන්ද්‍රමාලි අපූර්ව රංගනයකින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ 'පුංචි අපිත් බය නෑ දැන් ' සිනමා නිර්මාණය ඔස්සේ. තිසුරි යුවනිකා දියණියත් ඊට නොදෙවැනි රංගනයක් ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ තිරගත වන 'ධර්ම යුද්ධය ' සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින්. කොහොම වුණත් මේ ගැන ඔවුන්ගෙන්ම විමසා බලන්නට අපි කටයුතු කළා.'' මේ චිත්‍රපට දෙකම සාර්ථකව සිනමාහල් රැසක ප්‍රදර්ශනය වෙනවා. අපිට ලැබෙන ප්‍රතිචාර නම් එමටයි.කොහොම වුණත් ප්‍රේක්ෂකයාගේ කතාබහට ලක්වෙන චරිත නිරූපණය කරන්නට ලැබීම අපිට සතුටක්.''

Comments