දිස්ත්‍රික්ක 16ක ජල හිඟයට තිරසර විසඳුම් මෙන්න | Page 2 | සිළුමිණ

දිස්ත්‍රික්ක 16ක ජල හිඟයට තිරසර විසඳුම් මෙන්න

 දැන් අපේ දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 110ක දරුණු නියඟ තත්ත්වයකි. මේ නිසා පුද්ගලයන් ලක්ෂ 11ක් පමණ පීඩාවට පත් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෙසේ වුවත් මෙතරම් ජල හිඟයක් තිබුණත් අපේ රටේ කෙත් වතු අස්වැද්දීමටත් ජල හිඟය අවම කිරීමටත් පාරම්පරික හා ජල විද්‍යාත්මක ක්‍රම ඇතැයිද ඒවා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ලෙස ක්‍රියාවට නැංවිය යුතුයැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජල කළමනාකරණ හා කෘෂිකර්ම උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේන හා පේරාදෙණිය සරසවියේ මහාචාර්ය අතුල සේනාරත්න යන මහත්වරු අවධාරණය කරති; ක්‍රම සහ විධි ඇති බව ඔප්පු කර පෙන්වති.

මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ අංශයේ අලුත්ම සංඛ්‍යාලේඛන අනුව සියලු මහවැලි ජලාශවල ජල මට්ටම දැන් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතී. ඒ අනුව කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම පසුගිය 25 වැනිදා වන විට තිබිය යුතු මුළු ජල ධාරිතාවෙන් සියයට 5කි.

මොරගහකන්දේ තිබෙන ජල ධාරිතාව තිබිය යුතු ප්‍රමාණයෙන් සියයට 7කි. ඊට අමතරව රන්දෙනිගල ජලාශයේ දැනට ඇති ජල ධාරිතාව තිබිය යුතු ප්‍රමාණයෙන් සියයට 8ක් වන අතර, ගිරිතලේ ඒ ප්‍රමාණය සියයට 10කි.

වික්ටෝරියා ජලාශයේ සහ උඩවලව ජලාශයේ ජල මට්ටම් සියයට 19ක් වන අතර නාච්චදූව ජලාශයේ ජල මට්ටම පසුගිය සතිය වන විට සියයට 16කි. නාච්චදූව ජලාශයේ ජල මට්ටම පසුගිය සතිය වනවිට සියයට 16කි. තිසා වැවේ ජල මට්ටම සියයට 12 ක් වන අතර නුවරවැවේ ජල මට්ටම සියයට 15කි.

වෙන්ඩාසකුලම් ජල මට්ටම පසුගිය සතිය වනවිට සියයට 4 දක්වා අඩු වී තිබුණු අතර, අන් සියලු මහවැලි ජලාශවල ජල මට්ටම් සියයට 25 දක්වා අඩු වී තිබිණි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ කටයුතු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පවසන්නේ රටේ ම මහා වාරිමාර්ග ජලාශවල ජල මට්ටම තිබිය යුතු ධාරිතාවෙන් සියයට 10–15 දක්වා අඩුවී ඇති බවයි.

ඒ අනුව අම්පාරේ තිබෙන වාරිමාර්ග ජලාශ 8කට ඇත්තේ තිබිය යුතු ජල පරිමාවෙන් සියයට 13ක් පමණි. අනුරාධපුරයේ මහ ජලාශ හා වැව් 10කම ජල මට්ටම සියයට 10කට වඩා අඩු වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ජලාශ 11ක ඇත්තේ තිබිය යුතු ජල මට්ටමෙන් සියයට 20ක් පමණි.

වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතාත් මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා තිලකා සමරතුංග මහත්මියත් පවසන්නේ මේ අනුව තිබෙන ජලය ටික අර පරිස්සමෙන් ප්‍රයෝජනයට ගැනීමට සියලු ගොවි සංවිධාන සහාය දැක්විය යුතු බවයි.

අපේ රටට මෙතරම් නියඟයක් පැමිණියත් තිබෙන ජල ප්‍රමාණය පිරිමසාගෙන කෙත් සරු කරගැනීමට හැකි පාරම්පරික ක්‍රම ගණනාවක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික ජල කළමනාකරණ හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ටී. බී. ධර්මසේන මහතා පවසයි.

නියඟයක පෙර මග ලකුණු පහළ වන විට මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පත් මණ්ඩලය වැනි ආයතන ඊට මුහුණ දීමට ඒ පාරම්පරික ක්‍රම ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් කරගෙන ජලය පිරිමැසීමට කටයුතු කළ යුතු බව ආචාර්ය ධර්මසේන පෙන්වා දෙයි.

බෙත්ම ක්‍රමයට කෙත් වතු අස්වැද්දීම, වැව්වල මඩකලව අසල ළිං හෑරීම, කැකුලම් ක්‍රමයට වී වගා කිරීම මඟින් ජල හිඟයක් තිබුණත් කෙත් අස්වැද්දීම හා ජල හිඟයට පිළියම් යෙදීම සිදු කළ හැකි බව ද ආචාර්ය ධර්මසේන අවධාරණය කරයි.

අනුරාධපුරය වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසන පරිදි දැනට නියඟය නිසා අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍යමපරිමාණයේ වාරි ජලාශ 3000ක් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.

රටපුරා පවතින දැඩි නියඟය නිසා වගා බිම් අක්කර දහස් ගණනක් විනාශ වී ඇති අතර වනජීවීන්ට ගවයන්ට පවා මේ නියඟය ඉතා දරුණු ලෙස බලපා ඇත.

මෙයට මුහුණ දීමට රටේම ප්‍රතිපත්ති සැලසුම් කරුවන් ඒකාබද්ධවී අපේ රටේ කෘෂිකර්ම වාරිමාර්ග ජල කළමනාකරණ හා පරිසර විද්‍යාඥයන් සමඟ එක් වී කාලීන විසඳුම් ක්‍රියාන්විත කළ යුතුව ඇතැයි ආචාර්ය ධර්මසේන අවධාරණය කරයි.

නිරිතදිග මෝසම් හා අන්තර් මෝසම් කාලයේදී අපේ රටේ මහ ගංගාවලින් අති විශාල ජලස්කන්ධයක් මහ මුහුදට ගලා යයි.

ඒ ජල ප්‍රමාණය අනුව එම ගංගාවලට වැඩියෙන් ලැබෙන ජලයෙන් සියයට 42ක් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගමන් කරයි. ඒ ජලය ප්‍රයෝජනයට ගැනීම් සඳහා ඒ ගංගාවල උල්පත් බහුල මැද ප්‍රදේශයේ ඉදි කර ඒ ජලය ඇළ මාර්ග ඔස්සේ වයඹට උතුරු මැදට නැඟෙනහිරට දීමට කටයුතු කළා නම් මෙතරම් ජල ‍හිඟයක් ඒ ප්‍රදේශවල ඇති නොවන බව ද ආචාර්ය ධර්මසේන අවධාරණය ක‍රයි.

මීට අමතරව ගංගාවල ඇළවල ඇති වංගු සහිත ස්ථානවල ‘කලිවල‘ ළිං ඉදි කිරීමත්, වැව් අසල ඇති පහළ ප්‍රදේශවල ළිං ඉදි කිරීමත් කෙටිකාලීන විසඳුම් බව ඒ මහතා පෙන්වා දෙයි.

ඊට අමතරව තේ වතු හා වැවිලි ප්‍රදේශ කෘෂි පාරිසරික පද්ධති ලෙස සංවර්ධනය කිරීම, වැව්වල එල්ලංගා පද්ධති යළි පිළිසකර කිරීම වාර්ෂික රොන්මඩ හරණය වැනි වැඩපිළිවෙළ මඟින් ජල හිඟයට මධ්‍ය කාලීන විසඳුම් සෙවිය හැකි බව ආචාර්ය ධර්මසේන පවසයි.

නියඟයට තිරසර විසඳුම් ලෙස පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතාද පවසන්නේ ජලය වැඩිපුර ඇති කාලයට ගංගා ඇළ දොළ මඟින් ඒ ජලය මුහුදට නොයවා ගඟ ඉහත්තාවේ මහ ජලාශ ඉදි කළ යුතු බවයි. ඊට අමතරව වගුරු බිම් ආශ්‍රිතව ඒවායේ ජෛව විවිධත්වය සුරකමින් ජලාශ ඉදි කිරීමත් ජල හිඟයට පමණක් නොව ගංවතුරට ද විසඳුමක් බව මහාචාර්ය සේනාරත්න අවධාරණය කරයි. රන්ටැඹේ වැනි ජලාශවල රොන්මඩ ඉවත් කිරීම හා ජලාශවලට රොන්මඩ ඒම වැළැක්වීමට තාක්ෂණික ක්‍රම ක්‍රියාවට නැංවීමද මෙහිදී වැදගත් වන බව මහාචාර්යවරයා පවසයි.

මේ අනුව අපේ රටේ විද්‍යාඥයන්ගේම අදහස අනුවත් අපේ පාරම්පරික දැනුම අනුවත් වැස්ස අඩු වූවත් රටේ කෙත් බිම් හා වගා බිම් අස්වැද්දීමට ක්‍රම හා විධි ඕනෑ තරම් ඇත‍. කළ යුත්තේ අපේ ඒ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය හා වාරිමාර්ග අමාත්‍යාංශය සුදුසු පියවර ගැනීමට කාර්යක්ෂම වැඩපිළිවෙළක් සැකසීමයි.

පරිසරයත් රැකගෙන රට සංවර්ධනය කිරීමේ උදාර කටයුත්ත තිරසර ලෙස සිදුවන්නේ එවැනි ක්‍රියාදාමයක් මඟින් පමණක් බව අපේ හැඟීමයි.

නිහාල් පී. අබේසිංහ

Comments