
සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කොට රචනා වූ මේ සංක්ෂිප්ත කවිය විරෝධා’කල්ප සහිත යථාර්ථවාදී ප්‍රබන්ධයක් සේ හැඳින්විය හැකි ය. ඉන් කියැවෙන්නේ ගමේ දුප්පත් සංගීතකාරයකු පිළිබඳ හද - පාරන කතාවකි. ඒ හැරෙන්නට පොදු ජනයාගේ සංගීතය, කුල පීඩනය හා මනුෂ්‍යත්වය ගැන නැවත - නැවත සිතා බලන්නට උත්ප්‍රේරකයක් ඒ මඟින් සපයනු ලැබේ. සහෘදය සිත් පිනවීම හෝ සහෘද සිත් කම්පනයට පත් කිරීම හෝ කවියේ එක් සම්මත අර්ථයකි. එහෙත් ඊට වඩා වැදගත් වන්නේ එහි අර්ථ හා ධ්වනි ඔස්සේ මතුවන උත්ප්‍රේරකය යි. නැතහොත් පෙලැඹවීම යි. මේ කවිය ද පාඨකයාගේ බුද්ධියට අමතයි.
ඊට අදාළ සාධක තුනක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එක; මේ කවිය විඳින පාඨකයා ගමේ සංගීතකාරයාට හෙවත් ජී. සිරිල්ට සිදුවූයේ කුමක් දැ’යි විමසන්නට පටන් ගනී. දෙක; ග්‍රාමීය සමාජය තුළ මේ තරමින් කුලභේදය පවතින්නේ කෙසේ ද? එය යුක්ති සහගත ද? යැයි තර්ක නඟන්නට පාඨකයා පෙලඹෙයි. තුන; සරල - සුගම - නිර්මල ගමෙහි පැවැති මනුෂ්‍යත්වයට සිදුවූයේ කුමක් දැ’යි නිරීක්ෂණය කරන්නට සහෘදයා නැඹුරුවෙයි. මේ සියල්ල සාධනීය ලක්ෂණ සේ දැක්විය හැකි ය.
කවිය උපුටා ගත්තේ 2003 දී පළවූ ‘නිශ්ශබ්ද’ නම් කෘතියෙන් ය. කෘතියක් යැයි කියූව ද; ඒ වනාහී හුරු බුහුටි පොත් පිංචකි. කවියට පාදක වූ සංගීතකාරයා මෙන් ම කවියා ද ආර්ථික දරිද්‍රතාවෙන් විඳවන බව පොත් පිංච දකින කෙනකුට වටහාගත හැකි ය. එහි කවි කිහිපයක් හා කෙටිකතා කිහිපයක් කලවම් කොට එකට පළකර තිබේ. කවියා අප හිත මිත්‍ර අනුර කේ. එදිරිසූරිය මහතා ය.
ජී. සිරිල් රඹුක්කන ප්‍රදේශයේ පිටිසරබද ගමක 1950 ගණන්වල දී උපත ලැබීය. ඔහුට ස්ථිර ජීවන මාර්ගයක් නො වී ය. ප්‍රමාණවත් අධ්‍යාපනයක් ද නොවී ය. එහෙත් ඔහුට සංගීතය පිළිබඳ සහජ හැකියාවක් තිබිණි. පරම්පරාවේ අත්දැකීම් හා ආවේණික ජාන ඊට අදාළ හේතු සාධක සපයන්නට ඇත. ජී. සිරිල් ඇඹුලට, මඟුලට, කොටහළුවට, සල්පිලට හා තවත් දේවල්වලට ඩෝල ගැසුවේ ය. ජනප්‍රිය ම සින්දු මුල් ගායකයාගේ හඬින් ම ගායනා කළේ ය. ඇතැම් විට ඊටත් වඩා හොඳින් ගායනා කළේ ය. ඔහු මුළු ගම් තුලනක් ආනන්දයට පත් කළ එක ම සංගීතකාරයා යැයි කියන්නට පුළුවන.
කුමක් වුව ජී. සිරිල් පිළිබඳ අවසන් වාර්තාව පිළියෙල කරන්නට සිදුවන්නේ පහත සඳහන් පරිද්දෙන් ය.
“ජී. සිරිල් ඩෝල ගැසුවේ ය. සින්දු කීවේ ය. ඒ තරමට ම කසිප්පු ද බීවේ ය. අන්තිමට නිකම්ම නිකං හිඟන්නකු ලෙස අකාලයේ මිය ගියේ ය.”
ඊළඟට අපගේ කැමරාව යොමුවන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර අප්‍රකට වීදියක් වෙත ය. එහි සිිටින කොලු ගැටයෙක් එකෝඩියනයෙන් විවිධ තාල නිමවමින් මුළු වීදිය ම කුල්මත් කරයි. ඔහුගේ ජීවිතය සිරිල්ගේ ජීවිතයට වඩා වෙනස් ය. ඒ. ආර්. රහුමාන් උපන්නේ 1967 දී ය. ඔහුට අවුරුදු විස්ස වන විට මුළු චෙන්නායි නුවරම රහුමාන් ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. අවුරුදු විසි පහ වනවිට සමස්ත භාරතය ම ඔහු ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. අද වනවිට ඔහු කෝටිපතියෙකි. මුළු ලෝකයේම කැපී පෙනෙන සංගීතඥයෙකි. ඇමෙරිකාවේ ධවල මන්දිරයෙහි දොරවල් ද ඔහු වෙනුවෙන් විවෘත ය.
ජී. සිරිල්ට ගුරුවරයෙක් නැත. රහුමාන්ට ද ගුරුවරයෙක් නැත. ජී. සිරිල්ට සහතික නැත. රහුමාන්ට ද සහතික නැත. දෙදෙනා ම එක ම බෝට්ටුවේ යැයි කියන්නට පුළුවන. එසේ නම් මේ වෙනස සිදුවූයේ කෙසේද? ඩෝලයේ වරදක් නිසා ද? රටේ වරදක් නිසා ද?
කවියා ජී. සිරිල් සම්බන්ධයෙන් ගොඩනඟන චිත්‍රය අප මනසෙහි ගැඹුරු තැනෙක සටහන් වන බව පැහැදිලි ය. සිරිල් නම්; ඩෝලකාරයා උත්කර්ෂයට නංවා ඇතැ’ යි කෙනකු කියන්නට පුළුවන. එහෙත් එය වරදක් නොවේ. චරිතයක් උත්කර්ෂයට නංවා නිරූපණ ඔස්සේ හැඟීම් දැනවීම කලාවේ එක් විලාසයකි. කවියාගේ නිරූපණවලට අනුව ජී. සිරිල් යනු අති දක්ෂ, අවංක, නිහතමානී දිළිඳු එලෙස ම අයුක්තියට ලක්වූ වින්දිතයෙකි.
ඔහු පිළිබඳ සමස්ත වෘත්තාන්තය ගොඩනැංවීම සඳහා උපාය මාර්ග තුනක් භාවිතා කරනු ලැබේ.
I. චරිතයක් ගොඩනැඟීම
II. සමාජ සංවාද නිරීක්ෂණය
III. ආත්ම කථනයක යෙදීම
ආකර්ෂණීය චරිත ගොඩනැඟීම කවියෙහි පමණක් නොව; සෙසු කලාවන්හි ද භාවිත ශිල්පීය ලක්ෂණයකි. ‘වයලීන් වාදකයා’ නම් ප්‍රංස චිත්‍රපටය අප සිහියට නැඟේ. එහි එන වෘත්තීය වාදකයා ප්‍රභූ පන්තිය පිනවන සිම්පනි වාදනය අතහැර පොදු ජනයා පිනවීම උදෙසා වීදියට බසී. ඔහු වාදනය කරන්නේ පොදු ජනයාට දැනෙන සංගීතයකි. අවසන් ලෙස මුළු නගරයත් ඔහුගේ වාදනයෙන් අවදිවන්නේ ප්‍රේක්ෂකයාගේ දෙනෙතට කඳුළක් එක් කරමින් ය. වීදියේ ජනයා හා ඔවුන්ගේ සංගීතයත්, පොදු ජනයා වෙනුවෙන් කැපවූ වාදකයාත් මෙහිලා උත්කර්ෂයට නැංවේ.
අනුරගේ ඩොල්කි වාදකයා ද එවැන්නෙකි. ඔහු කෙතෙක් දුරට නිහතමානී ද යත්; හොඳටම බීමත්ව දෙපැත්තට වැනෙමින් ගමන් කරත් දී පවා, සිංදුවක් කීමට අවසර පතයි.
“මහත්වරුනි සමාවෙන්ඩ
සින්දුවකුත් කියාගෙන ම
යන්ඩ ද මම”
ජී. සිරිල් කෙරෙහි පැහැදීමක් හා විචිත්‍ර හැඟීමක් සහෘදයා තුළ මතුවෙයි. පෙරළා වාදකයා ගැන නිරීක්ෂණය කරන්නටත්, ඔහුට එරෙහිව බල පවත්වන සමාජ තහංචි විභාග කරන්නටත් අපට සිතේ.
සමාජ සංවාද කිහිපයක් ද අර්ථ සාධනය සඳහා ප්‍රබල අයුරින් යොදාගනු දැකිය හැකි ය.
“සිරිලා අඩු එකා
පුටු දෙන්ඩ බෑ”
“ඒත් උගෙ
සින්දු මසුරං”
සිරිල්ගේ සංගීතයෙන් ගමේ මිනිස්සු වින්දනය ලබති. මුසපත් වෙති. එහෙත් ඔහුට සලකන්නට, පුටු දෙන්නට, ගෞරව කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. අඩුම තරමින් ඔහු සම තත්ත්වයෙහිලා තබන්නට හෝ කිසිවකු නැත. කවියේ මූඛ්‍යාර්ථය ද එයම වේ.
ඉංග්‍රීසි සාහිත්‍යයෙහි ‘dramatic – monologue’ නම් යෙදුමක් භාවිත වේ. එහි අර්ථය නාට්‍යානුසාර ආත්මකථනය යන්න ය. අනුර ද මේ ශිල්ප ක්‍රමය පාවිච්චි කරයි. ඔහු එය පාවිච්චි කරන්නේ කවියාගේ දෘෂ්ටි කෝණයෙන් ය.
“සිරිල් සින්දු කියයි.
පාන්දර සවසට මහරෑට
අහන උංගෙ හොම්බට
අනින්ඩ බැරි තරහට”
කවියා සිය ආත්ම කථනය යොදාගෙන ඇත්තේ විරෝධාකල්ප නැංවීම සඳහා ය.
අනුරගේ මේ ප්‍රබන්ධයට සමගාමී ඇමෙරිකන් රචනාවක් නිතැතින් ම අප සිහියට නැඟිණි. එය ‘ට්‍රම්පට් වාදකයා’ ලෙස නම් කර තිබේ. කවියා කළු ජාතික ඇමෙරිකානුවකු වන ලන්ග්ස්ටන් හෙජස් ය. ඇමෙරිකන් සාහිත්‍ය තුළ හෙජස් ශෛලිය නමින් වෙන ම සම්ප්‍රදායක් තිබේ. හෙජස් වර්ගවාදයට එරෙහි ව සටන් කළ කලාකරුවකු ලෙස ප්‍රකට ය. ඔහුගේ නිර්මාණ ඔස්සේ ගිනි පුපුරු සේ මතු වන්නේ දුප්පත්කමේ හා වර්ගවාදයේ වේදනාව යැයි කියන්නට පුළුවන. හෙජස් ද අනුර මෙන් ව්‍යවහාරික භාෂාව කවියට යොදා ගනී. එහි ම විරෝධාකල්ප ද පවතී.
Trumpet player!
“The music
From the trumpet at his lips
To honey
Mixed with liquid fire
The rhythem
From the trumpet at his lips...
හෙජස් වරක් කියා සිටියේ; අප නීග්‍රෝ ජාතිකයන්ගේ ජීවිත බැබළවීම සඳහා කුමක් හෝ කළ යුතු බව ය. අනුර කේ. එදිරිසූරිය කවියාට ද ජී.සිරිල්ගේ පන්තිය වෙනුවෙන් යමක් කළ හැකි ය. හෙජස් කෙනකු වීමේ හැකියාව ද ඔහු සතු ය. එහෙත් අනුර දැන් කවි ලියන බවක් පෙනෙන්නට නැත.