
“සිංහල නවකථාව හා දේශිය කතා සම්ප්‍රදාය” යන මැයෙන් මා සිළුමිණ සත්මඩල අතිරේකයට සැපයූ ලිපියේ අරමුණ වූයේ කිසිවකු හෙළා දැක තවකකු ඔසවා තැබීම නොව, අපට ආවේණික වූ කතා සාහිත්‍යයක් පැවති බවත් අපගේ නවකතා හා කෙටිකතා එම දේශිය උරුමයේ අවිච්ඡින්න ඵලයක් විය යුතු බවත් පෙන්වා දීමය. අද ලේඛන භාෂාව හා කථන භාෂාව බරපතළ පරිහානියකට පත්ව ඇති බව මම ඒ ලිපියෙහි ලා පැවසීමි. දෙදහස් තුන්සිය වසරක විශිෂ්ට ලිඛිත ඉතිහාසයකට හිමිකම් කියන සිංහල භාෂාව අද වන විට කොතරම් දරුණු පිරිහීමකට පත්ව ඇද්ද යන්න වටහා ගැනීමට ඇති හොඳ ම උදාහරණය නම් 2017 රජත පුස්තක සම්මානය සඳහා තේරුණ හොඳ ම කෙටිකතා සංග්‍රහය වන “දුෂ්ටකමේ සවුන්දර්ය හා රත්මලානේ තවත් කතා” යන කෘතියයි. ඒ කෙටිකතා සංග්‍රහය ගැන දීර්ඝ විවේචනයක් කළ ප්‍රවීණ ලේඛක සේන තෝරදෙනිය පෙන්වා දුන්නේ ඒ කෘතියෙන් හඩු බස හා කුණු රස සිංහාසනාරූඪ කර ඇති බවයි.
“දුෂ්ටකමේ සවුන්දර්ය” යන යෙදුමෙන්ම එහි විකෘතිය වටහා ගත හැකිය. එහි යොදා ඇති භාෂාව හෙළ බසට කර ඇති මහා නිගාවකි. ඒ බස පොත පතක යෙදීමට තබා මුවඟට නැඟීම පවා අපුල දනවන සුලුය. “පිස්සු පිකුදු වෙන, අම්මට හුඩු සිරා, ප්‍රතිඥා දුන්නේ බොක්කෙනි, කිරි ඉබ්බට මල පැන්නේය, ඇන්කරේ ගහලා, මට මීටර් වුයේ නැත” වැනි යෙදුම් සහ මෙහි සඳහන් කිරීමට නොහැකි කුණුහරුප ඒ රජත පුස්තකයේ ඇත.
දෙස බස රැසට ඇලුම් කරන්නේ නම් අද වියතුන් විසින් කළ යුතුව ඇත්තේ අතීතය හාරා අවුස්සා බලමින් ලේඛකයන්ගේ ඇද කුද සොයා ඔවුන් ගැරහීම නොව භාෂා සාහිත්‍ය පරිහාණියට තුඩු දී මං අවුරා ඊට නිසි පිළියම් යෙදීමයි. මේ ප්‍රවේශය මා යොදා ගත්තේ ම විසින් සත්මඬලට සපයන ලද ලිපියට පිළිතුරක් යැයි සඳහන් කරමින් සෝමසිරි කස්තුරිආරච්චි මහතා විසින් 2017 ජූනි 17 වැනිදා සත්මඬල ශාස්ත්‍රීය අතිරේකයට ලියන ලද “මතවාද හිත තබා ගෙන සම්භාවනීය ලේඛකයන්ට ගැරහීම සුදුසුද” යන මැයෙන් යුතු අපවාදාත්මක ලිපිය අරබයා කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු යයි හැඟුණ බැවිනි.
මගේ ලිපියේ කිසිදු තැනක සම්භාවනීය හෝ අසම්භාවනීය හෝ කවරම ලේඛකයකුට මොනම ආකාරයකින්වත් ගැරහීමක් සිදු කර නොමැති බව මැදහත් පාඨකයකුට පෙනී යනු ඇත. කස්තුරි ආරච්චි මහතාගේ රෝෂයට බඳුන් වී ඇති මගේ ලිපියේ එන එකම සඳහන මේය:
“බටහිර ලේඛකයන්ගේ කෘති අඳ බැතින් වැළඳ ගත් ඩබ්ල්යු. ඒ. සිල්වාගේ නවකථා හැරුණු විට මුල් යුගයේ සියලුම නවකතා මෙරට අත්දැකීම් පදනම් කොට ගත් ස්වාධීන රචනාය.”
මගේ පූර්වෝක්ත නිගමනය යළිඳු මා යළිදු තහවුරු කරන්නේ ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාගේම කියුමක් උදුරා දක්වමිනි’ 1930 මැයි 10 වැනි දින ස්වදේශ මිත්‍රයා පුවත්පතට ලිපියක් සපයමින් ඔහු මෙසේ ලියුවේය:
“නවකතාව ශතම තට්ටුවට නැගුණේ ස්වභාවික ක්‍රමයෙන් බව වික්‍රමසිංහ මහතා නිතර කියයි. අපගේ කල්පනාව මීට ඉඳුරාම වෙනස්ය. ග්‍රීක, රෝම, පර්සියන්, අරාබි ආදි නොයෙක් ජාතික පඬිවරයෝ ක්‍රමයෙන් එය උසස් බවට පැමිණ වූහ. මේ පුරාතනයන්ගේ ප්‍රබන්ධ සාමාන්‍යයෙන් පොදුවේ Classicism නම් ක්‍රමයට වෙන් කරන ලදී. අනතුරුව අටළොස්වන ශත වර්ශයේදී Romanticism විචිත්‍ර ක්‍රමය ආරම්භ විය’ මේ කරණ කොට නවකතාව උසස් විය.... ඉංග්‍රිසි නවකතා කරුවා දැන් සිටින්නේ ශතම තට්ටුවේය. නමුත් සිංහල නවකතා කරුවා තවම ප්‍රථම තට්ටුවේය.”
ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා බටහිර නවකතා අඳ බැතින් වැළඳගෙන සිටි බව ඔහුගේ ම ඒ ප්‍රකාශයෙන් ඔප්පු නොවන්නේද? හොල්කේන්” රයිඩර් හැගාර්ඩ් ආදී බටහිර ලේඛකයන් සිල්වා මහතා අනුගමනය කළ බව “මාර්ටින් වික්‍රමසිංහ - ඩබ්ල්යු. ඒ. සිල්වා නවකතාවාදය” ග්‍රන්ථය කියවීමෙන් වැඩිදුරටත් අවබෝධ කරගත හැකිය.
සෝමසිරි කස්තුරිආරච්චි මහතා තුළ පවත්නා මාර්ටින් වික්‍රමසිංහ විරෝධය සත්මඬලට සැපයූ ලිපියෙන් කුලුගන්වා තිබේ ඔහුගේ ලිපියේ හරි අඩක් ම වෙන්කොට ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන්ට ගැරහීමට ය. කේ. බී. සුගතදාස මහතාගේ “උපන්දා සිට වික්‍රමය”, හේමපාල මුනිදාස මහතාගේ “ස්තෝත්‍ර පූජාව” ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාගේ දිනපොතක ඇතුළත් ව ඇතැයි කියන සටහන් හා “කතා රජ කතාව” ආදී කෘති ඔහු ඒ සඳහා වහල් කොට ගනී. ඒ එකද කෘතියක් හෝ සත්පුරුෂ ලේඛක- පාඨක සම්භාවිතයේ වැඩිකලක් නොපැවතිණ. වික්‍රමසිංහයන්ගේ උපන්දාසිට කෘතිය මුල මැද අග මුළුමනින්ම බොරු වැලක් බවත් අල්ලේ පැළ වෙන බොරු බවත් කස්තුරිආරච්චි මහතා පවසන්නේ ඉහත සඳහන් උපන්දා සිට වික්‍රමය පොතේ ඇතුළත් ද්වේෂ සහගත කියුම්වල එල්බ ගනිමිනි. ඔහු කියන හැටියට උපන්දාසිට වික්‍රමය පොතේ එක් මුද්‍රණයක් පමණක් පළ වූයේ එය වැදගැම්මකට නැති පොතක් වූ හෙයිනි.
නවකතාවක් මෙන්ම නවතායෙන් කියැවිය හැකි අපූරු ග්‍රන්ථයක් වන උපන්දාසිට ලේඛකයකුගේ ස්වයං ලිඛිත විත්ති පොතක් පමණක් නොව විසිවන සියවසයේ 60 වැනි දශකය දක්වා මෙරට ගැමි දිවි පෙවෙත ” සමාජ දේශපාලන පරිණාමය” පුවත්පත් සාහිත්‍ය කලා ආදියේ ක්‍රම විකාශය කියන සාරගර්භ විමර්ශනයකි. අදටත් ජීවමාන සාධකයක් ව පවත්නා වික්‍රමසිංහයන් උපන් ඔපිසර ගෙදර හා ඒ ආශ්‍රිත පරිසරය 1907 වසරේ සිට ලියැවුණු ඔහුගේ පත පොත හා නෑයන්ගේ ලිපිලේඛන ද උපන්දාසිට ග්‍රන්ථයේ දැක්වෙන තොරතුරු සනාථ කරයි. එසේම වික්‍රමසිංහ ලේඛනාගාරයේ සුරක්ෂිතව පවත්නා ඉපැරණි තෝම්බු ලේඛන පිටපත්, වික්‍රමසිංහයන් වෙත විවධ තරාතිරම් වල පැවිදි ගිහි ජනතාව එවා ඇති දහස් සංඛ්‍යාත ලිපිලේඛන ආදිය උපන්දාසිට ග්‍රන්ථයේ ඇතුළත් කරුණු දිනෙන් දින සනාථ කරයි. එම ග්‍රන්ථයේ 17 වැනි මුද්‍රණයද මේවන විට නිකුත් වී තිබේ.
සෝමසිරි කස්තුරිආරච්චි මහතාගේ වික්‍රමසිංහ විරෝධය ගම්පෙරළිය නවකතාවට ද එල්ල වී තිබේ. ඒ සඳහා ද ඔහු ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා කර තබා ගනී. සිල්වා මහතාගේ දෛවයෝගය අමුඅමුවේම කොපිකර, ගම්පෙරළිය වික්‍රමසිංහයන් ලියා ඇති බව ඔහු සිය ලිපියේ දක්වයි. මෙය මින් පෙර කිසිදු විචාරකයකු පළ නොකළ අභූත මතයකි. වික්‍රමසිංහයන් ගම්පෙරළිය ලියුවේ දෛවයෝගය බිහිවු වසරට පසු වසරේ බවද එහි කියැවිණි. පොලොන්නරු යුගය පසුබිම් කොටගත් දෛවයෝගය ඓතිහාසික නවකථාව පිටවූයේ 1936 වසරේදීය. සිංහල නවකතාව යථාර්ථවාදී මගකට යොමු කළ ගම්පෙරළිය බිහිවුණේ ඊට අවුරුදු අටකට පසුය. කෙසේ වුවද කථා වස්තුව, චරිත නිරූපණ, කථා විකාශය, පසුබිම හා භාෂාව යන මේ කවර ම අංගයක් ඔස්සේ විභාග කළ ද දෛවයෝගය, ගම්පෙරළියට කිසිසේත් සමාන කළ නොහැකිය.
ගම්පෙරළිය නවකතාව පිළිබඳ අදහස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සිත තුළ පිළිසිඳී ඇත්තේ 1934 වසරේදීය. එනම් දෛවයෝගය නවකතාව බිහිවීමට අවුරුදු දෙකකට ඉහතදීය. වික්‍රමසිංහයන් සිය ග්‍රන්ථ හා ලිපි ලියන්ට පෙර ඒ කෘති පිළිබඳව සැකිලි සටහන් පිළියෙල කොට ගැනීම පුරුද්දක් කොට ගෙන සිටියේය. ගම්පෙරළිය නවකථාව පිළිබඳ වස්තු බීජය ඇතුළත් කටුසටහන් පොතක් (වෙනත් අත්පිටපත් සමග)මාර්ටින් වික්‍රමසිංහ ලේඛනාගාරයේ ඇත. 1934 වර්ෂයේ දී වික්‍රමසිංහ මහතා සිය අත්අකුරින් ඉංගිරිසි බසින් ලියා ඇති ඒ සටහන For a Novel යන හිසින් ආරම්භ කොට තිබේ. පිටු නවයකින් යුතු එකී කටුසටහනේ මුල් ඡේදය පළමු වරට සත්මඬල පාඨකයන් උදෙසා මෙසේ ඉදිරිපත් කරමි:
For a Novel
Lunch in commemoration of the Sinhala New year was held at the house of the Muhandiram Kulachandra. It was organised by young girls and boys of the two families, Mahandiram’s and his brother’s. All those of the family circle are invited for the function. This year there was one outsider සිරිමල් රණවීර who was the tutor to the young daughters of the Muhandiram. At the conclusion of the festival Sirimal chat with young daughter Nanda of Muhandiram and confess his love which he had done in his letters to her though she never respected. She loves him but she never wrote a reply because it was against the කුලසිරි of the family’’
ගම්පෙරළිය නවකතාව පිළිබඳ වස්තු බීජය ඇතුළත් මේ කෙටි සටහන තුළ සමස්ත කථා පුවතේ පිරිවිතර ඇතුළත්ව තිබේ. ඒ කටුසටහනේ දැක්වෙන මුහන්දිරම් කුලචන්ද්‍ර , ගම්පෙරළිය නවකතාව රචනයේදී කයිසාරුවත්තේ මුහන්දිරම් විය. සිරිමල් රණවීර පියල් නමින් හැඳින්විණ. මාතර හාමිනේ, නන්දා, අනුලා, තිස්ස ආදී චරිතයන් එපරිදිම යොදා තිබෙයි.
අනුකාරක උගතුන් විවිධ විදේශීය කෘති ගෙන හැර දක්වමින් ගම්පෙරළිය ඒවා ඇසුරෙන් ලියා ඇති බවට පළකෙරෙන මත නිසා වික්‍රමසිංහ ගම්පෙරළිය හා මගේ අනෙකුත් කතා වලට වස්තු වූ අත්දැකීම් යන මාතෘකාව යටතේ 1971 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ දේශනයකදී මෙසේ පැවසීය.
ගම්පෙරළියේ කයිසාරුවත්තේ පිළිබඳ රචනයට වස්තු කොට ගත්තේ මගේ ළඟ ම නෑයන් පිළිබඳ මගේ අත්දැකීම්. මගේ මවුපියන්, සහෝදරියන් හරුණු විට බාප්පලා, මාමලා ආදීන්ගේ පවුල්වල උදවියද මා ඉතා කුළුපඟව ඇසුරු කළා. ඔවුන් පිළිබඳ අත්දකිම් තමා ගම්පෙරළිය රචනා කරන්ට මගේ කල්පනාව පිබිද වූයේ.
මෙම සම්පූර්ණ දේශනය 1990 වසරේ පළ වූ සංඛ - සාහිත්‍ය දින විශේෂ කලාපයේ දැක්වෙයි.
පූර්වොක්ත සඳහන සනාථ කරන අපූරු කියුම් දෙකක් මෙහි ලා දක්වන්ට කැමැත්තෙමි. වික්‍රමසිංහයන්ගේ අක්කා කෙනකුගේ ස්වාමි පුරුෂයා සිංහලේ වෙළඳාමකට ගිය බවත් ඔහු බොහෝ කලක් ගත වනතුරු ගමට නෑවිත් බිබිල ප්‍රදේශයේ පවුල් ජිවිතයක් ගතකොට පසුව මැලේරියාව වැළඳී රත්නපුර ප්‍රදේශයට විත් එහි් රෝහලේ මිය ගිය පුවතත් වික්‍රමසිංහයන් සිය මාමා කෙනෙකු සමග එහි ගොස් ආගමික වතාවත් සිදු කොට අවසන් කටයුතු කළ බවත් වික්‍රමසිංහයන්ගේ බිරිය ප්‍රේමා වික්‍රමසිංහ මැතිනිය අප සමග කිහිපවරක් පැවසුවාය. 1998 වසරේදී බිබිල වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේදී පැවති වික්‍රමසිංහ අනුස්මරණ උලෙළක් සඳහා අප ගිය අවස්ථාවේ එහි පැමිණ සිටි විදුහල්පතිවරයකු, වෛද්‍ය රංග වික්‍රමසිංහ මහතාට පැවසුවේ ජිනදාසගේ පුතුන් දෙදෙනෙකු තවම රිදීමාලියැද්ද - ඇකිරියන් කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවය. ගම්පෙරළිය නවකතාවට වස්තු වූ තත්කාලීන අත්දැකීම් අනාවරණය වන අයුරු විස්මයජනකය.
තැන් තැන් වල ඇවිද ඕපාදූප සොයමින් - කියමින් ඇහිඳ ගත් හෝ හිතේ මවාගත් හෝ අනං මනං හිසේ පුරවා ගෙන බොරු බේගල් ඇදබාන සෝමසිරි කස්තුරිආරච්චි මහතාගේ නුවණැසක් තිබේ නම් එය පෑදීමට පූර්වොක්ත තොරතුරු සෑහේ යැයි මම සිතමි. මතවාද හිස මත තබා ගෙන සම්භාවනීය ලේඛකයන්ට ගරහන්නේ කවුරුන් ද යන්න නිගමනය කර ගැනීම මම සත්මඬල පාඨකයන් වෙත භාර කරමි.
සිංහල නවකතාව පිළිබඳ මේ සංවාදයට එක් වන රවී තිලකවර්ධන මහතා මගේ ලිපියට ඌන පූර්ණයක් සපයමින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව රුසියානු ලේඛක ගොන්චොරොෆ්ගේ ඔබ්ලමෝව් නවකතාවේ අනුකරණයකි යැයි කියන්ට ද විසාල අවකාශයක් පවතින බව කියයි. එය වූ කලී විරාගය නවකතාව පළ වූ සමයේ කිසියම් අනුකාරකයකු විසින් කියන ලදුව පසුව අනාථ වූ මතයකි. ඒ විදෙස් ගැති අනුකාරක මතිභ්‍රමය වරින් වර යළි මතු වන්නේ විචාරක පණ්ඩිතමානය ද සමගිනි. රුසියන්, ඉංගිරිසි, ප්‍රංස, ජපන් භාෂාවන්ට පරිවර්තනය වී ඇති විරාගය අරභයා එබඳු සැසඳීමක් මේ වනතුරු එතෙර කිසිදු වියතකු පළ කොට නැත. විරාගය නවකතාවේ ප්‍රංස පරිවර්තනයට පෙරවදනක් ලියූ, පැරිසියේ පෙරදිග අධ්‍යයන පිළිබඳ ආයතනයේ ඉන්දියානු ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එරික් මේයර් පවා විරාගය තවත් විදේශ කෘතියක් සමග සැසඳීමක් කර නැත.
විරාගය නවකතාව පිළිබඳ වස්තු බීජය වික්‍රමසිංහයන්ගේ සිතේ පිළිසිඳ ගෙන ඇත්තේ 1942 දී පාණදුරේ නෑයකු හමුවීමට ගිය ගමනකදී බව සරසවි පුවත්පත සමග කළ සාකච්ඡාවක දී පවසා තිබේ. නෑයා තම ගේ ඉදිරිපිට පාරේ අනිත් පැත්තේ පදිංචිව සිටින පුද්ගලයකු ගැන වික්‍රමසිංහයන්ට මෙසේ කියා ඇත.
ඒකේ ඉන්නේ තනිකඩයෙක්; ඔහු ආණ්ඩුවේ කන්තෝරුවක ලියන්නෙක්. ඔහු පැරණි පුස්කොළ පොත් එකතු කරගෙන අභිධර්මය ඉගෙන ගන්නවාය, රසායන විද්‍යාව පිළිබඳ පොත් කියවනවාය, ඩ්‍රැයිවර් කෙනකුගේ දුවක් ඔහුට කෑම උයා දෙනවා. ඔහුගේ නෑයන් ඔහු හැරදමා ගොසින්. ඔහුගේ ගෙදර ඉන්නේ රියැදුරා සහ ඔහුගේ දුව. රියැදුරා කුලියට කාර් එළවනවා.
ඒ විස්තරය ඇසීමෙන් හටගත් කුහුල නිසා එම පුද්ගලයා හමු වී කතාබස් කිරිමෙන් පසු වික්‍රමසිංහයන්ගේ සිත තුළ පහළ වූ හැඟුම මෙසේය:
ඔහු සමඟ ටික වේලාවක් කතා කළ පසු ඔහු යන්ත්‍ර මන්ත්‍ර රසායන විද්‍යාව, අභිධර්මය, පැරණි කවි පොත් ඇදිය පිළිබඳ අනං මනං රාශියක් පුරවා ගත් හිසක් ඇතිව ජීවත් වන හොඳ මිනිසකු යයි මට සිතුණා. මගේ විරාගයට වස්තු වුයේ මොහුයි.
බටහිරට ගැති දෘෂ්ටියෙන් තවමත් ගිනිකන වැදී අන්ධව සිටින අනුකාරකයන්ගේ ඇස් එළිය විය යුතු කියුමක් ආචාර්ය ගුණදාස අමරසේකර මීට අවුරුදු දාහතරකට පෙර පැවසීය:
විරාගය නවකතාව මාර්ටින් වික්‍රමසිංහ අතින් බිහිවූයේ 1956 දීය: නව පොදු ජන සමාජයක් වෙත අප ගමන ආරම්භ කළ වසරේදීය. එවේලේ මේ සම්‍යක් විදර්ශනාව අප හමුවේ තැබීමෙන් වික්‍රමසිංහයන් තැත් කළේ මතු අනාගතය දැක අය අපට උරුම මඟ වෙත යළි ගමනාරම්භ කර අපගේ විමුක්ති මාර්ගය ළඟා කරගත යුතු බව පෙන්වා දීම විය නොහැකිද?
(සිළුමිණ සියපත - 2003 ජුනි 01)
ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් හෝ ඊර්ෂ්‍යා පරවශභාවය නිසා හෝ යම් යම් අල්පශ්‍රැතයන් විසින් කලින් කල නගනු ලබන අවලාද මාර්ටින් වික්‍රමසිංහ නමැති ප්‍රඥා පවුර සසල කිරීමට තරම් නොවේ. වික්‍රමසිංහයන් විසින් නිතර යොදනු ලැබූ ධම්මපද පාඨයක් මෙහිදී මගේ සිතට නැඟෙයි. ෙසෙලො යථා එක ඝනො - වාතෙන නසමීරති
එවං නින්ඳා පසංසාසු - නසමිඤ්ජන්ති පණ්ඩිතා
මාර්ටින් වික්‍රමසිංහ වැනි ප්‍රාඥයකු උදෙසාම භාවිත කළ හැකි අලගියවන්න මුකවෙටි පඬිදුන්ගේ සුභාෂිත පද්‍යයකින් මේ ලිපිය හමාර කරමි.
අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද
දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ