වම්බටු පෙත්ත | සිළුමිණ

වම්බටු පෙත්ත

 

කෙටිකතාව

උපහාසාත්මක කෙටිකතාවක ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරෙනි. ඉන්දීය සාහිත්‍ය ඇකඩමිය විසින් පළ කරන ලද Krishan Chandar- Selected Short Stories කෘතියේ මෙය ඇතුළත් වන්නේ The Brinjal Cutout නමිනි.

ඉතින් මොරම්පූර් හි මගේ ව්‍යපාරික කටයුතු මුළුමනින් ම කඩා වැටීම හේතු කොට ගෙන මා මේ වනවිට සිටින්නේ ආර්ථික ආගාධයේ පතුළට ම වැටිලා ය. අපේ පවුලේ අයට තාමත් එසේ නොවුණාට වැඩිකල් යා නොදීම හාමතේ ඉන්නට සිදු වනු නිසැක ය. මගේ පසුම්බියේ තව ඉතිරි ව ඇත්තේ පයිසා පනහක් පමණි.

‘ආටා පොඩ්ඩක් හරි නැද්ද?’ මම බිරියගෙන් විමසීමි. ‘තියෙනවා’ ඕ පිළිතුරු දුන්නා ය. ‘යාන්තම් චපාති හතරකට සෑහෙන තරමට’

මම සාක්කුවේ තිබූ අන්තිම ඇනා අටේ කාසිය අතට ගතිමි. ‘ගිහිල්ල වම්බටු ටිකක් ගේන්න’ එය ඇය අත පත් කරමින් මම කිමි.‘රසට වම්බටු වෑංජනයක් උයන්න, අපි චපාති කමු ඒවත් එක්ක’

‘දවාල නම් කොහොම හරි පිරිමහා ගත්තෑකි’ මගේ යහපත් ස්ත්‍රිය කණගාටුවෙන් එවිට කීවා ය. ‘ඒත් හැන්දෑවට මොකද කරන්නේ?’

‘ඒ ගැන කරදර වෙන්න එපා සීදේවී, උඩ ඉන්න ඇත්තො අපි ගැන බලා ගනීවි’

එවිට මගේ දෑස එක්වර ම නතර වූයේ අප විවාපත් අලූත අග්‍රාහි තාජ්මහල් වෙත ගිය විනෝද ගමනේ දී අපේ ආදරයේ සිහිවටනයක් ලෙස මා ඇයට තිලිණ කළ වීදුරු මංජුසාවක ඇතුළත් කොට ඇති තාජ් මන්දිරයේ අනුරුව වෙතයි. එය දැන් අපේ සාලයේ සයිබෝට්ටුව මත තබා තිබේ. ආදරය විසින් නිමවනු ලබන දෑ ගැන කිසිවකුටත් ඉඳුරා ම කිව නොහැකි ය. රුපියල් දහයක් වටනා ඒ ත්‍යාගය ඇයට දුන් විට ඇගේ දෑස් දිදුළේ ය.

‘මොකුත් ම නැත්නම් මේ ටාජ්මහල හරිම අපුරුයි’ මම දෑස් එහි අලවා ගෙන ම කීමි. ‘විකුණන්න’

එවිට ලේ සියල්ල ඉවතට ඇද ගත්තාක් මෙන් ඇගේ මුහුණ සුදුමැලි විය. කණගාටුවෙන් සහ තරහින් වෙව්ලන හඬින් ඇය කීවේ ‘මට ඔයා ඒක විකුණනව බලා ඉන්න බෑ. ඒක මගේ විවාහ සතුටේ සංකේතය’ කියා ය.

‘හරි හරි මම ඒක විකුණන්නේ නෑ.’ මම ඇගේ වික්‍ෂිප්තිය සංහිඳුවනු වස් නිවුණු සරින් කීමි. ‘වෙනින් මොනව හරි විකුණනව. උඩ ඉන්න ඇත්තො අපට වෙනින් මොකක් හරි මඟක් පෙන්නාවි. දැන් ඉතිං ඉස්සෙල්ලාම ගිහිං වම්බටු අරන් එන්නකෝ. මට හොඳටම බඩගිනියි.’

වම්බටු මිල දී ගෙන ආ මගේ බිරිය කුස්සි පිහියෙන් ඒවා කපන්නට වූවා ය. පළමු වම්බටු කරල දෙකට කැපූ ඈ පිහිය හඬනගා බිම දැමුවා ය.

‘ඒයි’ ඇගේ හඬ මා සොයා ආයේ ය.

‘බලන්න’ ඕ වම්බටු අඩ මා වෙත පෑවා ය. ‘මේකෙ මොනව හරි ලියල තියෙනවානේ.’

මම ඒ දෙස විපරමින් බැලිමි. තෙත් ගතියෙන් යුත් වම්බටු පෙත්තේ ඇට මුතු ඇමිණු සේ තිබූ අතර Allah යනුවෙන් ලියා තිබිණි.

‘අනේ දෙයියනේ’ මම නලලත පහරා ගනිමින් කීමි. ‘ඒ මුස්ලිම් අයගේ දෙවියන් වහන්සේ’

එසමයේ මා පදිංචිව සිටි පුර්බියන් නිවාස සංකීර්ණයේ හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන වර්ගවලට අයත් ප්‍රජාව සම අයිතිවාසිකම් භුක්ති විඳමින් සාමයෙන් දිවි ගෙවූහ. ආරංචිය ඇසූ ඒ මිනිස්සු සිය නිවාසවලින් නික්ම මගේ නිවස්නයට ඇ දී ආහ. හින්දුහු සහ ක්‍රිස්තියානිහු දැඩි සේ විවේචනාත්මක වුහ. ඔවුහු මේ ප්‍රකට සාධකය පිළිගැනිම ප්‍රතික්‍ෂෙප කළෝ ය. එහෙත් මුස්ලිම්මු සිය විශ්වාසයේ තදින් ම එල්බ ගෙන සිටියෝ ය. හජ් වන්දනාවේ අත්දැකීම් ඇති මියැන් අච්චාන් එය වෙත ප්‍රථම භක්ත්‍යාදර පූජාව කළේ ය.

මම ටාජ් මහලේ අනුරුව බහා තිබුණු වීදුරු කුටීරයෙන් එය ඉවතට ගෙන පසෙක තබා කාටත් පැහැදිලිව දැක ගත හැකි වන පරිදි වම්බටු කැබැල්ල එහි තැන්පත් කළෙමි. ඒ එක්කම වාගේ මුස්ලිම්මු එය ඉදිරිපිට බිම කොළ පැහැති ඇතිරිල්ලක් අතුළහ. දුම්කොළ වෙළෙන්දා වන මුනී මියැන් ශුද්ධ කුරාණ පාඨ සජ්ඣායනා කරන්නට වන්නේ ය.

නොබෝ වේලාවකින් වම්බටු පෙත්තේ කතන්දරය නගරයට ද පැතිර ගියේ ය. අපේ ගමට අල්ලපු ගම් සියල්ලේමත් නුදුරින් පිහිටි ගම්වලත් මිනිස්සු සුනංගු නොවී එය දැක බලා ගන්නට මගේ නිවස වටා රොද බඳිමින් සිටියෝ ය.

‘මේ ගැන මොකුත් හිතෙන්නෙ නැද්ද? අල්ලාගේ ලාංඡනය ඇවිල්ල තියෙන්නේ මිත්‍යදාස්ටිකයකුගේ ගෙදරට නේ!’ ඇතැමෙක් කීහ.

වැටෙන පුද පඬුරු ප්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේ ය. පළමු දින පහළොව තුළ රුපියල් එක්දහස් පන්සියයක් ඉක්මවන මුදලක් එක් රැස් වු අතර ඉන් තුන්සියයක් හෂිස් අදිමින් පැය විසිහතර පුරා ම එය මුර කළ කිරන් ෂා පූජක තැනට දෙන ලදී.

දෙසතියකින් මිනිසුන්ගේ ආගමික උද්‍යෝගය හීන වි ගිය අතර වන්දනාමානයට පැමිණියේ ඉඳහිට එකෙක් දෙන්නෙක් පමණි. එක් රැයෙක කරන් ෂා තුමා හෂිස්වලින් මත් ව දැඩි නින්දේ සිටි අවස්ථාවක කුතුහලාත්මක ව බිරිය ඇහැරවා වම්බටු කෑල්ල සහිත මංජුසාවේ පිධානය විවෘත කැර ඇයට එය දක්වා දැන් එහි දකින්නට ඇත්තේ කුමක් ද’යි විමසීමි.

‘අල්ලා’ ඕ තෙපළා ය.

මම එය මදක් එහා මෙහා කළෙමි. එවිට ඊ මත ආලෝකය පතිත වන කෝණය වෙනස් වී ය.

‘දැන් මොකක්ද කියැවෙන්නේ?’

‘ ඕම්. ඒ ඕම්’ ඕ විමතියෙන් එහෙත් නිශ්චිත ව කීවා ය.

මහ රැයේ ම මම පණ්ඩිත රාම් දයාල්ගේ නිවෙස වෙත ගොස් දොරට තට්ටු කළෙමි. කාරණය ඔහුට විස්තර කැර දුන් මම ඔහු මගේ නිවෙස වෙත කැඳවා ගෙන ආමි. ‘අරේ ඇත්තමයි. ඒ තියෙන්නේ ඉංගී‍්‍රසි AU අකුරු. ඒකෙන් කියැවෙන්නේ ඕං තමයි.‘ එය පිරික්සු හේ හඬ නගා කී ය. ‘මේකුං අපිව රැවැට්ටුවා පහුගිය සති දෙකේ ම’

පණ්ඩිතගේ කෑ ගෑමෙන් කිරන් ෂා විභ‍්‍රාන්තියෙන් මිදි ගැස්සී අවදි විය. මෙතැන සිදු වෙමින් පවතින්නේ කුමක් ද’යි වටහා ගන්නට ඔහුට තවත් වේලාවක් ගත විය. ඔහුට කළ හැකි වූයේ අබබ්බ ලෙසින් අප දෙස බලා හිඳී ම පමණක් ම ය. පණ්ඩිත තෙමේ පහරක් දී ඔහු නැගිටු වීය. ඔහුගේ පස්සට තවත් පහරක් දුන් පණ්ඩිත ‘උඹලා අපේ ධර්මයට නිගරු කළා. ඕං කියා පැහැදිලි ව පේන්න තිබෙද්දිත් ඒ තියෙන්නේ අල්ලා කියා අපේ ධර්මයට නිගරු කළා. අපහාස කළා.’ කියමින් ඔහු මගේ නිවෙසින් පළවා හළේ ය.

ඇත්තට ම එහි ඇත්තේ ‘ඕං’ ය යන පුවත ලැව් ගින්නක් සේ වහා පැතිර ගියේ ය. වම්බටු කැබැල්ල ඉදිරිපිට ස්තෝත්‍ර සජ්ඣායනය ඇරැඹිණි. ජනයා පැමිණ ශ්ලෝකයක් හෝ පාඨයක් හෝ කියා සම්මාදමක් දුන්නෝ ය. ඒවායින් පණ්ඩිතගේ කොටහ මම ඒ ඒ අවස්ථාවල ම ඔහුට දිනිමි. ඔහු බොහෝ මහන්සියෙන් ශ්ලෝක ගායනයේ යෙදුණු අතර වැටෙන දෙයකින් වැඩිපුර ඔහුගේ පැත්තට ඇද ගන්නට නිතර සූදානමින් සිටියේ ය. එහෙත් ඔහු මුලා කරන්නට මම සමත් විමි. වම්බටු කැබැල්ලට මගේ හිමිකම අත් හැර දමන්නට මට නොහැකි ය.

වම්බටු හරස්කඩ හොඳින් දැක බලා ගනු සඳහා මහා නගරයේ සිට යෝගීන් ද සාධුන් ද මගේ නිවසට වැල නොකැඩි එන්නට පටන් ගෙන ගත වූයේ නොබෝ දිනකි. Allah ගේ තැන AU විසින් අභිභවනු ලැබීම වේගයෙන් සිදු වූ අතර එය අදහන්නටත් අසීරු අරුමයක් ම විය. පනිපිත් සංග්‍රාමයේ දී මිසදිටුවන් අතින් හිංසා ලැබුවන් ගැන උන් වහන්සේගේ අවධානය යොමු වී ඇත් ද? මේ අතර හින්දු ආගම අන් සියලූ ආගම්වලට වඩා උසස් බව තරයේ කියා සිටින සම්මේලන පවා පැවැත්විණි. මෙයාකාරයෙන් මම මේ ආගම් දෙකේ අනුගාමිකයන් අතර ආතතියක් ඇති කිරීමේ නිර්මාපකයා වීමි.

වම්බටු හරස් කැපුමේ ඇත්තේ AU හැර අන් යමක් නොවෙතැයි හින්දුහු තරයේ කියා සිටියෝ ය. ඒ අතර මුස්ලිමුන් දැඩි ව කර්ක කළේ එහි ඇත්තේ Allah හැර අන් යමක් නොවන බවයි.

‘ ඕං’

‘අල්ලා’

‘හරී. ඕං සත්‍ය’

‘අල්ලා හ්උ- අක්බාර්’

එම දවස් පහලොව තුළ ද රුපියල් එක්දහස් පන්සියය ඉක්මවන මුදලක් එක් රැස් වී තිබිණි. ඒ පූජා කළ රණබරණවලට අමතර වශයෙනි. ඒ සියල්ල මහත් වාසනාවක් සේ මා වෙත ම ඇද ගතිමි.

නැවතත් පෙර මෙන් ම මිනිසුන්ගේ උනන්දුව හින වී ගියේ ය. කිසියම් දෙයක් කළ යුතු ය’යි මම සිතීමි. ඇත්තට ම ඒ වනාහි ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක් වූයේ ය.

 

කෙසේවෙතත් වෙසෙසින් සඳහන් කළ යුතු කාරණයක් නම් වම්බටු මුහුණතේ ස්වරූපය නොවෙනස් ව පැවැති බවයි. සමහරවිට උඩ ඉන්නා ඇත්තන්ගේ හාස්කමින් විය යුතු ය.

එක් රැයෙක රාම් දයාල් ගුරුතුමා බෑං වඩියකින් සප්පායම් වී නිදි ආගාධයක කිමිදෙද් දී මම, මගේ යහපත් බිරින්දෑ නැගිටුවා ගෙන එය ඉදිරියට කැඳවා ගෙනවුත් ‘සීදේවී දැන් බලන්න ළං වෙලා, මොකක්ද පේන්නේ කියලා’ කීමි.

‘AU ඇර ආයේ මොකක්ද එහෙනං?’ ඕ නිදිමතේ ම නොමනාපයෙන් කොඳුළා ය.

මම වම්බටු කැබැල්ලේ කෝණය වෙනස් කළෙමි. ඕ මා දෙස වික්ශිප්තියෙන් බලා දබරැඟිල්ල මුවේ රුවා ගත්තී ය. ‘රාම දෙවියනේ කුරුසයක්නේ. ක්‍රිස්තියානි කුරුසයක්’

මම මුව පියා දෙතොල් මත දබරැඟිල්ල තබා පෙන්විමි. ‘සද්ද කරන්න එපා හෙට එළිවෙනකං. මම උදෙන් ම ගිහිල්ල කතෝලික පල්ලියෙ පියතුමා ව කැන්දං එන්නම්. එතකම් ඉන්න’

ඊළඟ උදෑසන පල්ලියේ පියතුමා තවත් ක්‍රිස්තියානි බැතිමතුන් එකොළොස් දෙනෙකුන් ද කැටුව මගේ නිවස වෙත ආයේ ය. වීදුරු මංජුසාවේ තිබූ වම්බටු කැබැල්ල දුටු ඔවුහු භක්තියෙන් ආලෝලනය වූවෝ ළය මත කුරුසි සටහන් කැර ගනිමින් ගීතිකා ගායනය ඇරඹූහ. ඉන්පසු ගොතන ලද ශිරස්කවලින් හිස් වසාගත් ලස්සන ගවොමින් සැරැහුණු පියකරු ක්‍රිස්තියානි යුවතියෝ සිය කෙණ්ඩාවල සහ උඩිපතුළ්වල මනරම් පැහැ විදාරණය කරමින් මගේ නෙත් සැනැහූහ. ඔවුහු වම්බටු කෑල්ල මත සටහන් වැ තිබූ ක්‍රිස්තුන්ගේ කුරුසයේ හාස්කම දැක ධර්ම සංවේගයට පත් වූහ.

නාගරිකයන් අතර මේ හේතුවෙන් කලහ පැන නැංගේ ය. එහි ඇත්තේ ‘ ඕම් ය’යි හින්දුන් කියනවිට ‘අල්ලා ය’යි මුස්ලිම්හු කිහ. ‘ඔය දෙකම නොවේ. එහි ඇත්තේ කුරුසය’යි එවිට ක්‍රිස්තියානිහු කීහ. මේ නිසා උද්ගත වූ ආරාවුල් ගල් ගසා ගන්නා, පිහියෙන් ඇන ගන්නා තරමට දුර දිග ගිය අතර ඇතැම් ඒවා මාරාන්තික වූහ. සාන්තපුර් හි හින්දුන් දෙදෙනකු ද මිස්ර් මොහොල්ලාවේ මුස්ලිම්මු දෙදෙනෙක් ද මරා දමන ලද්දෝ ය. නගර මධ්‍යයේ මහ දවාලේ ක්‍රිස්තියානි මිෂනාරියකු ඝාතනය විය. ඇඳිරි නීතිය පනවන ලද්දේ ය.

මා සිටින්නේ අනතුරුදායක අඩියකය ය යන්න එවිට මට වැටහිණි. මා අත්අඩංගුවට ගන්නට ඉඩ ඇති බව මට පෙනී ගියේ ය. පසු දින උදේ ඒ ගැන පුර්වාපේක්‍ෂා ප්‍රකට වූ අතර මම සියලූ අපරාධවලට මුල් වූ වම්බටු කැබැල්ල කානුවට විසි කොට, මා සන්තක සියල්ල පොදි ගසා ගෙන රාත්‍රිය පහන් වන්නට පෙර මෙතැනින් වහංගු වී යා යුතු බව බිරියට කිමි. එවිට වෙනත් නගරයක වෙනත් ව්‍යාපාරික කටයුත්තක් මට ඇරැඹිය හැකි වනු ඇත.

ඉතින් එදා රාත්‍රියේ බොම්බායට යා හැකි දුම්රිය මට අල්ලා ගත හැකි වූ අතර මම එනුවර පදිංචියට ගියෙමි. වම්බටු කෑල්ලේ අනුහසින් එක්රැස් කැර ගත් මුදලින් මා ටැක්සියක් මිල දී ගත් අතර එයින් නගරය පුරා එහා මෙහා වේගයෙන් යමින් මුදල් උපයමින් මගේ යහපත් බිරින්දෑ සමඟ සන්තෝෂවත් දිවියක් ගත කරමි. මෙය අසා සිටි යහපත් මිතුරනි, දැන් මා මේ සූදානම් වන්නේ මේ කතාව අවසන් කරන්නට ය.

මේ කතාව කියා අවසන් වීමෙන් පසු මගේ වීදුරුවේ වු අවසන් වඩිය ද එක හුස්මට ගිල දැමීමි. එවිට වීදුරුව ඔසොවන්නට පෙර තිබුණු තැන ශේෂ වී ඇති තෙත් සළකුණ මගේ නෙත ගැටිණි. ‘බලන්න මොහමද්බායි, ’ මම මගේ සහායගාමි ටැක්සි රියැදුරුට එය පෙන්විමි. ‘ඒක මොනවාගේ ද පේන්නේ? ඕම් ? අල්ලා ?’

මොහමද්බායි වහා සළකුණ දෙස නෙත් යෙමී ය. අනතුරුව හේ ප්‍රබෝධවත් ලෙසින් මගේ පිටට තට්ටු කළේ ය.

සහෝදරයා අමතක කරන්නෙපා මේ බොම්බේ බව. මේහේ අපට ඕං නෑ. අල්ලා ම්හ්. කුරුසෙත් එහෙමයි. රුපියල් විතරයි. ඔව් රුපියල් විතරයි. ඒව තමා අපව ඇදං යන්නෙ. මුළු ලෝකෙම ඇදං යන්නේ. දෙවියන්වත් ඇදං යන්නෙ.’

එහි තැනට කිසි අදාළකමක් නොමැති සදොස් දැයක් ලියැවී තිබුණාසේ, ඔහු එක් වරක් අත්ල ඒ හරහා ගෙන ගොස් මකා දැමී ය. ඉන්පසු හේ පිටව යමු’ සන් කරමින් මගේ පිටට තට්ටු කොට පෙරමුණ ගත්තේ ය.

Comments