පරිපාලන නිලධරයකුගේ 'අඩසියවසක මෙහෙවර' | සිළුමිණ

පරිපාලන නිලධරයකුගේ 'අඩසියවසක මෙහෙවර'

උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ නිවාස, ඉඩම්, දේපළ හානිවලට ලක් වූ ජනතාවට වඩාත් හිතකර වන්දියක් ලබාදීමට 2002 දී සම්මත වූ 'ලාක් ක්‍රමය' යොදාගැනීමට රජය සැරසෙයි. ඒ ලාක් ක්‍රමයේ පියා වූ ගුණසේන ඉමදූව මහතා ලාක් ක්‍රමය මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හිතකර වූ යෝජනා රැසක් සහ පරිපාලනයේ ජනතාවාදී වෙනස්කම් රැසක් ඉදිරිපත් කළ, ඒවා සාර්ථකව ක්‍රියාත්මක කළ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමුවන පෙළ නිලධරයෙකි. සිය අත්දැකීම් ජාතියේ අනාගත යහපත සඳහා තිළිණ කිරීමට ඔහු ලියූ' අඩසියවසක මෙහෙවර' නම් වූ පොත මේ මස 28 දා සවස 3 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී දොරට වඩී. මේ ලිපිය ඔහු හා කළ සංලාපයකි.

 * පරිපාලන නිලධරයකු වීමට පෙර ඔබ රැකියා කීපයකම යෙදුණා...

හක්මන මෙතෝදිස්ත විද්‍යාලයෙන් මා සාමාන්‍ය පෙළ සමත් වූ පසු උසස් පෙළ සඳහා දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයට ගියා. ඒ අතර පොත්තේවෙල ජිනරාජ පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ විභාගය නොගෙනම මට කොළඹ යන්නට සිදු වුණා. බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ සුළු රැකියාවක යෙදුණා. මා තනිවම පාඩම් කරලා උසස් පෙළ සමත් වුණා. මධ්‍ය ලිපිකාර විභාගය ද සමත් වුණා.

1967 දී මා කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වුණා. එහි දී මට වෘත්තීය සමිති නායකයන් වන බාල තම්පෝ, අයිජේ වික්‍රම, ඇම්ජී මෙන්ඩිස්, වින්සන් පණ්ඩිත යන සහෝදරවරුන් හමු වුණා. අප සිටි කාර්යාලයේ රජයේ ලිපිකරු සංගමයේ අන්ද්‍රාදි, පියදාස යන සහෝදරවරුන් සමඟ මා එකතු වුණා. මා 1968දී උපාධිය සමත් වුණා. මේ අතර 1971දී උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුණා. මා ලිපිකරු සේවයෙන් ඉවත් වී ඒ යෝජනා ක්‍රමයට සම්බන්ධ වුණා. කම්කරු දෙපාර්තමේන්තුවේ නව රැකීරක්ෂා සේවයක් ඇරැඹුණා. මා එහි රැකියා සහකාර නිලධාරියකු වශයෙන් පත්වුණා.

* ජනතා මෙහෙවරට ඔබට මුලින්ම මඟ සැලැසුණේ කෙසේද?

ශ්‍රම වෙළෙඳපොළ සහ රැකීරක්ෂා කාර්යාල ක්‍රමය ප්‍රතිසංශෝධනය කිරීම අවශ්‍ය වුණා. මේ සඳහා පුහුණුවකට මා ඉන්දියාවට ගියා. එහිදී මට වෑන් පැරිස් නමැති ඇලස්කානු මහතෙක් හමු වුණා. මැදපෙරදිග ඉදිකිරීම් වැඩට ශ්‍රමිකයන් සොයා ඔහු පිටරටවලට යන බව කීවා. පෙදරේරුවන්, කම්බි නමන්නන්, පින්තාරුකරුවන්, බරවාහන පදවන්නන් ඔහුට අවශ්‍ය බව කීවා. මා ඔහුට කීවා ලංකාවට එන්න කියා. දියුණු රැකීරක්ෂා සේවාවන් පැවැති රටවල් කීපයකින් ලැබු පුහුණුවෙන් පසු අන්තර්ජාතික ශ්‍රම වෙළෙඳපොළේ පුරප්පාඩු පිරවීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ගෙනදීමට අපට හැකි වුණා. ඉරාකය, ඉරානය, සවුදි අරාබිය, ඩුබායි ආදි රටවල ඉදිකිරීම් හා සේවා පුහුණු ශ්‍රමිකයන් අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව සැපයීමට ශ්‍රී ලංකා රජයට හැකි වුණා. මේ වැඩසටහන රටට විදේශ විනිමය උපයා දුන්නා.

* ශ්‍රී ලංකා පරිපාලන සේවයට පැමිණීමෙන් පසු ඔබ අමාත්‍යාංශ කීපයක සහකාර ලේකම් තනතුරු දරනවා නිවාස අමාත්‍යාංශයේ සහකාර කොමසාරිස් වෙනවා. ඒ යුගයේ ඔබ බරපතළ අභියෝගයන්ට මුහුණ දුන් බව අප අසා තිබෙනවා...

නිවාස දේපළ උපරිම පනත ක්‍රියාත්මක කිරීම මට පැවරුණා. පවුලකට හිමි විය යුත්තේ නිවාස දෙකක් පමණයි. වැඩිපුර නිවාස යැපෙන අය අතර බෙදෙනවා. ඉතිරි නිවාස රජයට හිමි වෙනවා. මෙහිදී නිවාස අයිතිකරුවන් සමඟ බොහෝ ගැටුම් ඇති වුණා. එහෙත් හිතට එකඟව සාධාරණය ඉටු කිරීමට මට හැකි වුණායයි මා විශ්වාස කරනවා. අගමැති ආර්.ප්‍රේමදාස මහතාගේ 'ගම්උදා' වැඩසටහනේ පිරිස් කළමනාකරු වශයෙන් වැඩ කිරීමටත් මට සිදු වුණා...

* මුල සිට ම වාමාංශික නැඹුරුවක සිටි ඔබ පසුව උග්‍ර දක්ෂිණාංශිකයකු ලෙස ප්‍රකට ජනාධිපති ප්‍රේමදාස මහතාගේ සහකාර ලේකම් වෙනවා!

එහි කිසිම ගැටලුවක් නැහැ. එතුමාගේ දේශපාලනය මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මට පැවරුණු සියලු කටයුතුවලින් ජනතාවට සේවයක් වුණා. ජනතාවට හානිකර දෙයක් සඳහා මා යෙදෙව්වා නම් සත්තකින්ම මා රැකියාවද අත්හරිනවා. මා නිවාස සහකාර කොමසාරිස් ලෙස සිටියදී ගත් සමහර තීරණ එතුමාගේ පක්ෂයේ අයට අහිතකර වුණා. ඒත් එතමා මගේ තීරණවලට ගරු කළා. එයින් හටගත් ප්‍රසාදය නිසාමයි එතුමා මා ජනාධිපති සහකාර ලේකම් තනතුරට පත් කළේ.

* මහා මාර්ග ඉදි කිරීම් කටයුතු නිසා නිවාස සහ ඉඩම් අහිමි වන ජනතාවට යුක්ති සහගත වන්දියක් ලබාදීමේ ක්‍රමයක් ඔබ සම්පාදනය කළා...

1995දී මා මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට පත්වෙනවා. ඒ සමඟම මට මාර්ග සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂ වශයෙන්ද ඉඩම් අත්පත් කරගැනීම් සහ ප්‍රතිස්ථානගත කිරීමේ අධ්‍යක්ෂවරයා වශයෙන්ද මා පත්කරනු ලැබුවා. ඒ සඳහා මගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් සකස් කළා. ඒ කමිටුව 'ලාක් කමිටුව' ලෙස හැඳින්වුණා. කඩා දැමු නිවෙසක් වෙනුවට අලුත් ගෙයක් තනා දීමට, සුදුසු ඉඩම් ලබාදීම අප්‍රමාදව සිදු කිරීමට මේ ක්‍රමය සමත් වුණා. වන්දි ගෙවීමේදී ජනතාව ඍජුවම සම්බන්ධ කරගැනීමක් මේ ලාක් ක්‍රමයෙන් සිදු වුණා.

බේස්ලයින් පාර, පෑලියගොඩ පුත්තලම පාර සහ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කරගැනීම ඇරැඹුණා. ජනතාව කුපිත වුණා. මට එරෙහිව කොට්ටාව දෙමටගොඩ ප්‍රදේශවල පෝස්ටර් ප්‍රදර්ශනය කළා. මට තර්ජන ආවා. ඔවුන් දැන සිටියේ නැහැ අප සාධාරණ වන්දි ගෙවීමේ ක්‍රමයක් සකසා ඇති බව. විරෝධයක් නැතිව ඉදිකිරීම් සිදු කළ හැකි වූයේ ලාක් ක්‍රමය පිළිබඳව විශ්වාසයක් ගොඩනැඟුණු නිසායි.

* ඔබට එරෙහිව සිටි ජනතාව පසුව ඔබට ඉතා සමීප වුණා...

ඔව්, ඔවුන් නොසිතූ පරිදි ඔවුන්ට යුක්තිය ඉටු වුණා. නැති වූ දේපළවලටත් වඩා වටිනාකමක් ඇති දේපළ ඔවුන්ට ලැබුණා. අදත් ඒ මිනිසුන් මට ආදරෙයි.

Comments