ජෝර්ජ් කීට් තෙළිතුඬට පෙම් බැඳි සෞන්දර්යවාදියා | සිළුමිණ

ජෝර්ජ් කීට් තෙළිතුඬට පෙම් බැඳි සෞන්දර්යවාදියා

ඔහුගේ තෙළිතුඩින් නිර්මිත මියුරු වර්ණාවලිය ඕනෑම පුද්ගලයකුගේ මනෝභාව තුළ අසාමාන්‍ය රසයක් හෝ සෞන්දර්යාත්මක විග්‍රහයක් ධ්වනිත කැරැලීමට සමත් වේ. ලියනාඩෝ ඩාවින්සි, මයිකල් ඈන්ජලෝ, ජොයිස්, පිකෑසෝ, ජෝර්ජියෝ වසාජි, ගොසේන්, බාර්කේ, ටිෂියන්, සස්තියා ප්‍රින්ජියරස්, තෙරේස් මෝහන් පරපුරට නෑකම් කියන හේ නූතන චිත්‍ර කලා සම්ප්‍රදායේත් ආදිකාලීන ඥානයෙන් සජීවි සංකේතයකි.

ජෝර්ජ් කීට් ගේ සිතුවම් තුළින් දිස්වනුයේ නූතන ලෝක චිත්‍ර කලාවේ වර්ණ සෞන්දර්ය හා එක්වීමට දරන ප්‍රයත්නයක් වුවද ඔහුගේ හැඩතල මහනුවර යුගයේ නැවතුණු තැන් සිට ඉදිරියට ඇදෙන්නාක් බඳු ය. පිරිනිවන් මංචකය, මාර පරාජය වැනි තේමාවන් වෙත නව අර්ථකථනයක් දීමට ඔහු ගත් තැත අති විශිෂ්ට ය. අතීත බිතු සිතුවම් චිත්‍ර කලා සම්ප්‍රදායේත් අද්‍යතන භාව සුවක චිත්‍ර කලාවේත් සුසංයෝගයෙන් බිහිවූ අසම්මත චිත්‍ර කලාවේ පුරෝගාමියකු වූ හේ කල්පිතය හා යථාර්ථය ඒකාබද්ධ කිරීමෙන් රසික මනස අමතන්නෙකි.

කලාකරුවාගේ නිර්මාණ බිහිවනුයේ ස්වකීය චින්තනය ඔස්සේ ය. ඇස ගැටෙන වස්තූන් මිනිස් චේෂ්ටාවන් එපරිද්දෙන්ම ප්‍රති නිර්මාණය කිරීම සැබෑ කලාකරුවාගේ නිර්මාණශීලීත්වය නොවන්නේ ය. ඔහු හාත්පස පරිසරය දෙනෙතින් මෙන්ම මනසින් ද විශ්ලේෂණය කරන්නෙකි. නෙත ගැටෙන සවන් වැකෙන අනුභූතීන් සිත තුළ ගොනු වී පරිකල්පන කාර්යයට බඳුන් වී කලාත්මක නිර්මාණයක් බිහි වන්නේය. එවන් සිත්තරකුගේ නිර්මාණ තුළ ස්වභාවික රූප දක්නට නොමැත. ජෝර්ජ් කීට්ගේ වාර්ණාවලිය අපට ප්‍රත්‍යක්ෂ කරවනුයේ මේ කල්පිත ලෝකය යි. එතුළ අප අත්දකිනුයේ වචනයෙන් විග්‍රහ කළ නොහැකි විවිද විචිත්‍ර මනෝභාවයන් රැසකි.

ගෝසේත් හා පිකැසෝ වැනි විශ්ව සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් ගුරු කොට ගත් ජෝර්ජ් කීට් තමාටම ආවේණික සුවිශේෂ ශෛලියක් බිහි කර ගත්තේ ය. සැබවින් ම එය එක් රැයකින් ලත් මහානුභාවයක් නොවේ. පෙර සසරේ පාරමි දම් පුරා ලැබූ වාසනා ගුණයත් ව්‍යුත්පත්ති අභ්‍යාස තුළින් උරුමකැරැගත් පරිචයත් එහිලා මහ පවුරක් විය.

1917 දි චිත්‍රකරණයට පිවිසි මේ අද්විතීය කලාකරුවාණන් එතැන් පටන් පුරා සිය වසකට ආසන්න කාලයක් සුවහසක් සහෘද සිත් අමන්දනන්දයට පත් කළේ නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙනි. රවීන්ද්‍රනාත් තාගොර් මහ කිවියාණන්ගේ ඇසුර ඔහුගේ කවි සිත අවදි කෙළේය. බෞද්ධ ජාතික කථා, හින්දු පුරාණ කතා තුළින් ලත් නිරාමිස වින්දනය දැහැන්ගත මුනිවරයකුට අවැසි සිත්තම් අසපුව ගොඩනැංවීය. වෛරයෙන් ක්‍රෝධයෙන් ගිනි ගන්නා ලෝකය අබියස හේ හුදෙකලා වීය. සත් සියක් දෙනෙත් ලැබ ලෝකය විනිවිද දුටුවේය.

1940 දී කොළඹ ගෝතමි විහාරයේ පිළිම ගෙයි නිමැවූ බිතු සිතුවම් කීට් ගේ නිර්මාණ වන්දනාවේ පරිපාකයට පත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. විශ්ව කලා නිර්මාණ ඉතා ගැඹුරින් අධ්‍යයනය නොකළ සිත්තරකුට මෙවන් මහා කාර්යයකට අත පෙවීමට උගහට ය. ඒ සෑම සිතුවමක ම ගැබ් ව පැවතියේ මහඟු කැපවීමෙන් ලත් දහදිය කඳුළු සුවඳය.

ඉතා අගනා කලා නිර්මාණ බිහි වන්නේ අනේකවිධ දුක් දොම්නස් හා විශිෂ්ට ප්‍රතිභාපූර්ණත්වය මතින් යැයි ලෝක ප්‍රකට ඉංග්‍රිසි විචාරකයකු හා කවියකු වූ ටී. ඇස් එලියට් පැවැසූ අදහස යළි යළිදු මා මනසේ නින්නාද දේ.

හෙළයෝ පමණක් නොව විදේශිකයෝ ද කීට් ගේ තන්ත්‍රියානික සෙවණැල්ලට ලොබ බැඳ ගනිති කැන්වසය මතින් එළි දුටු පාත්‍ර වර්ගයා මනසින් වැළැඳ ගත්හ. රුපියල් ලක්ෂ ගණනක් පිරිනමා ඒ ශ්‍රේෂ්ඨ කෘති මිලදී ගැන්මට තරම් ඔවුන් උත්සුක වූයේ මිල මුදලෙන් තක්සේරු කළ නොහැකි සනාතනික අගයක් ඒවායෙහි අන්තර්ගත නිසාවෙනි.

කිත් යසස් තමා පසුපස හඹා එද්දී ජෝර්ජ් කීට් නමැති නිමල ගුණ රැඳි අමිල කලාකරුවා කොන්ක්‍රීට් වනය අතික්‍රමණය කොට වඩ වඩාත් ගමට සමීප විය. මිල මුදලෙන් කීර්ති ප්‍රශංසාවෙන් නොලත් නොනිමි සුවයක් අව්‍යාජ ගැමි පරිසරයෙන් ඔහු ලද්දේය. උඩරට සිරිමල්වත්තේ කලා අසපුවට වැද පින්සල්, වර්ණ අතරේ තනිවිය.

ඔහුට උපහාර වස් පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1968 දි සාහිත්‍යසූරී උපාධිය පිරිනැමුවේය.

ජෝර්ජ් කීට් නමැති චිර ප්‍රසිද්ධ විශිෂ්ට චිත්‍ර ශිල්පියාගේ නිසල දේහය මා අබියස දිස්වේ. සුදුම සුදුපාට ඕවලාකාර හැඩයෙන් යුත් මුහුණත් දිගු නැහැය උඩ රැඳවූ උපැස් යුවළත් මැදින් බෙදා පැත්තට පීරු උරහිස තෙක් වැඩුණු කෙස් කලඹක් මා ඉදිරියේ ‍පිළිබිඹු වේ. ඔහු ගේ නිසල දේහය දෙස බලා නේත්‍ර පූජ‍ාවෙහි යෙදුණෙමි.

පුදුමයකි! මට පෙනෙනුයේ සම්මත වියපත් රූපය නොවේ. ගරා වැටුණ සිරුරට යටින් අද්‍යශ්‍යමාන තාරුණ්‍යයක් මම දුටිමි. සැඟවී පෙනුණු ඒ අපූරු සෞන්දර්ය මම හදවතින් වැලඳ ගතිමි.

තරුමල් සුපිපි රැයක පොතක් සුරතට ගතහොත් මට පෙනෙනුයේ ඔබ මිස අන් කවරෙක්ද? ජයදේවගේ ගීත ගෝවින්දය, අදිසි පිළිබිඹුව, නිරුවත් වූ අඳුර පොත් ඉදිරිපිට මා සමඟ සිනාසෙනුයේ ඔබ මිස අන් කවරෙක්ද?

සිතේ කාන්සිය නිවා ගනු වස් කලා භවනට ගියවිට බිත්ති තුළින් ඔබ හිස ඔසවනවා. ගෝතමියේ බිතු සිතුවම් අතර හිඳ ඔභ මට කතා කරනවා.

Comments