ජනතා සාහිත්‍යය | සිළුමිණ

ජනතා සාහිත්‍යය

ජනතා සාහිත්තිය ගැන දොඩන බොහෝ දෙනකුන්ට ඒ මැය ගැන පළල් වැටහීමක් ඇතැයි නොහැ‍ඟේ. සමහරු එය සමාජවාදිය නවකතා හා කවි පමණක් ඇතුළුවන සාහිත්තිය ලෙස හඳුන්වති. තවත් කෙනෙක් එය කම්කරුවන් හා දිළිඳු ජනයා පිළිබඳ කතා හා කවි සාහිත්තියක් ලෙස හඳුන්වති. තවත් කෙනෙක් එය සමාජ යථාර්ථ වාදය ගුරු කොට ගෙන රචිත කතා හා පැදි සාහිත්තිය ලෙස හඳුන්වති.

මේ හැම විවරණයකින් හැඳින්වෙන්නේ ජනතා සාහිත්තියේ අංගයක් දෙකක් හෝ තුනක් පමණකි. කතා හා කවි පමණක් නොව විද්දියාව, දර්සනය අත්කම්, කම්මල්කම් සාස්තරය නොහොත් කාර්මික විද්දියාව පිළිබඳ පොත් ද ජනතා සාහ්තිතියෙහි ඇතුළු වෙයි. සමාජ වාදය අනුගමනය කරන රටවල පොදු ජනකායට වඩාත් හිතවත් සාහ්තිතියෙහි ඇතුළු වන්නේ විද්දියාව, දර්සනය, කාර්මික විද්දියාව අරබයා පොදු ජන බසින් ලියන ලද පොත්ය.

දනවාදය හා රදළවාදය බලපවත්වන ලද පෙර කාලයේ රජුන් ඇමැතියන් ඇතුළු ලොකු මිනිසුන් පිළිබඳ කතා කවි පළ කරනු ලැබීය. ඒ කාලයේ උගැන්මක් ලැබුවේ ලොකු මිනිසුන් අතළොස්සක් හා ඔවුන්ගේ දරුවන් ද පමණයි. ඔවුන් උදෙසා බර බසින් රචිත කතා හා ගැදි පැදි පොත් ටික විකුණන ලද්දේ රුපියල් තිහ, හතළිහ, පනහ, හැට බැගින්. ඒ කාලයේ විද්දියාව උගත්තෝ දනවත් උසස් පවුල්වල මිනිස්සු වූහ. විනෝදය සඳහා විද්දියාව හා දර්ශනය පිළිබඳ පොත් කියවන ලද්දේත් දන්වත් උසස් පවුල්වල මිනිසුන් විසින් පමණයි.

දැන් නවකතා හා පැදි කවි පමණක් නොව විද්දියාව, දර්ශනය පිළිබඳ පොත් රුසියාවේ හා බටහිර රටවල ද ලක්ෂ ගණනින් මුද්‍රණය කොට පොදු ජනයාට විකුණනු ලැබේ. මීට අවුරුදු ගණනකට පෙර පළ කරනු ලැබූ පැන්ග්වින්, පැලිකන්, පොතක් විකුණන ලද්දේ සත හැත්තෑපහ හෝ රුපියල බැගිනි. මුලදි රුපියල් හැට හැත්තෑව බැගින් විකුණන ලද පොත් ද ලාබ මුද්දරණයෙන් රුපියල බැගින් විකුණන ලදී. ෂේක්ස්පියර්, ඩිකන්ස්, ආදීන්ගේ පොත් රුසියන් බසට නඟා ඉතා අඩු මිලට රුසියාවෙහි විකුණනු ලැබේ. රුසියාවේ ජනයාගෙන් සීයේට සීයක් දැන් ලියන්ට කියවන්ට දනිති. දැන් අබිදහම්, වාග් විද්දියාව ආදිය අරබයා පණ්ඩිතයන් අතළොස්ස උදෙසා පළ කරනු ලබන පොත් ටික හැර අනික් සියල්ලම ජන සාහිත්තියෙහි ඇතුළුවන පොත් ලෙස සැලකිය හැකිය.

රජුන් ඇමැතියන් දනවතුන් වර්ණනා කරනු සඳහා දැන් හොඳ ගත්කරුවෝ පොත් නොලියති; ඔවුන් උපහාසයට හසුකරන කතා හා කවි නම් දැනුදු ලියති. පැරණි බුදුනු ගත්කරුවෝ ද එවැනි ගැදි පැදි රචනා කළහ. අමාවතුරු දිට්ට මංගලිකා කතාව කුලවතුන්, බමුණන්, රජුන් කර්කස උපහාසයට හසුකරන රචනාවකි. උමංදාව රජුන් හා බමුණන් දරුණු උපහාසයට හසු කරන කතාවක්. ඒවා මෙකල ජනයා වහරන බසින් ලියනු ලැබුව හොත් හොඳම ජන සාහිත්තිය රචනා වෙනවා.

රජුන්, ඇමැතියන්, රදළයන් හා පූජකයන් දරුණු උපහාසයට හසුකරන කතා අවුරුදු දෙසියකට පමණ පෙර ප්‍රංසයේ විසූ වෝල්ටෙයා නමැති ගත්කරුවා රචනා කළා. දැනුදු ඒ පොත්වල පරිවර්තන රුසියාවේ පොදු ජනයා කියවති. මීට අවුරුදු දහයකට පමණ උඩදී ජෝජ් ස්ටයිනර් නමැති ඇමෙරිකන් විචාරකයා ලියා පළ කරන ලද බස හා නිහඬ බව නමැති නිබන්ධ එකතුව අඩු මිලට දෙනු පිණිස ගිය අවුරුද්දේ පැන්ග්වින් සමාගම පළ කෙළේය. එහි එන කියුමක සිංහල අරුත සැකෙවින් මේය.

“පැසිස්ට් දර්මය ඇසුරෙන් දෙදෙනකු (හැන්රි මාන්තලාං හා ලුවි පර්ඩිනාං වැලිනි නමැති ප්‍රන්ස නවකතා කාරයන්) හැර පළමුවන පන්තියේ කිසිම සාහිත්තිය කාරයෙක් පහළ නොවීය. අනික් අතින් ඉතාම හොඳ වර්තමාන සාහිත්තිය රචනා රාසියක් කොමියුනිස්ට් දහමෙහි බලපෑම නිසා පහළ විය. මේ යුගයේ උසස්ම සාහිත්තිය කාරයන්ගෙන් බොහෝ දෙනා පුද්ගලයන් ලෙස කොමියුනිස්ට් දහම ඇසුරු කිරීම නිසා ඔවුන්ගේ චේතනා හා චරිත වෙසෙස් සලකුණු ලැබීය.”

ලොව පුරා පැතිරෙන වර්තමාන සාහිත්තිය ‘ජනතා සාහිත්තියක්’ වූ සැටි මේ කියුමෙන් ද හෙළි වෙයි. මෙය ධනවාදී රටවල පාලකයන් වටහා ගත්තක් බව ඔප්පු කරනු පිණිස සාක්කි එළවිය හැකිය. පසුගිය අවුරුදු පහ තුළ යූ. ඇන්. පී. ආණ්ඩුව විසින් ‘ෆික්ස්’ නමින් අමුතු විනිමය ගාස්තුවක් පිටරටින් ගෙන්වනු ලබන පොත් වලින් අය කරනු ලැබීය. මේ තීරුව පොත්වලින් ද ආණ්ඩුව අය කෙළේ ලෝක බැංකුවේ නියමය අනුවයි. ලෝක බැංකුව ඇමෙරිකානුන් හා ධනවාදීන් සතු බලසම්පන්න මුදල් ආයතනයකි. එංගලන්තයේ සමහර පොත් සමාගම් මඟින් ඉතා අඩු මිලට විකුණනු පිණිස පොත් පළ කරනු ලැබේ. ජනතා සාහිත්තිය ලෙස හැඳින්විය හැකි මේ පොත් අතර බහුල වනුයේ ධනවාදයට අහිතවත් පොත්ය.

අලුත් තීරු බද්ද නිසා ඒ පොත් ලංකාවේ පොදු ජනයා අතර පැතිරිම නැවතිණ. පෙර රුපියල් 2.50 බැගින් විකුණනු ලැබු පොතක මිල රු. 5.50 ක් විය. රුපියල් හය බැගින් විකුණන ලද පොත රුපියල් දහ හතරක් පමණ විය. එංගලන්තයේ හා ඇමෙරිකාවේ පළ කරනු ලබන පොදු ජන පොත්වලින් බදු අය කරනු ලැබීමත් කඩදාසි මිල වැඩි කරනු ලැබීමත් නිසා එහි ද පොත් මිල වැඩි විය. මෙය ලොව පුරා පැතිරෙන ජනතා සාහිත්තිය මඩිනු පිණිස යොදන ලද උපායක් වැන්න.

දැන් ලංකාවේ පළවන්නේ රජුන්ගේ ඇමැතියන්ගේ දනවතුන්ගේ ගුණ වැණෙන කතා හා කව් කතා නොවේ. ඔවුන් උපහාසයට හසුකරන කතා හා කව් ය. බොළඳ පෙම්කතා පවා ජනතා සාහිත්තිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. අප රට මැද පන්ති ජනකාය (බුර්ෂ්වාහයන්) ලෙස හැඳින්විය හැක්කේ නගරවල ජීවත් වන බටහිර අනුකරණය කරන අතළොස්ස පමණයි.

මැද පන්ති (බුර්ෂ්වා) ජනකායක් ගම්වල නැත. සමහර ගම්වල රදළයෝ වෙති. රදළ පන්තියට නඟින්ට වෑයම් කරන්නෝ ටික දෙනෙක් වෙති. මුදලාලියෝ වෙති. මොවුන් මැද පන්ති බුර්ෂ්වාවන් ලෙස හැඳින්විය නොහැකිය. බටහිර ජනයා පළමුව ‘බුර්ෂ්වාවන්’ ලෙස හැඳින්වූයේ නගරවල වෙළෙඳ ජනයාය. ඉංගිරිසින් අනුකරණය කරනඅප රට දනවත් ජනයා වෙළෙඳාමට නොයති. වෙළෙඳාමට බැස්ස මුදලාලිලා ඉංගිරිසි නොදත්තෝය. නගරයේ ඉහළ පන්ති ජනයා මුදලාලියන් තුන්වන ‍පන්තියේ ලිපි කරුවන්ටත් වඩා පහත් පන්තියේ ජනකායක් ලෙස සැලකූහ. ඔවුන්ගේ ඉංගිරිසි උගත් දුන් හා පුතුන් නිසා දැන් මුදලාලිලා ඉංගිරිසි උගත් මැද පන්ති ජනයාගේ තැනට නැඟී සිටිති.

සමඟි පෙරමුණ මේ වර විසාල ජයක් ලැබුවේ ගම්වල ගොවියන් හා මැද පන්ති ජනයා නිසාය. මුදලාලිලා නිසා නොවේ. අපේ ජාතිය හා සමාජවාදය නමැති මහා පුරුෂයාගේ කොඳු ඇටය වූකලි ගොවියන්, කම්කරුවන්, මැද පන්ති ගැමි ජනයා ඇතුළු තුන්ගොල්ලගේ එකමිතිය නිසා සැදුණකි. ගම්වල ගොවි ජනයා හා මැද පන්ති ජනයා සමාජවාදයට පටහැනි වන්නන් ලෙස සලකන සමහර සමාජවාදීහු, නොදැන, ඇමෙරිකන්කාරයන්ට ගැති ජනයාගේ අදහස් පතුරුවන්නෝය.

අප රට සමාජවාදය පිහිටුවිය හැක්කේ අර තුන් ගොල්ල එක්කොට එකම ජනකායක් ලෙස බඳිනු ලැබීමෙනි. ඒ සඳහා පළමුව කළ යුතු කාරිය වනාහි පොදු ජන බස වර්තමාන ගැදි පැදි බස කරනු ලැබීමය. වර්තමාන කවර ශිෂ්ට ජාතියකගේ වුවද බසෙහි හා සාහිත්තියෙහි මුල් පිහිටියේ පොදු ජන බස, ජන ජීවිතය, ජන සාහිත්තිය යන තුනෙහිය.

සිංහල සාහිත්තිය 10 වන සියවස වන තෙක් සෙමින් හා කෙමෙන් වැඩුණේ ඒ තුනෙහි ඉඳුරා පිහිටි මුල් ඇතිව බව සෙල් ලිපි, සිකවළඳ විනිස, සීගිරි කව්, ආදියෙන් හෙළි වෙයි. සිංහල සාහිත්තියෙහි මුල් පිහිටි ජන බස, ජන ජීවිතය හා ජන සාහිත්තිය ද විනාස කොට සකු සිංහලය නිපදවනු ලැබීය. ඉන්දියාවේ හින්දු රජුන් හා බමුණු ගුරුන් ද සකුව අනුකරණය කිරිම නිසා සිංහල සාහිත්තිය 12 වන සියවසෙහි මුල් සිඳින ලද රුකක් විය. ගසක් වැඩී මල්පල හට ගන්වන්නේ සිය ගණන් කෙඳි මුල්වලින් උකහා ගන්නා ආහාර ජලය ආදිය නිසාය. මුදුන් මුල ගස ඇද වැටෙනු වළකන්නකි.

සකු වෙස් ගත් සිංහල සාහිත්තිය මුදුන්මුල හැර අනික් සියලු මුල් සිඳින ලද්දක් විය. 13 වන සියවසෙහි පහළ වූ සිංහල ගැදි පැදි මුල් සිඳීමෙන් මෙට්ටැහි වුණු සිංහල සාහිත්තිය රුකෙහි එල්ලන ලද සරුවපිත්තල මල්පල විය.

මේ සරුවපිත්තල සැරසිලි සහිත අනුකාරක පණ්ඩිත සාහිත්තිය නොතකා වර්තමාන ජන සාහිත්තිය නමැති මහමැදුර ගොඩනැගීමට අප ඉත සිතින් වෑයම් කළ යුතුය. ඒ මැඳුරේ අත්තිවාරම් විය යුත්තේ ජනබස, ජන ජිවිතය, ජනකවි, ජන කතා ආදියයි.

ඒ අත්තිවාරම ඇසුරෙන් කැනෙන සාහිත්තිය මැඳුරෙහි කම්කරුවන්, ලිපිකරුවන්, ගොවියන්, මැද පන්ති ගැමි සිංහලයන්, නගර ගම් මුදලාලිලා, කුරුඳුවත්තේ කතුන් හා ඔවුන්ගේ සැමියන්, දුන්, පුතුන් යන සියලු දෙනාටම ජීවත් විය හැකිය. හැබැයි එය ලොක්කන්, පණ්ඩිතයන්, ඉංගිරිසි අනුකාරකයන්, සකු බමුණු අනුකාරකයන් තුළු කල්ලියකට ඉහළම මාලයට නැඟී කම්කරුවන්, ගොවියන්, මැද පන්තිය සිංහලයන් දෙස ගර්වයෙන් ඇස් කොනින් බලන්ට ඉඩකඩ ඇති කවුළු සහිත ඉහළම වෙසෙස් මාලයක් ඇති මැඳුරක් නොවිය යුතුය. ජන සාහිත්තිය ලංකාව මවුබිම කොටගෙන වෙසෙන සියලු දෙනාටම ඔවුනොවුන් ඇසුරු කරමින් ජීවත්විය හැකි පොදු මහා මැඳුරකි. උසස්තම සාහිත්යික රචනයන් නිපදවන්නෝ එවිට හැම දෙනාගෙන් ගරු සම්මාන ලබති. කපටිකමින්, උපායෙන්, පාලන බලය අතට ගන්නා පක්ෂය අනුව වෙස් මාරු කරමින් ඉහළ නඟින්ට වෑයම් කරන්නන් පිළිගන්නා ඉහළ මාලයක් එහි නැත.

ඇනටෝල් ප්‍රාන්ස් නමැති ප්‍රන්ස ගත්කරුවා 1921 දී නෝබල් තෑග්ගෙන් පුදනු ලැබූවෙකි. පරණ පොත් සාප්පු කාරයකුගේ පුතකු වූ ඔහුගේ සාහිත්යික නිබනස්ධ පමණක් කාණ්ඩ හතරක පොත් පෙළකි. අනික් නවකතා හා උපහාස කතා ආදිය කාණ්ඩ 25 කින් යුතු පොත් පෙළකි. ඔහුගේ සාහිත්යික නිබන්ධයන්ගේ හතර වන කාණ්ඩයෙහි දක්නා ලැබෙන කියුමක් මා මෙහි ඇදබාන්නේ එය මෙතනට උචිත යැයි හැ‍ඟෙන බැවිනි.

“පොදු ජනකාය අවඥායෙන් බැහැර කොට ඔවුන් ගෙන් වෙන්වුණු සාහිත්තිය වූකලි මුල් උදුරන ලද පැළෑටියක් වැන්න. කලාව හා කවිය අනවරතයෙන් පොදුජන හදවතින් තෙතමනය ලැබිය යුතුය. ඒවා දලුලමින්, සරු ලෙස වැඩෙන්නේ එවිටය. සාහිත්තිය හා කලාවේ තරුණ බව නමැති උල්පත පිහිටියේ පොදු ජන හදවතෙහිය. පණ්ඩිත කවි කලාව උදෙසා ජනතාවට නින්දා නොකළ යුතුය. හෝමර්ගේ ඔඩිසි නමැති මහා කවිය ජනකතා ඇසුරෙන් මවන ලද්දකි.”

දොළොස් වන සියවසෙහි විසූ අපේ පණ්ඩිතයන් විසින් සකු පඬි කවි කලාව උදෙසා ජනකතා බැහැර කරන ලදී. පොදුජන බස බැහැර කොට අමුතු සකු සිංහලයක් නිපදවීමෙන් ඔවුහු සිංහල සාහිත්තිය හා කලාව නමැති පැළෑටියේ මුදුන්මුල හැර අනික් සිහින් මුල් සිඳ දැම්මෝය. පණ්ඩිතයන් විසින් සිඳ හරින ලද සිංහල සාහිත්තිය පැළෑටියේ මුල් පොදු ජනතා හඳින් ලැබිය හැකි තෙතමනයෙන් යළිත් ලියලමින් වැඩෙන්ට සැලැස්විය යුතුය. අපේ මියගිය අතීතයට පණ දෙන්ට වෑයම් කිරීම වළෙන් ගොඩගත් මළකුණට පණ දෙනු පිණිස මන්තර ජප කිරිමක් වැන්න. 

Comments