
නිර්මාණකරුවා, තවතවත් ලඝු කොටගත හොත් ලේඛකයා කවර අන්දමේ පුද්ගලයෙක් ද?
ඔහුත් අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන් ම සාමාන්‍ය මිනිසෙකි. එසේ කියා ඒ කරුණ මායිම් නොකර සිටීමට නම් නොහැකිය. ලේඛකයා සාමාන්‍ය මිනිසකු වන්නා සේම ඔහු අසාමාන්‍ය මිනිසෙක් ද වන්නේ ය. සාමාන්‍යත්වය ඇතුළත ඔහු දකින්නේ අසාමාන්‍යත්වයකි. කෙනකු පූර්ණ යැ යි කියනා දේක ඔහු දකින්නේ නොසැලකිලිමත් බව ය. ජීවත් වීමේ කලාව ඔහු හඳුනා ගන්නේ අන් අයට වඩා වෙනස් ව ය. සාමාන්‍යත්වයෙහි අසාමාන්‍යත්වයත්, අසුන්දරත්වයෙහි සුන්දරත්වයත් ඔහුට පෙනෙන්නේ ය. ඉදින් මිනිසුන් ලෙස එක ම ස්වරූපයෙන් පෙනුණත් මොවුහු පැවැත්මෙන්, චින්තනයෙන් වෙනස් වෙති.
මනුෂ්‍යත්වයේ අපරිමිත සෞන්දර්යයෙන් සාහිත ලොව එකලු කළ මහා ලේඛකයකු වූ ලියෝ තොල්ස්තෝයි ගැන මැක්සිම් ගෝර්කි නම් මානවවාදී ලේඛකයා මෙසේ පවසා තිබේ:
“ඔහුගේ දෑත පුදුමාකාර ය. ඉදිමුණු නහරවැලින් යුතු ඒ දෑත කැත ය. එහෙත් එහි වූයේ විස්මයජනක වූ නිර්මාණාත්මක ප්‍රවාහයකි. ඇතැම් විට ලියනාඩෝ ඩාවින්චිට ද එවැනි දෑතක් තිබෙන්නට ඇත. ඔහුගේ දෑත්වලින් නොකළ හැකි කිසිවක් මිහිපිට නො වී ය. ඔහු දෙවියකු වැනි ය. .. මේපල් ලීයෙන් තැනූ සිංහාසනයක් මත, රන්වන් දෙහි ගසක් යට වාඩි වී සිටින, එක විදියකට රුසියානු දෙවියකු වැනි ය.
ඒ මැක්සිම් ගෝර්කි ලියෝ තොල්ස්තෝයි ව දකින විධිය ය. ලියෝ තල්ස්තෝයි අපූරු මිනිසකු බැව් කියන්නට යුද්ධය හා සාමය, ඇනා කැරනිනා හා පුනර්ජීවනය යන කෘති තුන වුවත් ප්‍රමාණවත් ය. ඔහුගේ ලේඛන පුළුල් පරිකල්පනයත්, ලේඛකයකු සතු විශිෂ්ටත්වයත් පෙන්නුම් කරන්නේ ය.
ලියෝ තොල්ස්තෝයි ගැන ලියන්නට සිතුණේ පරිකල්පනය ගැන ම සිත විවිධාකාර මනෝභාව ඇති වූ නිසා ය. ලේඛකයන්ට මෙන් ම එසේ නොවන සෑම දෙනාට ම ද විවිධාකාර සිතිවිලි පහළ වෙයි. ඒ සිතිවිලි ක්ෂණයෙන් ඇති වී ක්ෂණයෙන් මිය යයි. සමහරවිට එක් සිතිවිල්ලකින් සිතිවිලි පරම්පරාවක් ගොඩනැඟෙයි. කෙසේ කොතෙක් සිතිවිලි අැති වුව ද ඒ සිතිවිලි නිර්මාණකරණයට ආභරණයක් කර ගන්නේ අතළොස්සකි.
රචකයකු සිය කෘතිය ගොඩනඟන්නේ පරිකල්පනය ඉවත දා, මුළුමනින් ම සිය නිරීක්ෂණ ශක්තියෙන් යැ යි එමිල් සෝලා පවසා ඇති බවක් සිහිපත් වේ. එහෙත් සෝලා මේ කතාව පවසන කණ්ඩායමේ ම සිටි ගී ද මෝපසාන් ඒ අවස්ථාවේ ම මෙවැන්නක් කියා තිබේ:
“ප්‍රවෘත්ති පත්‍රයේ වූ වාර්තාවක් කියැවූ පමණින් ඔබගේ සිත් හි මොන තරම් අදහස් පහළ වී ද යත්: මාස ගණනක් යන තෙක් නිවෙසින් බැහැර නොගොස් විශාල නවකතාවක් ලියා අවසන් කිරීමෙන් පසු පමණක් ඒ ව්‍යායාමය නතර කළ බැව් ඔබ ම වරක් කීවා නො වේ දැ?“ යි ඇසී ය.
එතැන සංවාද කළ සියල්ලන් ම පාහේ සෝලාගෙන් අසා ඇත්තේ “ඔබ පවසන්නේ පරිකල්පනයට කිසිදු තැනක් නැති බව ද?“ යන්න ය.
පරිකල්පනය ගැන වාද විවාද පැන නැංගේ අදක ඊයෙක නො වේ. ඒ පිළිබඳ එක් උදාහරණයක් පමණකි, එය. කුමක් ද ඔබට සිතෙන්නේ...? පරිකල්පනය හා සිතීම යන චින්තනමය කාර්යයන් සහමුලින් ම දෙපසට කර ඉරක් ඇඳිය හැකි ද? මඳක් සිතා බලන්න.
නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය, පරමාණුක න්‍යාය, සාපේක්ෂතාවාදය, අයිත්මාතව්ගේ ගුල්සාරි නවකතාව, බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව... මේ සියල්ලත්, අන් නිර්මාණ සියල්ලත් පරිකල්පනයේ ප්‍රතිඵල ය.
පරිකල්පනයෙන් තොරව සිතීමට නොහැකි ය. සමහර නිර්මාණවල සත්‍යය නමැති පිටිගුළියට සීනි පැණි දමා අලංකාර රසවත් කෑමක් බවට එය පත් කරන්නේ පරිකල්පනය විසිනි. කෙසේ කොහොම නිර්මාණය කළ ද පරිකල්පනය ඒ නිමැවුමට අලංකාරයක් ම එක් කරන්නේ ම ය.
පරිකල්පනයට අපගේ ක්‍රියාකාරකම්, සිතිවිලි හා අප අවට සිටින්නන්ගේ ක්‍රියාකාරකම්, ආකල්ප ද වෙනස් කළ හැකි ය; අවබෝධ කර ගත හැකි ය. මනුෂ්‍යයාට අනාගතය සිතින් මවා ගත නොහැකි නම් ඔහු අනාගතය ගොඩනැඟීම සඳහා ඉවසිල්ලෙන් වෙහෙස නොදරනු ඇතැයි පිසාරෙව් පැවසුවේ එබැවිනි.
මේ සියලු සටහන් තැබූයේ ලේඛකයාත් සාමාන්‍ය මිනිසකු වුවත් ඒ සාමාන්‍යත්වය පරිකල්පනය විසින් අසාමාන්‍යත්වයක් බවට පත් කරන බැව් කියන්නට ය.
ඔබ නිරන්තරයෙන් ම මා කියවන බවත්, මම නිරන්තරයෙන් ම ඔබ කියවන බවත්, ඒ සඳහා බැල්මක් පමණක් වුවත් ප්‍රමාණවත් බවත් ඔබ දන්නෙහි ය. ඒ පරිකල්පනය නිසා ම නෙතග බැල්මක් කවි පදයක් වන්නටත්, ඇහෙන් රූරා නොවැටුණු දිලිසෙන කඳුළු බින්දුව නවකතාවක් වන්නටත් පුළුවන. ඒ සුන්දර දේශයේ සැරි සරන්නට සීමා මායිම් නැත.