HOLLYWOOD | Page 3 | සිළුමිණ

HOLLYWOOD

මැඩෝනාගෙන් ළමා රෝහලක්

මලාවි දේශය, දුප්පත්කමින් පීඩා විඳින ජනතාවක් වෙසෙන අප්‍රිකානු රටක්. සුපිරි පොප් ගී තරුව, මැඩෝනා මේ රටේ අසරණ දරුවන්ට දක්වන්නේ දැඩි සෙනෙහසක්. ඒ නිසයි ඇය, මලාවි දේශයේ අසරණ දරුවන් සිවු දෙනකු හදාවඩා ගනිමින් සිටින්නේ.

පසුගියදා මේ සුපිරි තාරකාව දරුවන් සිවුදෙනා ද කැටුව මලාවි දේශයට පිටත්ව ගියේ එහි ඉදිකර තිබෙන ළමා රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙන්නයි. මලාවියේ බ්ලැන්ටයර් නගරයේ ඉදිකර ඇති මේ ළමා රෝහල ඇඳවල් 50කින් සමන්විතයි. මැඩෝනා මේ රෝහල ඉදිකළේ ඇය විසින් ආරම්භ කරන ලද ‘Raising Malawi’ නම් වූ සමාජ සත්කාරක වැඩසටහන යටතේයි.

ළමා රෝහල විවෘත කළේ මලාවියේ ජනාධිපති ආතර් පීටර් මුතාරිකායි. ‘මර්සි ජේම්ස්’ ළමා රෝහල යනුවෙන් මෙම රෝහල නම්කර ඇත්තේ මැඩෝනා විසින් දරුකමට හදාගත් එක් දරුවකුගේ නම එය නිසයි. රෝහල විවෘත කිරීම නිමිත්තෙන් එම රෝහල් පරිශ්‍රය මලාවියේ ජාතික කොඩිවලින් සහ වෙනත් සැරසිලිවලින් අලංකාර කර තිබුණා. එම අවස්ථාවට මලාවි දේශයේ කලාකරුවන් රැසක් සහ සුපිරි හොලිවුඩ් නළු ලෙනාඩෝ ඩි කැප්රියෝ ද සහභාගි වී සිටියා. ඔහු ‘Raising Malawi’ වැඩ සටහනට ආධාර කළ ප්‍රධාන දායකයෙක්. මැඩෝනා මෙහිදී පැවසුවේ තමන් නිදහස වෙනුවෙන් සටන් කරන කලාකාරියක් බවයි. “ඒ වගේම මම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සටන්කාමී හදවතක් ඇති කෙනෙක්.” ඇය එලෙස පවසද්දී රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා කළා.

බීන්ගේ පස්වැනි ‘සීන්’ එක

‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්’ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ සීන් බීන්, පසුගියදා පස්වැනි වතාවටත් විවාහ ජීවිතයක් ඇරැඹුවා. මේ වන විට 58 වැනි වියෙහි සිටින සීන් ගේ මනාලිය වූයේ ඔහුගේ අලුත් පෙම්වතිය වන ඈෂ්ලි මුවර්. වැඩි සද්ද බද්ද නැති නිහඬ උත්සවයක් පවත්වා සීන් සහ ඈෂ්ලි, සිය විවාහ දිවියට මුල පිරුවා. සීන් බීන් මීට පෙර යුගදිවි ගත කළේ ඩෙබ්රා ජේම්ස්, මෙලානි හිල්, ඇබිගේල් කෘටෙන්ඩන් සහ ජෝර්ජිනා සුට්ක්ලිෆ් නමැති රූපිනියන් සමඟයි.

සීන්ගේ අත ගත් 5 වැනි මනාලියගේ වයස අවුරුදු 32 යි. සීන්ගේ පෙර විවාහවලින් ඔහුට දියණියන් තිදෙනකු සිටිනවා. එයින් දෙදෙනකු ලැබුණේ ඔහු දෙවැනි වරට විවාහ කරගත් මෙලානි හිල්ටයි. අනෙක් දියණියගේ මව තමයි, ඔහුගේ තුන්වැනි බිරිඳ වූ ඇබිගේල් කෘටෙන්ඩන්. සීන් බීන් රසිකයන් අතර ජනප්‍රිය වූයේ ‘ලෝඩ් ඔෆ් ද රින්’, ‘ගෝල්ඩන් අයි’, සහ ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ යන චිත්‍රපටවල රඟපෑමෙන්.

මිලේගේ පෙම්වතාට ආතතිය

‘මම කිසිම වටිනාකමක් නැති ගැහැනියක්. මම ඉක්මනින්ම මියයාවි’ මේ, සිතුවිල්ලක්. මිලේ සයිරස් නම්වූ ලෝක ප්‍රකට සුපිරි ගායිකාව තමයි, මෙලෙස අසුබවාදී සිතුවිලිවලින් සිත පුරවාගෙන සිටින්නේ.

කෙතරම් ඉසුරුමත් ජීවිතයක් ගත කළත් ඇය අද ගත කරන්නේ කිසියම් පීඩාකාරී මනසකින් යුතුව බවයි හොලිවුඩ්පුරයෙන් ලැබෙන අලුත්ම ආරංචි අනුව වැටහෙන්නේ. මිලේගේ පෙම්වතා ලියම් හෙම්ස්වර්ත් මේ දෙදෙනා පසුගිය 4 දා විවාහ වීමටයි බලාපොරොත්තුව සිටියේ. නමුත්, ඒ විවාහ මංගල්‍යය අවලංගු කළ බවයි හොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කළේ. එම මාධ්‍ය තොරතුරුවලට අනුව මේ වන විට ලියම් හොම්ස්වර්ත් සිටින්නේ කිසිදු නිශ්චිත තීරණයකට එළැඹීමට නොහැකි වාතාවරණයකලු. ඔහු ආතතියකට පත්වී ඇතැයි ද පැවසෙනවා. මීට කලින් මිලේගේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකලු, තිබුණේ. ඇය විවාහය ගැන සිහින දකිමින් සිටියාලු. “ලියම් - මිලේ දෙන්නාම මේ තීරණයට එන්න කලින් හිටියේ සතුටෙන්. ඒත් දෙන්නාගේ එක්තැන් වීම සිහිනයක් වෙලා.” මේ දෙදෙනාගේම හිතවතුන් එලෙස පැවසුවා. මෑතකදී මිලේගේ මව පවසා තිබුණේ ඉක්මනින්ම විවාහ වීමේ අදහසක් මිලේගේ සිත තුළ නොතිබුණු බවයි.

අලුත් ගීතයට පැරැණි සැමියා

ජෙනිෆර් ලෝපෙස් සහ මාක් ඇන්තනිගේ විවාහ දිවිය සාර්ථක වුණේ නැති බව කවුරුත් දන්නා කරුණක්. වෙන්වී සිටි මේ දෙදෙනා පසුගියදාක යළි එක්වුණා. හැබැයි, එලෙස එක්වුණේ යළි එක වහළක් යටට යන්න නම් නොවෙයි. ජෙනිෆර්ගේ අලුත්ම ගීතයක වීඩියෝ රූගත කිරීමකටයි.

ජෙනිෆර් ගැයූ අලුත්ම ගීතය, ‘Ni Tu Ni Yo’ (ඔබත් නොවෙයි මමත් නොවෙයි) මෙහි වීඩියෝ දර්ශනවල ජෙනිෆර් සමඟ මාක් පෙනී සිටිනවා. එම ගීතය ඇරැඹෙන්නේ ජෙනිෆර් මේසයක් අසල වාඩිවී සිටින දර්ශනයකින්. ඇය පිළිගන්නට එයට සමීප වන්නේ මාක්. ඔහු ජෙනිෆර් සමඟ විවාහ දිවිය ගත කළ සමයේ ඇයට ගීත රචනා කළා. ඇය ගැයූ ‘Ni Tu Yo’ ගීතය එළිදැක්වුණේ පසුගිය 04 දා නිව්යෝක් නුවර දී පැවැති ගිනිකෙළි සංදර්ශනයකදී. ජෙනිෆර් ‘Ni Tu Yo’ ගීතයට කලින්, ගීත ඇල්බමයක් නිකුත් කළේ 2014 දීයි. ‘A. K. A.’ නම් වූ එය වාණිජමය අතින් අසාර්ථක වුණා. 

 

Comments