BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 ඉලීනාට අයුතු යෝජනාවක්?

ඉලීනා ඩී කෲස් දකුණු ඉන්දීය සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට එක්වූ , මෑතකදී රඟපෑවේ ‘මුබාරකන්’ නම් චිත්‍රපටයේ එහි ප්‍රධාන චරිත නිරූපණයට ඇය සමඟ දායක වූයේ අර්ජුන් කපූර් සහ අනිල් කපූර්.

මේ සුරූපී නිළිය පසුගියදා මාධ්‍යවේදියකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී බොලිවුඩ්පුරයේ සැඟවුණු වගතුග කිහිපයක් හෙළි කළා. වරින් වර මතු වෙමින් යළි යටපත් වෙමින් පවතින මේ සිදුවීම් පෙළ ඉලීනා වුණත් හෙළි කළේ කිසිදු අයකුගේ වතගොත හෙළි කිරීමෙන් තොරවයි. ඇය පැවසුවේ බොලිවුඩ් සිනමාවට පිවිසෙන බොහෝ නවක නිළියන් මුහුණ දෙන අවාසනාවන්ත දෙයක්. ඒ තමයි, චිත්‍රපටයක චරිතයක් ලබා ගැනීමට ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ මනදොළ සංසිඳුවීමට සිදුවීම. මෙය ප්‍රසිද්ධ රහසක්. ඒත් බොහෝ දෙනකු ඒ ගැන විවෘතව කතා කරන්නේ නැහැ. නමුත්, ඉලීනාට මේ රහස යළි හෙළි කරන්න සිදු වුණේ ‘මුබාරකන්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලන්ඩන් නුවර දී රූගත කරද්දී ඇය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් කිහිපයක් නිසයි. නම් ගම් හෙළි නොකළත් ඇය වක්‍රව ප්‍රකාශ කළේ නළුවන් දෙතුන් දෙනකු පිළිබඳව යම් ඉඟියක් දෙමින්. එවැනි පුද්ගලයන් සමඟ මින් මතුවට චිත්‍රපටවල රඟපාන්නේ නැතැයි ඇය අවධාරණයෙන් කියා සිටියා.

“බොලිවුඩ් චිත්‍රපට ලෝකයේ සිටින නළුවන් කිහිප දෙනෙක් එක්ක මම කීයටවත් රඟපාන්නෙ නැහැ. කතාව තිර රචනය, කොච්චර හොඳ වුණත් ඒ අය රඟපානවානම් මම බැහැයි කියනවා. ලන්ඩන්වලදී මම අත්වින්ද අමිහිරි දෙයකින් පස්සෙ එහෙම හිතාගත්තා. එදා මම හොඳටම ඇඬුවා.” ඉලීනා කෝපයත්, ශෝකයත් මුසු වූ මුහුණින් යුතුව එලෙස පැවසුවා.

සෝනම්ට මංගල සීනු

කපූර් පෙළපත් නාමය සහිත පවුලක සුපිරි විවාහ මංගල උත්සවයක් ළඟදීම පැවැත්වීමට නියමිතයි. මේ ආරංචිය ඇසෙන්නේ අනිල් කපූර් නම් වූ ප්‍රවීණ නළුවාගේ නිවස පැත්තෙන්. ඒ නිවසේ ළඟදීම විවාහ දිවියට එළඹෙන්නේ කවුරුන් ද? ඔව්. ඔබ හිතුවා හරි. අනිල්ගේ වැඩිමල් දියණිය, ජනප්‍රිය නිළි සෝනම් කපූර් තමයි ළඟදීම මනාලියක වන්නේ.

ඇය කැන්දාගෙන යන්නේ දිල්ලි නුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ආනන්ද් අහුජායි. සෝනම් සහ ආනන්ද්ගේ ඇසුර ඇරැඹුණේ මෑතකදී.

ඔවුන් “දෙදෙනා එකිනෙකාව හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා කල් නොහැර ඉක්මනින්ම විවාහය සිදු විය යුතු බවයි අනිල් පවසන්නේ. “තාත්තා උනන්දු වෙන්නෙ දුවගේ විවාහය ඉක්මන් කරන්නයි... නමුත් සෝනම්ගෙ යාළුවො කියන්නෙ විවාහය ඉක්මන් වුණොත්... එයාගෙ වෘත්තීය ජීවිතයට ඒක අයහපත් ව බලපාවි කියලයි. ඒ වුණත් සෝනම්නම් ඒ අදහස ඒ තරම් ගණන් ගන්නෙ නැහැ. මේ දවස්වල තියෙන කාර්යබහුල බව මඟ හැරුණාම දෙන්නාගෙ විවාහය සිදු වේවි.” මෙලෙස කීවේ කපූර් පවුලේ හිතවතෙක්. අනාගත බෑණා ගැන අනිල් තුළ ඇත්තේ දැඩි විශ්වාසයක්ලු. අනිල් විතරක් නොවෙයි, මුළු පවුලේම ආදරය සහ විශ්වාසය දිනාගන්නට ආනන්ද් මේ වන විට සමත් වී සිටින බවයි බොහෝ දෙනා පවසන්නේ.

පරිනීතිගේ ආන්දෝලනාත්මක ඡායාරූපය

“ඇත්තටම පරිනීතිට කුඩයක් ඉහළගෙන ඉන්නවත් බැරි ද? තවත් කෙනකුට කියල කුඩේ ඉහළව ගන්නෙ ඇයි?” පසුගිය දිනවල ඉන්ස්ටග්‍රෑම් පිටුවක පළවූ ඡායාරූපයක් නිසා බොහෝ දෙනා මේ අයුරින් ප්‍රශ්න නඟන්න පටන්ගත්තා. එන පොට හොඳ නැති බව වැටහුණු ඒ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ අයිතිකාරිය, වහාම ඒ ඡායාරූපය ඉවත් කර දැමුවා. අයිතිකාරිය වෙන කවුරුන්වත් නොවෙයි. බොලිවුඩ් තිරයේ ජනප්‍රිය නිළි, පරිනීති චොප්රායි.

ඇය පසුගියදා චිත්‍රපට රූගත කිරීමකට ඩුබායි බලා පිටත්ව ගියා. චිත්‍රපටයේ වැඩ කටයුතුවල යෙදී සිටි එක් අවස්ථාවක ඇය රැඳී සිටියේ මුහුදු වෙරළක.

අව් රැල්ලක් පතිතව තිබුණු ඒ මොහොතේ ඇයට කුඩයක් ඉහළා සෙවණ සැලසුවේ ඇගේ සහ­ායකයෙක්. ඔහු කුඩය එක් අතකින් ඉහළාගෙන සිටිද්දී ඔහුගේ උරහිසක එල්ලෙමින් තිබුණේ බෑග් තුනක්. එකක් අත් බෑගයක්. පරිනීති, තමන් ඩුබායි ගිය බව හැඟවීමට, සහායකයා තමන්ට කුඩය ඉහළාගෙන සිටින අයුරු ඡායාරූපයකට ගෙන එය ඉන්ස්ටග්‍රෑම් පිටුවට ඇතුළත් කළා. පුංචි සතුටකින්. ඒ ඡායාරූපය ඇතුළත් කළත්, ඇයට සතුටු වෙන්න ඉඩ ලැබුණේ කෙටි වේලාවක් පමණයි. ඡායාරූප දුටු සමහරු කීවේ සහායකයා උරහිසේ එල්ලාගෙන සිටින අත්බෑගය පරිනීතිගේ බවයි.

ඉන්ස්ටග්‍රෑම් පිටුව දුටු රසික පිරිස් ඊට ප්‍රතිචාර දක්වමින් පණිවුඩ එවා තිබුණා. ‘තමන්ම කුඩයක් ඉහළගෙන හිටියයි කියල තමන්ගෙ නිළිකමට හානියක් වෙනව ද?’ එක් රසිකයකු එලෙස අසා තිබුණා. මේ තවත් රසිකයකු දැක්වූ ප්‍රතිචාරයක්... ‘පරිනීති, කවුද ඔයාගෙ අර සහාය නළුවා? අර, ඔයාට කුඩයක් ඉහළගෙන ඉන්නෙ? එයා හරිම ස්වීට්!’ හාස්‍යය මුසු වූ මෙවැනි වදන් සහ ප්‍රශ්න වැලක්ම පරිනීතිගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට ලැබුණා. ඒ නිසා ඇය ඉක්මණින්ම ඒ ඡායාරූපය ඉවත් කළා. 

Comments