ළමා නාට්‍ය නිර්මා­ණය කරන පාසල් ගුරු­ව­රයා | Page 3 | සිළුමිණ

ළමා නාට්‍ය නිර්මා­ණය කරන පාසල් ගුරු­ව­රයා

වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන ඔහු අපූර්ව නිර්මාණකරුවෙකි. තම නිර්මාණකරණය සඳහා ඔහු තෝරාගත්තේ වේදිකාවය. වේදිකාව තුළත් ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේ ළමා නාට්‍ය නිර්මාණය කිරීමටය. ඒ; ඔහු පාසල් දරුවනට උගන්වමින් ඔවුන් නිතර ඇසුරු කරන නිසා වන්නට පිළිවන. කෙසේ වුවද මේ වන විට ඔහු ජාතික මට්ටමේ ළමා නාට්‍ය නිර්මාණකරුවකු බවට පත්වී හමාරය. ඔහු, උපාලි ටෙනිසන් රුවන්පුරය. උපාලි ටෙනිසන් තම නිර්මාණ දිවිය පිළිබඳවත් පෞද්ගලික දිවිය පිළිබඳවත් රසඳුන වෙත තම අදහස් පළ කෙළේ මෙසේ ය.

“මගේ උපන් ගම පිළියන්දල. මූලික අධ්‍යාපනය ලැබුවේ බෝකුන්දර කනිෂ්ට විද්‍යාලයේ සහ මධ්‍ය විද්‍යාලයේ. උසස් අධ්‍යාපනය ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. පාසල් යන කාලේ විවිධ ප්‍රසංගවලදී වේදිකා නාට්‍යවල පුංචි පුංචි චරිත රඟපෑවා. උසස් පෙළ කරන විට පාසලේ තිබුණා නාට්‍ය තරගාවලියක්. එය තිබුණේ පන්ති මට්ටමින්. එහිදී මම මගේ යාළුවන් සමඟ එකතු වී වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. මගේ ඒ නිර්මාණයට විශේෂ ස්ථානයක් ලැබුණේ නෑ. නමුත් මා තුළ රඟපෑමට කිසියම් හැකියාවක් තිබෙන බවත් ඔවුන් පෙන්වා දුන්නා. අධ්‍යාපන කටයුතු කරන ගමන් රඟපෑමට යොමු වෙන්න කියලා ගුරුවරු මාව දිරිමත් කළා.

පාසල් යන අවධියේම සුදර්ශි ආයතනයේ ආචාර්ය සොලමන් ෆොන්සේකා මහත්මා පැවැත්වූ වේදිකා නාට්‍ය වැඩමුළුවකට මම සහභාගි වුණා. උසස් පෙළ විභාගයට සූදානම් වන විට එම පාඨමාලාවෙන් ඉවත් වුණා, කාලය මදකම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටියාට පසුව ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙලා නාට්‍යකරණය පිළිබඳව හැදෑරුවා. එහිදී හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා වැනි ප්‍රවීණයන්ගේ ඇසුර ලැබුණා. ඔවුන්ගෙන් නාට්‍ය කලාව පිළිබඳව ඉගෙනීමේ අවස්ථාව ලැබුණා. 2009 අවුරුද්දේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ නැරැඹීමේ අවස්ථාව මට උදා වුණා. ඉන්පසුව මම තීරණය කළා ළමා නාට්‍ය නිර්මාණකරුවකු වෙන්න. මගේ පළමු නාට්‍ය පිටපත තරගයට තෝරාගත්තෙත් නෑ. 2010 දී ‘අපි ඒ තරම් බය නෑ’ නාට්‍ය නිර්මාණය කරලා පාසල් දරුවන් සහභාගි කරගෙන ඉදිරිපත් කළා. රාජ්‍ය නාට්‍ය උලෙළේදී ඒ නාට්‍ය අවසන් වටයට තේරුණා. එහිදී කුසලතා සම්මාන දෙකකුත් හිමි වුණා.

විශ්ව විද්‍යාල ජීවිතය අවසන් වුණාට පසුව ගුරුවරයෙක් ලෙස මගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළා. ඉන්පසුව මට හිතුණා මගේ පාසලේ දරුවන් යොදාගෙන ළමා නාට්‍ය නිර්මාණය කරන්න. පාසලේ මම වාණිජ විෂයයන් ඉගැන්වුවත් ඉඩ ලැබෙන අවස්ථාවලදී වේදිකා නාට්‍ය නිර්මාණය කළා. ඒ සඳහා පාසලේ සියලුම දරුවන් සහභාගි වුණා. 2011 අවුරුද්දේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ සඳහා ‘මමත් පුංචි වීරයෙක්’ නාට්‍ය නිර්මාණය කළා. එහිදී මගේ නාට්‍ය තේරුණා අවසන් වටයට තේරුණු අතර කුසලතා සම්මාන දෙකකුත් ලැබුණා. 2012 දී ‘සඳු ඔයා ළමයෙක්’ ළමා වේදිකා නාට්‍ය නිර්මාණය කළා. ඒ සඳහා හොඳම පිටපත් රචනයට හිමි සම්මානයත් රංගන කුසලතාවය සඳහා සම්මානයකුත් හිමි වුණා. 2013 අවුරුද්දේ කළේ ‘සෙල්ලම් බඩු හොරා’ නාට්‍ය. ඒ සඳහාත් කුසලතා සම්මාන දෙකක් හිමි වුණා. 2014 දී මම රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට ඉදිරිපත් කළේ ‘මගේ රට හදන ළමයා’ නාට්‍ය. මේ නාට්‍ය ආන්දෝලනාත්මක නාට්‍යයක් වුණා. 2016 දී නිර්මාණය කළ ‘හුළං කුරුල්ලා’ ළමා නාට්‍ය සඳහා රාජ්‍ය නාට්‍ය උලෙළේ තුන්වැනි ස්ථානය හිමි වුණා. මේ අවුරුද්දෙත් ළමා නාට්‍ය උලෙළට නාට්‍යයක් ඉදිරිපත් කරනවා. සාම්ප්‍රදායික ළමා නාට්‍ය අබිබවා යන ආකාරයෙන් නාට්‍යයක් නිර්මාණය කිරීමයි මගේ අරමුණ.

“වර්තමානයේදී ළමා නාට්‍ය නිර්මාණය කරන විට ඉබ්බා හාවා වැනි සත්තු යොදාගෙන නාට්‍ය නිර්මාණය කිරීම එතරම් අර්ථවත් නොවන බවයි මගේ හැඟීම. වර්තමාන ළමයා අතීතයේ සිටි ළමයාට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. තාක්ෂණයත් සමඟ ළමයා බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා. ළමයින් සමඟ නිතර ගැටෙන පාසල් ගුරුවරයෙක් හැටියට මට මේ බව හොඳින් තේරෙනවා. ඒ නිසා ළමයින් වෙනුවෙන් කරන නිර්මාණ බොහෝ කල්පනාවෙන් කළ යුතු බවයි මගේ හැඟීම.”

“වාණිජ විෂයයන් ඉගැන්නුවත් පාසලේ දරුවන්ට පාසල් වේලාවෙන් පසුව නාට්‍ය වැඩමුළු තියලා නාට්‍ය කලාව උගන්වනවා. බොහෝ දෙමවුපියන් මේ වැඩමුළුවලට තමන්ගේ දරුවන් එවන්නේ බොහොම කැමැත්තෙන්. ශාලා පහසුකම් පාසලෙන් මට ලැබෙනවා. අවුරුදු හයක් හතක් තිස්සේ මගේ පාසලේ දරුවන්ට මම නාට්‍ය කලාව උගන්වනවා. මගෙන් නාට්‍ය කලාව ඉගෙනගත් දරුවන් අද ජාතික මට්ටමේ රංගන ශිල්පීන් වෙලා ඉන්නවා. එයින් මම අසීමිත සතුටක් ලබනවා.”

“පන්ති කාමරය තුළ මම ඉගෙනීම් කටයුතු කරන්නේත් නාට්‍යානුසාරයෙන්. ඒ නිසා දරුවන් ගොඩක් දෙනෙක් මගේ ඉගැන්නීමේ ක්‍රමයට ඇලුම් කරනවා. මගේ කලා ජීවිතය පිළිබඳව මම ඉතාම තෘප්තිමත්. අනාගතයේදී ළමා තේමාවකින් බැහැරව ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමේ ආශාව මට තියෙනවා. 

 

Comments