
මානව සබඳතා ගිලිහුණු සමාජයට පාඩමක් වූ දෙහදක සෙනෙහස The Big sick
මානව සබඳතා දිනෙන් දින ගිලිහී යන ජාතිවාදය, ආගම්වාදය හිස ඔසවන සමාජයකට දෙහදක සෙනෙහස හාස්‍යත් සමඟ ගෙන එන පාඩම, ‘ද බිග් සික්’ ය. (The Big sick) මේ ඇමෙරිකානු සිනමා සිත්තම එහි තිර රචකයකු සහ ප්‍රධාන නළුවා වන කුමෙයිල් නන්ජියානිගේම ජීවිත කතාව ඇසුරුකර ගෙන නිර්මාණය කර තිබීම නිසා ප්‍රේක්ෂක හදවත් හොඳින් ම ස්පර්ශ කිරීමට සමත්වී තිබේ.
ජූලි 14 වැනිදා සිට තිරගත වන සිනමා පටය මේ වනවිට ඉහළ ම ප්‍රේක්ෂක, විචාරක ප්‍රසාදය දිනා අවසන්ය. අමෙරිකාවේ සවුත් බයි සවුත්වෙස්ට් සම්මාන උලෙළේදී රසි සම්මානය හිමි වූයේ ‘ද බිග් සික්’ සිනමා පටයටයි. ‘වෝ ෆෝද ප්ලැනට් ඔෆ් ද ඒජස්’ සිනමාපටයට මනා තරගයක් දෙමින් ලොව පුරා ‘ද බිග් සික්’ තිරගත වෙමින් පවතී. අයිඑම්ඩීබී ශ්‍රේණිගත කිරීම්වලට අනුව දහයෙන් 8.1 කද, රොටින් ටුමැටෝස් 97%ක ද, කොමන් සෙන්ස් මීඩියා පහෙන් හතරක ද මනාපය සිනමා පටයට ලැබී ඇත.
ජාතීන් අතර තිබෙන පරස්පරතාවන් වෙන්විමට නොව එක්වීමට යොදා ගත හැකි අන්දම කුමෙයිල් නන්ජියානි සිනමාපටය පුරාම ගෙනහැර පායි. තම සැබෑ ජීවිතයේ නමින් ම කුමෙයිල් සිනමා පටයේ පෙනී සිටින අතර එහි ඔහුගේ පෙම්වතිය වන ‘එමිලි’ ගේ නම සැබෑ දිවියේ බිරියගේ නමය. මෙහි එමිලිට රඟන‍්නේ සූ කසන්ය.
කුමෙයිල් අමෙරිකාවේ චිකාගෝවල ජීවත් වන ප්‍රහසන ශිල්පියකි. ඔහුගේ මාපියන් පකිස්තානු මුස්ලම් සංස්කෘතියකට හිමිකම් කියන්නන්ය. මාපියන් උත්සාහ දරන්නේ යෝජිත විවාහයකින් තම සංස්කෘතියකට ගැළපෙන සහකාරියක් පුතුට පාවා දීමටයි. යෝජිත විවාහයකින් පුතු විවාහ වනු දැකීම ඔවුන්ගේ එකම අරමුණයි. දිනක් සන්දර්ශනයකදී කුමෙයිල්ට ප්‍රේක්ෂකයන් අතර සිට එමිලි නම් තරුණියක් මුණ ගැසෙයි. කුමෙයිල් හා එම්ලි පෙම්වතුන් බවට පත්වෙන අතර මවුපියන්ට තම සබඳතාව කිව නොහැකිව කුමෙයිල් අසරණවේ. තමන් පවුලෙන් නෙරපා හැරීමට ඊට වැඩි තවත් අනවශ්‍ය බව ඔහු හොඳින් ම දනී. ඔහු නවීඩ් සොයුරාට ඒ ගැන පැවසූ විට වහාම සම්බන්ධය නවත්වන ලෙස පැවසුවත් ඇයට දිගටම ආදරය කරන්නේය.
එමිලිට කුමෙයිල්ගේ කාමරයේ තිබී මාපියන් විසින් යෝජනා කළ තරුණියන්ගේ ඡායාරූප හා තොරතුරු හමුවන අතර එය දෙදෙනා දුරස් කිරීමට හේතුවේ.
හදිසියේ එමිලි රෝගීවී රෝහල්ගත කෙරෙන අතර කුමෙයිල් ඇයගේ සුව දුක් බැලීමට පැමිණෙයි.
බරපතළ පෙණහලු ආසාදනයකට ගොදුරුවී කෝමා තත්ත්වයට පත්වී සිටින ඇය බැලීමට බෙත් සහ ටෙරී නම් වන එමිලිගේ මාපියන් පැමිණෙති. මුලින් බෙත් කුමෙයිල්ට අකැමැති වුවද පසුව ඔහු දෙදෙනාගේ ම සිත දිනා ගැනීමට සමත් වේ. මේ අතර එක දිගට ම විවාහ යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්වෙන මාපියන් (අස්මත් සහ ෂර්මීන්) පුතු සොයා පැමිණෙති.
කුමෙයිල් ඔවුනට යෝජිත විවාහයට අකැමැති බවත් එමිලි සමඟ ඇති සබඳතාවක් පවතින බවත් හෙළිකරයි. මාපියන් කුමෙයිල් හැර යන්නේ දරුකමින් ඔහුව ඉවත් කරමිනි.
එමිලි කෝමා තත්ත්වයෙන් මිදී සිහිය ලබන අතර කුමෙයිල් ඇයගේ හද නැවත දිනා ගැනීමට වෙහෙසෙයි. එහෙත් එමිලි ඔහුගේ සෙනෙහස එක්වරම පිළිගන්නවාද? දෛවය යළි ඔවුන් එක් කරන්නේ කෙසේද? මෙය දැන ගැනීම ‘ද බිග් සික්’ රසිකයකු විය යුතුය.
‘කුමෙයිල් ලෙස රඟන කුමෙයිල් නන්ජියානි පකිස්තානු අමෙරිකානු නළුවෙකි. ලේඛකයෙකි. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ‘සිලිකන් වැලි’ අමෙරිකානු ප්‍රහසන ටෙලි නාට්‍ය මාලාවේ දිනේෂ් චුග්තායි ලෙස කළ රංගනය නිසයි. ඔහුගේ රංගනය එමී සම්මාන සඳහා ද නිර්දේශ විය. එමී සම්මාන දිනාගත් ‘ඇඩ්වෙන්චර් ටයිම්’ සජීවීකරණ රූපවාහිනී නාට්‍ය මාලාවේ ප්‍රිස්මෝට හඬ කවන්නේද ඔහුය.
පකිස්ථානයේ කරච්චියේ සියා මුස්ලිම් පවුලක උපන් ඔහු වයස අවුරුදු 18 දී අමෙරිකාවට පැමිණ උසස් අධ්‍යාපනය ලැබූ පසු කිසිදු ආගමක් නොඅදහන පුද්ගලයකු බවට පත්විය. පරිගණක විද්‍යාව හා දර්ශනය පිළිබඳ උපාධිධාරියකු වූ ඔහු විවාහ වූයේ අමෙරිකානු කතුවරියක, ප්‍රහසන නිෂ්පාදිකාවක වූ එමිලි වී. ගෝඩ්න් සමඟයි. ‘ද බිග් සික්’, කුමෙයිල් හා එමීගේ කතාව ඇසුරින් දෙදෙනා විසින් ම රචනා කරන ලද තිර රචනයෙන් නිර්මාණය වූවකි. තිර රචනයෙන් පමණක් නොව රංගනයෙන් ද, සුළු වශයෙන් හෝ දායකවීමට අමතක නොකළාය. අවසන් දර්ශනයේ සීජේ සහ මේරි අසලින් සිටගෙන සිටින්නේ සැබෑ එමිලිය.
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වු හැටදෙහැවිරිදි අනුපම් කේර් මෙහි රඟන්නේ කුමෙයිල්ගේ පියාගේ චරිතයයි. ඔහු උසස් හොලිවුඩ් සිනමාපට ගණනාවකම රඟපා අත්දැකීම් ඇති නළුවෙකි. බෙත් ලෙස රඟන හෝලි හන්ටර් ඔස්කාර්, බැෆ්ටා, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පුද ලද අමෙරිකාන් නිළියකි. විකට නළුවකු වන රේ රොමානෝ ‘ටෙරී’ ට පණ පොවන අතර ඔහු ද එමී සම්මානයට පාත්‍ර වූ නළුවෙකි. අයිස් ඒජ් සිනමාපට මාලාවේ ‘මැනී’ ට හඬ කැවූයේ ඔහුය.
කුමෙයිල් ගේ පෙම්වතිය එමිලි ලෙස රඟන්නේ තිස්තුන් හැවිරිදි සූ කසන් ය. ඇය ජනප්‍රිය නිළියක සේම තිර පිටපත් රචිකාවකද වන්නීය. ඇය එමී සම්මාන සඳහා නිර්දේශ වූ තාරකාවකි. සිනෝබියා ෂෙරෝෆ්, අදීල් අක්තර්, බෝ බර්න්හම්, රෙබෙකා නයෝමි ජෝන්ස්, එයඩ් බ්‍රයන්ට්, කර්ට් බ්‍රෝනෝලර් සිනමාපටයේ ප්‍රධාන චරිත රඟන සෙසු නළු නිළියන්ය. මෙහි සංගීතය මයිකල් ඇන්ඩෲස්ගෙනි.
අධ්‍යක්ෂ මයිකල් ෂෝවෝල්ටර් අමෙරිකානු විකට නළුවෙකි. ඔහු අධ්‍යක්ෂවරයකුට අමතරව ලේඛකයකු හා නිෂ්පාදකයකු ද වේ.
සිනමා පටයේ පූර්ව මංගල දර්ශනය සන්ඩාන්ස් සිනමාපට උලෙළේදී තිරගත කෙරුණු අතර එය ඉහළ ම සුබවාදී ප්‍රතිචාර ලැබිණි. සන්ඩාන්ස් සිනමා උලෙළ අමෙරිකාවේ විශාලතම ස්වාධීන සිනමා උලෙළයි. සිනමාපටය බෙදාහැරීම ඇමේසන් ස්ටුඩියෝ භාර ගත්තේ ඩොලර් මිලියන 12 කටය. එය සන්ඩාන්ස් ඉතිහාසයේ විශාලතම මුදල් ගනුදෙනුවකි.
සිනමාපටය සත්‍ය කතාවක් නිසා ඒ හා බැඳුණු රසවත් පුවත් රාශියකි. කුමෙයිල් ඉපදුණේ පකිස්ථානයේ කරච්චි නුවරයි. එමිලි අමෙරිකාවේ උතුරු කැරොලිනාවේය. දෙදෙනා චිකාගෝවේදී මුණ ගැසී ඇත්තේ වසර 2006 දීයි. පෙණහලු ආසාදනයවී කෝමා තත්ත්වයට පත්වීම ඇතුළු සියලු කරුණු සැබෑ ජීවිතයේදී එමිලි - කුමෙයිල් අත්දුටහ. 2007 වසරේදී විවාහ වූ දෙදෙනා මේ වසරේදී සමරන්නේ දසවැනි සංවත්සරයයි. ‘ද බිග්සික්’ ඔවුන්ගෙන් රසිකයන්ට පිරි නැමුණු මංගල සංවත්සර තිළිණයයි.