
දිනේෂා විජේසූරිය
අද රසඳුනේ අපේ කතාබහ වෙන්වෙන්නේ විදෙස් රටක ගුවන් විදුලියෙන් හෙළ සිනමාවේ අතීතාවර්ජනය අප වෙත ගෙන එන ප්‍රවීණ නිවේදිකා දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය සමඟය.
ඕස්ට්‍රේලියාවේ SBS ගුවන් විදුලියෙන් ශ්‍රී ලංකේය සිනමාවේ වංශකතාව ගෙන එන ඇය ලක්හඬ ගුවන් විදුලියේ ආරම්භක නිවේදිකාවකි. ‘මියුරු පෙම් මදිරා’, ‘ටෙලි සිනමා වේදිකාව’ වැනි වැඩසටහන් තුළින් කලක් අප හමුවට ආ ඇය 2007 වසරේදී ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා ගියාය. අනතුරුව 2013 වසරේදී ඕස්ට්‍රේලියාවේ SBS ආයතනය හා සම්බන්ධ වූ දිල්රුක්ෂි වර්තමානයේ SBS ආයතනයේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. මවුබසින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරමින් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ලාංකිකයන්ගේ රසවින්දනය වෙනුවෙන් ඇය ඉටුකරන්නේ අමිල මෙහෙවරකි. සෑම සිකුරාදාවකම සිංහල ‘සිනමා වංශ කතාව” විශේෂාංගය ශ්‍රාවකයන් වෙත ගෙන එන්නේද ඇයයි.
ඔබ සිනමාවට විශේෂ කැමැත්තක් දක්වනවා වගෙයි?
සිනමාවට මා වැඩි කැමැත්තක් දක්වන්නෙ මම ලක්හඬ ගුවන් විදුලියේ සේවය කරන කාලයේ සිටයි. විශේෂයෙන් ම මම එහි වැඩ කළ කාලය ඇතුළත සිනමා වැඩසටහන් කිහිපයක් ම කළා. මියුරු පෙම් මදිරා වැඩසටහනෙන් පනහ හැට හැත්තෑව දශකවල තිරගත වුණ චිත්‍රපටවල ගීත විකාශය වුණා. ඒ වගේම ලංකාවේ විශේෂිත පුද්ගලයන්, කලාකරුවන් අභාවයට පත්වුණ අවස්ථාවලදී, ඔවුන්ගේ සුවිශේෂ අවස්ථාවලදී විශේෂ වැඩසටහන් මම ඉදිරිපත් කළා.
මෙන්න මේ වගේ අවස්ථාවලදි චිත්‍රපටවල පසුබිම, ඉතිහාසය සොයාගෙන යෑමේ ආශාවක් මට ඇති වෙනවා. ඒ අනුව මම විවිධ පොත්පත් මඟින්, පත්තර වලින් සිනමාව ගැන කරුණු හොයන්න උනන්දු වනවා. මේ සඳහා ඇතැම් වෙලාවට මම ප්‍රවීණයන්ගෙන් තොරතුරු සොයන්නට උත්සාහ දරනවා. නුවන් අයියව දැන හඳුනාගන්නට ලැබෙන්නෙත් ඒ කාලයේදී. ඔහු ළඟ හෙළ සිනමාව ගැන තිබුණු විශාල දැනුම් සම්භාරය මගේ උනන්දුව දිගින් දිගටම වැඩි කළා.
2007 වසරෙදි ලක්හඬට සමුදීලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියත් මේ දේවල් මගේ හිතේ තැන්පත්වෙලා තිබුණා.
ඉන්පසුව ඔබ 2013 දී SBS ආයතනයට සම්බන්ධ වෙනවා?
ඕස්ට්‍රේලියාවේ හිඳ මාධ්‍යයට සම්බන්ධ අධ්‍යයන කටයුතු හදාරන අතරතුර මට දැනගන්න ලැබෙනවා එහි රජයට සම්බන්ධ SBS (Special Broad Casting Service) ආයතනය ගැන. 1940 දී පමණ ආරම්භ කර තිබෙන මෙම ආයතනයෙන් අද වන විට භාෂා 74 කින් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විවිධ භාෂා කතා කරන අයගේ ප්‍රමාණය අනුව ගුවන් විදුලි වැඩසටහන් වෙන්වෙනවා. මේ අනුව සිංහල වැඩසටහන් අංශයේ ප්‍රධානියා විදියට මම SBS ආයතනයත් එක්ක සම්බන්ධ වන්නේ 2013 වසරේදී.
මොකක්ද මේ සිංහල සිනමා වංශය?
ඕස්ට්‍රේලියාවේ ජාතික සිංහල ගුවන් විදුලි නාළිකාව තමයි SBS. එහිදී සතියට දින හතරක් සිංහලෙන් වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ ගුවන් කාලයෙන් දැනට වසර හතරක් තිස්සේ සිංහල සිනමා වංශය ශ්‍රාවකයන් වෙත ගෙන එන්නේ සිකුරාදා වැඩසටහනෙන්. නිහඬ සිනමාවේ සිට මේ දක්වා තිරගත වුණු චිත්‍රපටයේ මුල් ගීතයත් සමඟින් මේ වැඩසටහන තුළින් අසන්නට ශ්‍රාවක ජනතාව හැකියාව ලැබෙනවා. අවුරුදු හතරක් පුරා සිංහල සිනමා වංශයෙන් අපි ඉදිරිපත් කළ චිත්‍රපට සියල්ල මේ දක්වා පිළිවෙළට සංරක්ෂණය කොට තිබීමත් මෙහි විශේෂත්වයක්. විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි දේශීය චිත්‍රපට විද්්‍යුත් මාධ්‍යයෙන් ස්ථිර වශයෙන් ලංකාවෙවත් තවම සංරක්ෂණය වෙලා නැහැ. අපේ සිනමා නිර්මාණ විද්යුත් සිනමා වංශ කතාවක් විදියට බටහිර රටක සංරක්ෂණය කිරීමට ලැබීම භාග්‍යයක් ලෙසයි මා සලකන්නෙ.
සිංහල සිනමා වංශකතාව ඉදිරියට ගලාගෙන යන්නේ ලංකාවෙ සම්පත් දායකයන් අතින් නේද?
ඕස්ට්‍රේලියාවේ විකාශනය වන සහ එරට තුළම සංරක්ෂණය වන සිංහල සිනමා වංශකතාව මේ තාක් දුර රැගෙන ඒමට හැකිවන්නේ ඔවුන් නිසා. මෙහි විශේෂ පූර්වක ස්තූතිය ඔවුන්ට හිමිවිය යුතුමයි. මම ලක්හඬේ වැඩ කරන කාලයේදී දැන හඳුනාගත් සිනමාව සම්බන්ධ ඇවිදින විශ්ව කෝෂයක් බඳුවූ නුවන් නයනජිත් මහතාගෙන් ලැබුණු සහයෝගය ගැන කිව යුතුමයි. ඔහු විසින් “ශ්‍රී ලාංකේය සිනමා වංශය” රචනා කරන්නේ මා මේ වැඩසටහන පටන් ගැනීමටත් වසර කිහිපයකට පෙරාතුවයි. ඒ නිසා සිනමාව ගැන, සිනමාවේ ප්‍රවණතා ගැන පමණක් නොවෙයි, සිංහල සිනමාවේ අනාගතය වෙනුවෙන් අපට කළ හැකි දෑ මෙන් ම කළ යුතු දෑ ගැනත් ඔහු තුළ විශාල අවබෝධයක් තිබුණා. ඕස්ට්‍රේලියාවේ හිඳ දුරකථනයෙන් ඔහුට කතාකොට මේ වැඩසටහන ගැන කිව්වට පස්සෙ මේ වැඩසටහනට සහයෝගය දක්වන්නට නුවන් අයියා කැමති වුණා. ඔහු තුළ සිංහල සිනමාව පිළිබඳ වූ විශාල දැනුම් සම්භාරය සිංහල සිනමා වංශකතාව හරහා ඉතාමත් සිත්ගන්නා සුලු ආකාරයට අසන්නන් වෙත ගෙන එන්නට අපට හැකිවුනා. අද වෙන කොට ආරම්භක නිහඬ චිත්‍රපටයේ සිට 1969 දක්වා තිරගත වූ චිත්‍රපට 201 ක් පමණ මේ තුළින් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු හැරුණු කොට ලංකාවෙන් මේ සඳහා තවත් පුද්ගලයන්ගේ සහයෝගය ලැබෙනවා?
සමහර චිත්‍රපටවල මුල් ගීත සංස්ථාවේත් නැහැ. මේ සඳහා විශාල සහයෝගයක් ලබාදුන්නා සුසිල් ධර්මපාල මහත්මයා. එතුමා පෞද්ගලිකව සංරක්ෂණය කළ ගීත තැටිවලින් කිසිදු මුදලක් අය නොකර අප වෙත මුල් ගීත ලබා දුන්නා. විදෙස් රටකට එවීමේදී ගැමෆ්‍රෝන් තැටිවල තිබෙන පැරැණි ගීත E - mail වලින් තමයි ලැබෙන්නට සලස්වන්නේ. ඒ වෙනුවෙන් ජයසිරි අලවත්ත මහත්මයා විශාල කැපකිරීමක් කරනවා.
චිත්‍රපටයක තොරතුරු ගීත ආදිය වැඩසටහන් තුළින් විකාශය කෙරෙන අතරතුර අසන්නන්ට ගැටලු මතුවුවහොත් ඒ සඳහාත් අවස්ථාව ලබා දෙනවාද?
ඇත්තට ම නුවන් අයියා චිත්‍රපටයක් ගැන විස්තර ඉදිරිපත් කරන ආකාරය අනුව කිසිදු හිඩැසක් නැතිව චිත්‍රපට විකාශය වූ අවධිය, රංගන ශිල්පීන්, අධ්‍යක්ෂක, නිෂ්පාදක, කැමරා ශිල්පීන්, පසුතල, අංගරචනා මේ සියල්ල ගැන සවිස්තරාත්මකව කතාබහ කරනවා. ගීතයත් විචාරය කරනවා. මේ නිසා අසන්නන්ට අහන්නට කිසිවක් නැති තරම්.
සිංහල සිනමා වංශකතාවේ විශේෂත්වය ගැන කතා කළොත්?
මෙය ඇත්තට ම මම මුලින් සඳහන් කළා වගේ මුද්‍රිත මාධ්‍ය සංරක්ෂණාගාරයක්. මෙතෙක් ඒ වගේ කටයුත්තක් ලංකාවෙන් ආරම්භ කරලා නෑ. ඒක තමයි ප්‍රධානම විශේෂත්වය. ඒ හැරුණු කොට සිනමාව ගැන තොරතුරු දැනගන්න, සිනමාව හදාරන්න කැමැති ඕනෑම අයෙකුට දේශීය සිනමාව ගැන කිසිවක් නොදන්නා අයෙකුට වුවත් මේ වැඩසටහන් මාලාවට ඇහුම්කන් දීම තුළින් ගැඹුරු අවබෝධයක් ලබාගන්නට හැකියාව තිබෙනවා.
මෙයට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවගේද?
ඇත්තට ම මේ ගෙවුණු වසර හතර පුරාවට ම සිංහල සිනමා වංශකතාවට මෙරට සිටින ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඇත්තට ම අපේ වැඩසටහනට සතියෙන් සතිය මේ තාක් දුරගමනක් සාර්ථකව ගෙන එන්නටත් හැකිවුණේ ඔවුන්ගෙ ප්‍රතිචාර නිසා. කාලයක් පටන් ලංකාවෙන් ඈත්වෙලා ඒකාකාරී ජීවන රටාවක හිටි ඔවුන්ගේ රසවින්දනය වැඩි කරන්නට මේ වැඩසටහන සමත්වූ බවයි ඔවුන්ගේ අදහස.
ලංකාවේ ශ්‍රාවකයන්ගෙනුත් මේ සඳහා හොඳ ප්‍රතිචාර තිබෙනවාද?
සෑම සිකුරාදාම SBS තුළින් අපි ඉදිරිපත් කරන මේ වැඩසටහන www.sbs.com.au/Sinhalese තුළින් ලංකාවේදි ශ්‍රාවකයන්ට රස විඳින්න පුළුවන්. දැනට අන්තර්ජාලය හරහා මේ වැඩසටහන රසවින්දනය කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. දේශීය සිනමාව විදෙස් රටක සංරක්ෂණය වීම ගැන ඔවුන් සිය ප්‍රසාදය පළකරනවා. ඒත් තවම ලංකාවේ ඉන්න පිරිසගෙන් තවම මේ ගැන දන්නෙ ටික දෙනෙක් පමණයි.
මෙය එකම වැඩසටහන් මාලාවක් ආකාරයට ශ්‍රාවකයන්ට රසවිඳින්නට මෙන් ම ළඟ තබා ගන්නට හැකියාව සැලසුණහොත්?
මේ තොරතුරු ගීත තවදුරටත් සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. මම, නුවන් ඇතුළු පිරිස ඒ පිළිබඳ දැනටමත් කතා කර තිබෙනවා. මේ තාක් අප ඉදිරිපත් කළ මේ විශේෂාංගවල එකතුවක් විද්‍යුත් මාධ්‍යයෙන් E - Book එකක් ආකාරයට ඉදිරිපත් කිරීමටත් සී.ඩී. පටයක් ලෙස එළිදැක්වීමටත් ඉදිරියේදි අපි බලාපොරොත්තු වෙනවා.