අද තියෙන්නේ සිංදු අහන කාල­යක් නෙමෙයි සිංදු බලන කාල­යක් | Page 2 | සිළුමිණ

අද තියෙන්නේ සිංදු අහන කාල­යක් නෙමෙයි සිංදු බලන කාල­යක්

වත්මන් යොවුන් පරපුර වඩාත් ප්‍රියකරන ශෛලියකින් නිර්මාණය වූ මේ ගීතය මේ වන විට youtube හි ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. ආදරයේ චමත්කාරයත්, වේදනාවත් එකට කැටි වූ මේ ගීතය ගයන ඔහු නමින් ඉෂාර මිහාන් මධුරසිංහය. පාසල් වියේ පටන් සප්ත ස්වරයේ මිහිරියාවට ඇළුම් කළ ඉෂාර ගායනයට මෙන්ම වාදනයට හා තනු නිර්මාණයට ද එකසේ දස්කම් පායි. ජනප්‍රියත්වය පසු පසු හඹා නොගොස් සාර්ථක ගී නිර්මාණ සමග සංගීත ලොවේ දිගු ගමනක් යාම ඔහුගේ අරමුණ වේ.

ඉෂාර ඔයාගේ සංගීත දිවියේ මුල් අඩිතාලම වැටෙන්නේ පාසලෙන් ..... ?

ඔව්, කලාවට, ක්‍රීඩාවට දක්ෂ බොහෝ දෙනකුට තමන්ගේ හැකියාවන් වර්ධනය කර ගන්න මුල් පදනම වැටෙන්නේ තමන්ගේ පාසල තුළින්. ඒක මටත් එහෙම තමයි. සාමාන්‍ය පෙළ දක්වා මම ඉගෙන ගත්තේ නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයෙන්. උසස් පෙළ හදාරන්න නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයට ගියා. මම හැදෑරුවේ වාණිජ විෂයන්.

එතකොට කොහොමද සංගීතය පැත්තට යොමු වුණේ ?

මගේ අම්මා කාන්ති රත්නායක. එයා ගොඩක් කැමැතියි Music වලට‍. පුංචි කාලෙම අම්මා මට එක එක සංගීත භාණ්ඩ ගෙනත් දුන්නා මතකයි. දැනුමක් අවබෝධයක් නොතිබුණත් මම ඒවා ඔහේ වාදනය කළා. සිංදු කිව්වා. ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන කුමාර රත්නායක මගේ මාමා කෙනෙක්. ඒ වගේම හොඳ සංගීත රසිකයෙක්. ඒ ආභාෂයත් මට ලැබෙන්නට ඇති.

අද වෙනකොට සංගීත භාණ්ඩ කීපයක්ම ඔබට හොඳින් වාදනය කරන්න පුළුවන් ....?

ඔව් .... තබ්ලාව, වයලීනය, ඕගනය, ගිටාරය කියන සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්.මුලින්ම මම ඉනෝකා අහංගම මිස්ගෙන් ඕගන් වාදනය ඉගෙන ගත්තා. වයලීනය වාදනය හැදෑරුවේ ශාරදා කලා නිකේතනයේ අනිල් මිහිරිපැන්න සර්ගෙන්. එතකොට පේෂල මනෝජ් සර්ගෙන් තබ්ලා වාදනයත්, ජූඩ් ද සොයිසා සර්ගෙන් ගිටාර් වාදනයත් හැදෑරුවා.

කොහොම වුණත් you tube එකේ ඔබ ජනප්‍රිය වෙලා ඉන්නේ ගායකයෙක් විදිහට. FM චැනල්වල ඔබගේ ගීතය ඇහෙන්නේ නැත්තේ ඇයි ?

ඇත්තට‍ම කිසිම ගුවන් විදුලි නාළිකාවකට මම මේ ගීතය බාරදීලා නෑ. ඉදිරියේදී මේ ගීත‍යේ මියුසික් වීඩියෝ එකක් එළි දක්වනවා. මම හිතන්නේ FM, TV චැනල්ස්වලින් මීට වඩා නවකයන්ගේ නිර්මාණවලට තැනක් හිමි වෙන්න ඕනෑ. සමහර විට කෙනෙක් ගීතයක් නිර්මාණය කරන්නේ ගොඩක් ආර්ථික අපහසුකම්, බාධක මැද්දේ. එහෙම කරළත් තමන්ගේ නිර්මාණයට මාධ්‍යයෙන් නිසි ප්‍රතිචාරයක්, අනුග්‍රහයක් නොලැබුණහොත් ඒක හරිම ඛේදනීය, අවාසනාවන්ත තත්ත්වයක්.

මේ ගීතය අහපු අයගේ ප්‍රතිචාර කොහොමද ..... ?

හොඳ නරක දෙකම කිව්වා. හැබැයි නරකට වඩා හොඳ තමයි කිව්වේ. මීට කලිනුත් මම ගීත පහක් ගායනා කර තිබෙනවා. මේ මගේ හයවැනි ගීතය. නමුත් කලින් ගීතවලට වඩා ‘අවමන් ලබන්නේ‘ ගීතය මගේ රේන්ජ් එක එහෙම නැතිනම් ගායනා පරාසය හොඳින් පෙන්නුම් කළ ගීතයක් බවයි ඒ අයගේ අදහස වුණේ.

අද ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනය තමයි ගොඩක් දුරට ඉවහල්වෙන්නේ. ඇත්තටම ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනයක් අවශ්‍යමයි කියලා ඔබ විශ්වාස කරනවාද ?

‍දැන් මේ යන ට්‍රෙන්ඩි එකත් එක්කලා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හැබැයි රූප රචනය නැතිව ජනප්‍රිය වුණ ගීත නැතිව නෙවෙයි. ඒත් මේ යන රැල්ලත් එක්ක ගොඩක් අය කැමැති මියුසික් වීඩියෝවලට. සිංදු අහන කාලයක් නෙමෙයි, සිංදු බලන කාලයක් අද තියෙන්නේ. 

 

Comments