
ඉන්දීය 'ඉර්කොන්' සමාගම විසින් ඉදි කරන ලද මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ පාලමේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් තලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් පැනනැඟී ඇත. මේ අනුව හෙට (17) සිට සතියක කාලයක් මේ මාර්ගයේ දුම්රිය ධාවනය නවතා දමා, මැදවච්චිය හා චෙඩ්ඩිකුලම් අතර (කි.මී. 254.54) නව පාලමක් ස්ථාපිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මාර්ගය පැයට කිලෝමීටර් 120ක වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි පරිදි ගිවිසුම්ගතව රුපියල් කෝටි ගණනක් වැය කර ඉදි කළ දුම්රිය මඟ මෙසේ වසර දෙකක් යෑමටත් පෙර පාලම් යළි ස්ථාපිත කිරීම නිසා බරපතළ ගැටලු නිර්මාණය විය හැකි බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙති.
මේ සම්බන්ධව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ඉර්කොන් සමාගම අදාළ පාලම සම්බන්ධව අඩුපාඩු පිළිගෙන පාලම යළි ඉදි කිරීම සම්බන්ධව කටයුතු කරනු ලබන බවත් එම දිනවල දුම්රිය ධාවනයෙන් අහිමි වන ආදායම ගෙවීමට අදාළ සමාගම එකඟ වී ඇති බවත්ය. පසුගිය රජය සමයේ ඉන්දීය ඉර්කොන් සමාගමට දුන් මේ මාර්ග ඉදි කිරීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති පවා දැඩි විරෝධයක් එල්ල කළේය. එසේම දිනකට දුම්රිය ගමන් වාර 4ක් පමණක් සිදු කෙරෙන මේ දුම්රිය මාර්ගයේ පාලම් මතින් අධික බරින් යුත් එම් 9 හෝ එම් 10 පන්තියේ දුම්රිය එන්ජින්ද ධාවනය නොකෙරෙන අතර, එවන් තත්ත්වයක් තුළ කෙටි කාලකදී පාලම් යළි ස්ථාපිත කිරීමට සිදු වූයේ නම් තවත් වසර කිහිපයක් ගත වෙද්දී ඇති වන තත්ත්වය තේරුම් ගත හැකි බවද එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.