HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 හැරී කුමරුට කැමිලාගෙන් තහංචියක්?

හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළියකගේ අලුත්ම ආදර කතාවට දැන්, මාස 9ක් ගතවෙලා. ලොව පුරා රසික ජනතාවගේ දැඩි අවධානය දිනාගත් මෙය, රාජකීය ප්‍රේම කතාවක්. බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමි හැරී කුමරුන් මෙහි පෙම්වතා නිසයි, රාජකීය උණුසුමක් මුසුවී ඇත්තේ.

ඔබ දැනටමත් දන්නවා හැරී කුමරුගේ පෙම්වතිය හොලිවුඩයේ සුරූපී නිළි මෙගාන් මාක්ල් බව. ගතවූ මාස කිහිපය තිස්සේ ආරංචි පැතිරී ගියේ හැරී සහ මෙගාන්ගේ විවාහ ගිවිස ගැනීම ළඟදීම සිදු වනවා ය කියලයි. ඒත් ඒ ආරංචි හුදු කටකතා පමණක් ම දැයි දැන් සමහරු ප්‍රශ්න කරනවා. මහ රැජන හෙවත් හැරී කුමරුන්ගේ අත්තම්මාගෙනුත් මේ විවාහ ගිවිස ගැනීමට එකඟතාව පළවී තිබෙද්දී එය ප්‍රමාද වන්නේ ඇයි?

අලුත්ම ආරංචිවලට අනුව නම්, මේ ප්‍රමාදයට හේතුව හැරීගේ කුඩම්මා හෙවත් කැමිලා පාකර්ගේ අකමැත්ත බවයි පැවසෙන්නේ. ඇය තරයේම ප්‍රකාශ කර ඇත්තේ හැරී සහ මෙගාන් විවාහ නොවිය යුතු බවයි. මෙගාන් ඇමෙරිකන් ජාතික යුවතියක් නිසා මේ අකමැත්ත පළවී ඇත්දැයි සමහරු විමසනවා. නමුත්, තතු දන්නා අය කියන්නේ මෙගාන් සිනමා නිළියක නිසා කැමිලා ඇයට අකමැති ‍බවයි. මෙගාන්, මීට පෙර කෝරී විලිටෙලෝ නමැත්තා සමඟ පෙම් සබඳකමක් පවත්වාගෙන ගියා. ඔහු, කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙසෙන ප්‍රවීණ සූපවේදියෙක්.

ජෙනිෆර් ඩුබායි යයි

සුපිරි ගායකයකු හෝ ගායිකාවකගේ සංගීත ප්‍රසංගයකදී සාදයක් පවත්වන්නේ නැහැ. නමුත් ජෙනිෆර් ලොෆෙස් නම් තමන්ගේ ගීත ප්‍රසංගයකින් පසුව සාදයක් පවත්වන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රසංගය පවත්වන්නේ ලබන නොවැම්බර් මාසයේදී, ඩුබායිවලදී යි.

මීට කලින් ඇය 2014දීත් මැදපෙරදිග රටවල් කිහිපයක සංගීත ප්‍රසංග පැවැත්වූවා. ඒ ප්‍රසංග මාලාව නම්කර තිබුණේ ‘Dance Again’ යනුවෙන්. ජෙනිෆර් පළමු වතාවටයි මැදපෙරදිග රටවල එලෙස ගීත චාරිකාවකට එක්වුණේ. ලෙබනනයේදී එරට ජාතික දිනය යෙදී තිබූ දා පැවැත්වූ ප්‍රසංගයේදී ඇය එරටෙහි ජාතික කොඩිය එසවූයේ කාගේත් ප්‍රීති ඝෝෂා මැද්දෙයි. ජෙනිෆර් පවසන්නේ ඩුබායි ප්‍රසංගයට අලුත් අංග කිහිපයක්ම එක් කරන්නට බලාපොරොත්තු වන බවයි.

ත්‍රස්තයාට සිර දඬුවම්

ජනප්‍රිය සුපිරි ගායන තරුවක් පැවැත්වූ සංගීත ප්‍රසංගයකට පහර දී මිනිස් ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදියකුට පසුගියදා වසර 16ක සිර දඬුවමක් හිමි වුණා. මෙලෙස සිර දඬුවම් ලැබුවේ 19 වියැති හරූන් ස්යෙඩ්. මේ ත්‍රස්තවාදී ගැටවරයා ප්‍රහාරය එල්ල කරන්නට තැත් කළේ සුපිරි ගායක එල්ටන් ජෝන්ගේ ප්‍රසංගයකටයි.

මේ ප්‍රසංගය පැවැත්වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි. ඒ, 2001 වසරේ ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කිරීම සඳහායි. බටහිර ලන්ඩනයෙන් පැමිණි හරූන් පාපොච්චාරණය කර තිබුණේ පසුගිය වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් අතර කාලය තුළ දී ලන්ඩනයේ ස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල කිරීමට තමන් සැලසුම් කළ බවයි. එල්ටන් ජෝන්ගේ ප්‍රසංගය ද ප්‍රහාරය එල්ල කරන්නට ඉලක්ක කරගත් ස්ථානයකැයි ද ඔහු ප්‍රකාශ කර තිබුණා. ලන්ඩනයේ හයිඩ් පිටියේදී පැවැති එල්ටන්ගේ ප්‍රසංගය නැරැඹීමට 50,000ක් පමණ පිරිසක් සහභාගි වී සිටියා.

‘ස්පයිඩර් මෑන්’ අඳුරේ

තවමත් 21 වැනි වියෙහි පසුවන ටොම් හොලන්ඩ් තමයි, අලුත්ම ‘ස්පයිඩර් මෑන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන්නේ. මේ චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ස්පයිඩර් මෑන් : හෝම් කමින්’ යනුවෙන්. ජූලි 5 සහ 7 වැනි දිනවලදී බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමාහල් රැසක මේ චිත්‍රපටය තිරගත කිරීම ඇරැඹුණා.

ස්පයිඩර් මෑන් ලෙස රඟන ටොම් හොලන්ඩ් හට තවත් අලුත් චිත්‍රපටයක රඟන්නට ඇරැයුම් ලැබිලා. ‘ඇවෙන්ජර්ස් : ඉන්ෆිනිටි වෝ’ නම් වූ එම චිත්‍රපටයේ තමන්ට ලැබෙන චරිතයේ වැඩි විස්තර එහි අධ්‍යක්ෂවරයා හෙළි නොකර සිටින බවයි ටොම් පවසන්නේ.

“මම මේ චරිතය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මට ලැබෙන්නේ වීර චරිතයක්ද, එහෙමත් නැත්නම් දුෂ්ට චරිතයක්ද කියලවත් මම දන්නෙ නැහැ. අධ්‍යක්ෂවරයා මට තාම තිර නාටකයවත් කියවන්න දීල නැහැ. සාමාන්‍යයෙන් මට රහස් හංගගෙන ඉඳීමේ හැකියාවක් නැහැ. ඒ නිසා වෙන්න ඇති මට ලැබෙන චරිතය ගැන මටවත් තවම කිව්වෙ නැත්තෙ. මගේ මේ චරිතය තවම තියෙන්නෙ අඳුරේ.” ටොම් සිනාසෙමින් පැවසුවා. 

Comments