BOLLYWOOD | Page 2 | සිළුමිණ

BOLLYWOOD

 උපන් දින සාදය චාම් ලෙස

ශාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට්ගේ විවාහ දිවියට මේ වන විට වසර 2ක් ගතවෙලා. දැන් ඔවුන් දෙදෙනා බිලිඳු දියණියකගේ මවුපියන්. දියණියගේ නම, මීෂා. මෑතකදී මීරා පවසා තිබුණේ තවත් පුතෙකු හෝ දියණියක සිටීනම් හොඳයි කියලයි.

එහෙත් දැන් මීරා පවසන්නේ දෙවැනි වතාවට මවු පදවිය ලබන්නට දැන්ම සූදානමක් නැති බවයි. ශාහිඩ්ගේ අදහසත් එයමයි. මීරාට දැන් අවශ්‍ය වී ඇත්තේ දියණිය මීෂාගේ වැඩ කටයුතුවලට මුළු කාලයම යොදවන්නටයි. ඇතැම් අය මීරාගේ අහන්නේ සිනමා රංගනයට කැමැති නැද්ද කියලයි. ඒත් ඇය සිනමාවට එක්වීමට නම් කැමැති නැහැ.

මේ දවස්වල මීරා වෙහෙසෙන්නේ තම දියණියගේ පළමු උපන් දින උත්සවයේ වැඩ කටයුතුවලටයි. ලබන අගෝස්තු 28 දා තමයි, දියණිය මීෂාට අවුරුද්දක් ලබන්නේ. මේ උපන් දින උත්සවය චාම් අයුරින් පවත්වන්නටයි ශාහිඩ් සහ මීරාගේ බලාපොරොත්තුව. මේ වෙනුවෙන් සහභාගි වන්නේ ශාහිඩ්ගේ දෙමවුපියන් සහ මීරාගේ දෙමවුපියන් මෙන්ම ඇගේ වැඩිමල් සොයුරියත් දරුවනුත් පමණයි. “මහ ලොකුවට මේ උපන් දින උත්සවය ගන්න ඕනෙ නැහැ. දුවට තාම අවුරුද්දයි. ඉතින් එයාට තේරෙන්නෙ නැහැනෙ, අපි මේ මොනවද කරන්නෙ කියලා. ශාහිඩ්ටත් ඕනෙ මේ උත්සවය චාම් විදිහට කරන්නයි. උපන් දිනය දා අපේ පවුල්වල අය එකතු වෙලා පුංචි විනෝද ගමනක් යන්න නම් හිතාගෙන ඉන්නවා.” මීරා එලෙස පවසා තිබුණේ ඉන්දීය පුවත්පතකටයි.


 

රන්බීර්ට කට්රිනාගෙන් කපුකමක්

රන්බීර් කපූර්ගේ ආදර කතාවල නිමාවක් නැහැ. බොලිවුඩ් තිරයේ ඔහු රඟන ආදර කතාවල නම් නොවෙයි: ඔහුගේ සැබෑ ජීවිතය සමඟ බැඳුණු පෙම් බැඳුම්වලයි.

පසුගිය සති දෙක තුනකට පෙර විදුලි වේගයක් ලෙස පැතිරී ගිය ආරංචියකින් කියවුණේ රන්බීර්ට අලුත් පෙම්වතියක් මුණ ගැසී ඇති බවයි. ඇය දිල්ලියේ පදිංචිව සිටින යුවතියක් බවයි කලින් පැතිරුණු ආරංචිවල සඳහන් වුණේ. නමුත්, පසුව පැවසුණේ ඇය මුම්බායි නුවර පදිංචිව සිටින බවයි. කොහොම වෙතත්, රන්බීර්ට මේ රුවැති යුවතියව හඳුන්වා දී ඇත්තේ වෙනින් කවුරුන්වත් නොවෙයි. කට්රිනා කායිෆ් හෙවත් රන්බීර්ගේ පැරැණි පෙම්වතියයි. ‘ජග්ගා ජාසුස්’ නම්වූ අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට එක්වී සිටියදී තමයි, කට්රිනා විසින් රන්බීර්ට මේ යුවතියව හඳුන්වා දී ඇත්තේ.

රන්බීර් දැන් නිතරම මේ අලුත් පෙම්වතිය හමුවෙනවාලු. මේ ගැන කට්රිනා තුළ අකමැත්තක් නැතත් ඇය ඉදිරියේ තම අලුත් පෙම්වතිය ගැන කිසිවක් නොකියන්නට රන්බීර් උත්සාහ ගන්නා බව ඔහුගේ සමීපතමයන් පවසනවා. රන්බීර්ට නිතරම කට්රිනා හමු වෙනවා. එය වළක්වන්නට බැහැ. හේතුව, දෙදෙනාම එකම ක්ෂේත්‍රයක රැඳී සිටින නිසා. නමුත් රන්බීර්ගේ අලුත් පෙම්වතිය නම් කිසිදු කලා ක්ෂේත්‍රයකට සම්බන්ධ නැහැ.

එවැනි වාතාවරණයක සිටින මේ අමුත්තිය, තම පෙම්වතා කට්රිනා සමඟ සුහදව කතාබහ කරන අයුරු දැක ඉවසා සිටීවිදැයි සැකයක් මතු වෙනවා. මන්ද යත්, කට්රිනා, රන්බීර්ගේ පෙම්වතිය වී සිටි බව ඇය දන්නා නිසා. කට්රිනා සමඟ රන්බීර් සුහදව වැඩ කරන්නේ වෘත්තීය මට්ටමෙන් පමණයි. ඊට එහා ගිය සම්බන්ධයක් නම් දැන් ඔවුන් අතර නැහැ. රන්බීර් දැන් සිටින්නේ ඒ අතීතය අමතක කරලා ඔහු ඉඩක් ලද විගසකින්ම මේ අලුත් පෙම්වතිය එක්ක දුරකථනයෙන් පෙම්බස් මුමුණන්නේ ඒ නිසා බවයි ඔහුගේ හිතවතුන් පවසන්නේ.

Comments