
මොළේ පෑදෙන බේතක්
අංගොඩ මානසික රෝහලේ නේවාසික රෝගීන් දෙදෙනකු එහි බංකුවක් මත වාඩි වී සිටියදී එක් අයකු තම සාක්කුවට අත දමා කිසිවක් හොරෙන් ම ගෙන වහා එය කටේ දමා ගන්නවා දුටු අනෙකා මෙසේ ඇසී ය.
“මොනවද උඹ ඔය මට හොරෙන් හංගාගෙන කන්නෙ?”
“මේක මේ බොහොම බලගතු මොළේ පෑදෙන බේතක්.” පළමු වැන්නා රහසින් මෙන් පිළිතුරු දුන්නේ බැරෑරුම් හඬකිනි.
“මටත් ටිකක් දීපංකො...” අනෙකා වහා තම සුරත දිගු කළේ ලොකු උනන්දුවකිනි.
“ඉඳා!” සාක්කුවෙන් ගත් යමක් පළමු වැන්නා ඉතා පරෙස්සමෙන් දෙවැන්නා අත තැබීය.
“මේ නිකංම නිකං ලුණුනෙ...” එය වහා කටේ දමාගත් තැනැත්තා කීවේ කට ඇඹුල් කර ගනිමිනි.
“ආන්න දැක්කද? උඹේ මොළේ පෑදුණු ඉක්මන...” පළමුවැන්නා කීවේ ජයග්‍රාහී විලාසයක් පාමිනි.
ඒ මොකද?
නිතර උසාවිය හමුවට පමුණුවා දඬුවම් වලට යටත් කෙරෙන ගැට කපන්නකු විත්ති කූඩුවට නැංවූ අවස්ථාවේදී තමාට හුරුපුරුදු විත්තිකරු දෙස බලා විනිසුරුවරයා ඔහුට අවවාදයක් ලෙසින් මෙසේ කීවේ තැන්පත් ස්වරයකිනි.
“මං හිතනවා, මේ යුෂ්මතා මා ළඟට එන අවසාන වතාවයි කියලා.”
“ඒ මොකද? නඩුකාර හාමුදුරුවෝ ළඟදී පැන්ෂන් යනවා වත්ද?” ගැටකපන්නා විත්ති කූඩුවේ සිට ඇසී ය.
පිස්සු ද?
“සහෝදරයා අපේ සටන අපි දිනලා ඉවරයි. මට දැන් එන ගමන් බලාගෙන ආවේ. අපේ මූලික ඉල්ලීම අපි දිනුවා. අන්න අර හොර උපාධි කඩේ වහලාදාලා...” සුනිල් ලොකු උද්යෝගයකින් යුතුව රජිත සමඟ කීවේ පුළුල් සිනාවක් පාමිනි.
“පිස්සුද සහෝදරයො, දැන් හොඳටම හවස් වෙලානෙ. ඒ ආයතනයේ වැඩ ඉවර වුණාම ඒක කොහොමත් හවස හය වෙද්දී වහනවා. ඒ වුණාට හෙට උදේ හත වෙනකොට ඒක ආයෙමත් අරිනවා.” රජිත කීවේ ය.
ඒවා හරි බලලා එමු
“මෙදා සැරේ නියම ට්‍රිප් එකක් යන්ඩයි මම සැලසුම් කරලා තියෙන්නෙ, සෝමසිරි. මුළු ට්‍රිප් එකටම දවස් හතරයි. එක්කෙනකු ගෙන් අය කරන්නේ දෙදහක් විතරයි. මාර ලාබයි නේද? නොවැරදීම එන්ඩ ඕනෙ හොඳ ද? පළවැනි දවසෙ කතරගම. ඊළඟට නුවරඑළි යනවා.
තුන්වැනි දවසේ මහනුවර. නුවරදී අපිට මාලිගාවේ මහ පෙරහැරටත් ඉඳලා අලින් බලලම එන්ඩ පුළුවන් නෙ” දැදිගම තම කඩයට ගොඩවූ සෝමසිරි දෙස බලා කීවේ කටපුරා සිනාසෙමිනි.
“නුවර පෙරහර මේ සුමානෙ ඉවරවෙනවනෙ දැදිගම. ඉතින් කොහොමද නුවර පෙරහර බලන්නෙ?” සෝමසිරි අවඥාවෙන් ඇසී ය. “හරි ඉතින්, අපිට පුළුවනිනෙ දළදා මාලිගාවට යන ගමන් අලි බෙටි හරි බලලා එන්ඩ. තාම ඒවා නුවර පාරවල් වල ඇතිනෙ?” දැදිගම කීවේ ය.