සතර සවිය සහ නෙළුම 11 | Page 3 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 11

‘මාතර ආච්චි, චිත්‍රපටයේ තිර රචනය සකස් කරන අවස්ථාවේදී රූපගත කරන ඉසව් ගැනද සිතමින් රචනා කළෙමි. චිත්‍රපටය ආරම්භ වන්නේ විනෝද ගමනකිනි. ඒ විනෝද ගමනේදී පෙම්වතුන් වන සිරිදාස (සතිස්) සහ සුමිත්‍රා (ස්වර්ණා) ප්‍රධාන මිතුරු මිතුරියෝ සහභාගි වෙති. මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන “රන්දේදුනු රන්පාටින් වෙළුණ රන්වලා” ගීතය ගායනය වෙයි. කැලණියෙන් ආරම්භ වන බස්රථය මීගමුව පුත්තලම අනුරාධපුරය හරහා ත්‍රිකුණාමලයට ද එතැන් සිට දඹුල්ල මාතලේ හරහා මහනුවරටත් ගොස් යළිත් කැලනියෙන් ගමන් අවසාන විය. අඩු වියදමකින් ලොකු වැඩක් කිරීමට මම තරුණ කල සිටම දැන සිටියෙමි.

අප කරන නිර්මාණය වෙච්ච දෙයක් හෝ වෙන්නට ඉඩ තියෙන දෙයක් හෝ ඒත්තු ගැන්වීමට ක්‍රියා කළ යුතුය. අප කරන මවා පෑම රසිකයාට පිළිගැන්මට හැකිවන පරිදි ඉදිරිපත් කළ යුතුය. මගේ පළමු නිර්මාණයෙන් ම ඒ විශ්වාසය මම දිනාගතිමි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඔරුගොඩවත්ත කුඩා ඩිපෝවේ සේවය කරන නිසා සුබසාධක ක්‍රමයට බස් රථය ලබ­ාගෙන සහෝදර සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟින් දින දෙකක චාරිකාවක් සංවිධානය කළෙමි. එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමට ප්‍රථම ත්‍රිකුණාමල වෙරළ තීරයේදී රූපගත කිරීම සිදු කිරීමට මට හැකි විය. මෙම චිත්‍රපටයේ සෙසු ස්ථානයන් වූයේ හම්බන්තොට, තංගල්ල, තිස්සමහාරාමය, කතරගම සහ කිරින්ද යන ප්‍රදේශයන්ය.

චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා අප ළඟ මුදල් නොමැති වුවත් කතා පුවත වෙනස් කිරීමට හෝ වෙනත් ළඟපාත ඉසව්වලදී රූපගත කිරීමට සිත් යොමු කළේ නැත. මට අවශ්‍ය වූයේ සත්‍ය කථාවක් නොවන මේ වෘතාන්තය පිළිගත හැකි සත්‍යමය දෙයක් ලෙසින් රසිකයාට පිරිනැමීමයි. ඕනැම සාහිත්‍ය නිර්මාණයක් තුළ රසිකයා දැනුම්වත් කරන වචන තුනක් ඇත.

ඒවා නම් සත්‍යය, හොඳ සහ සුන්දරත්වයයි. හින්දි භාෂාවෙන් සත්‍යම්, ශිවම්, සුන්දරම් කියන්නේ ද එයම යි. කියන දේ හොඳ විය යුතුය. එය සත්‍යයක් විය යුතුය. එමෙන්ම නෙත් සිත් ඇදගන්නා සුන්දරත්වයක් ද තිබිය යුතුය. එදා ආධුනිකයකු වූ මම පොත පත කියැවීමෙන් මූලික දැනුම ලබාගෙන සිටියෙමි. ඉහත කී වචන තුන ගැන ලෝකයා දැනුවත් කිරීමට දෙදෙනෙක් සිටිති. ඒ ස්වභාවධර්මය සහ සාහිත්‍ය හා කලාවයි. මේ දෙදෙනාගේ වෙනසක් ඇත. සොබාදහමට තමාව පාලනය කරගත නොහැකිය. කලාකරුවාට තමා පාලනය කර ගැනීමේ හැකියාව ඇත. නිර්මාණකරුවාට ඒ ශික්ෂණය තිබිය යුතුය. අප ඉදිරිපත් කරනු ලබන නිර්මාණය වෙච්ච දෙයක් ලෙසින් හෝ වෙන්නට ඉඩ තියෙන දෙයක් ලෙසින් පිළිගැනීමට හැකි දෙයක් ලෙස කළ යුතුය. එය සාර්ථක නිර්මාණයක තිබිය යුතු ලක්ෂණයකි. නිර්මාණකරුවෙක් වශයෙන් මගේ හදවතේ සදා නොමැකෙන සටහනක් ඇත. එය මෙසේ ය. “බොරුවෙන් හා වේදනාවෙන් පිරි වේදිකාවට භක්තියෙන් ගොඩවන්න. ගොඩවී ආදරය, ප්‍රේමය (මෛත්‍රිය) දයාව, කරුණාව හා පරිත්‍යාගය ප්‍රචලිත කරන්න” යන්නයි. මෙය ගර්ෂියා ලෝකා ගේ ප්‍රකාශයකි.

1972 මැද භාගය වන විට චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිමාවිය. ප්‍රදර්ශනය කිරීම ඊළඟ අභියෝගයයි. සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් මහතා හමුවීමට මා පිළිබඳ හැඳින්වීම් ලිපි දෙකක් ගාමිණි ෆොන්සේකා සහ එඩී. ජයමාන්න යන මහත්වරුන් ලබා ගතිමි. පළමු දිනයේදී ගුණරත්නම් මහතා හමු නොවීය. දෙවැනි දිනයේදී විනාඩි 45කට පසු කතා කළේය. “ඔව්! මොකක්ද ප්‍රශ්නේ?” ඔහු ඇසුවේ ය. මගේ චිත්‍රපටය පෙන්වන දිනය දැන ගැනීමට පැමිණි බව කීවෙමි. මට මගේ චිත්‍රපටය පෙන්වන්න ඕනා. ඊට පස්සේ ඔබේ චිත්‍රපටය පෙන්විය හැකියැයි කීවේය. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘හොඳයි නරකයි’ චිත්‍රපටය. ඔහුගේ නිෂ්පාදනයකි. 1972 වසරේ දෙසැම්බර් මාසයේ නීල්රූපසිංහ මහතාගේ ‘ආදරේ හිතෙනව දැක්කම’ චිත්‍රපටය ගාමිණි සිනමා ශාලාවේ තිරගත වෙමින් තිබුණි. ගුණරත්නම් මහතා අවසානයේ මට කීවේ ලබන සතියේ හමුවන ලෙසයි. මේ සංවාදයන් සියල්ල සිදු වූයේ ඉංග්‍රිසි බසිනි.

සතියකට පසු සිනමාස් කාර්යාලයට ගිය මට වහාම ගුණරත්නම් මහතා හමුවීමට හැකි විය. ආ... “එන්න එන්න මාතර ආච්චි” යනුවෙන් ආමන්ත්‍රණය කොට අසුන් ගත වීමට ආරාධනා කළේ ය. මුල් දිනයේදී ඒ මහතා මාව ගණන් ගත්තේ නැත. අසුන්ගත නොකළේ ය. ඉතාමත් සුහදශීලී අන්දමින් සංවාදය සිදුවිය. එතුමාගේ ප්‍රශ්න වැලකි.

“මොනවගේ කතාවක් ද?”

“ආදර කතාවක්.”

“ගීත කීයක් තියෙනවද?”

“හතරයි.”

“කවුද ගායනා කරන්නේ?”

“සුජාතා අත්තනායක, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවආරච්චි සහ සුනිල් එදිරිසිංහ.”

(සුජාතා හැර අන් අය ගැන අසා තිබුනේ නැත.)

“කවුද සංගීත අධ්‍යක්ෂ?”

“වික්ටර් රත්නයාක”

“කවුද ඒ? (නමවත් අසා නොතිබුණි.)

“සටන් ජවනිකා කීයද?”

“තුනයි.”

බන්දු මුණසිංහ සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන ඔහු හොඳින් දැන සිටියේ ය.

“බැංකුවලින් හා අපේ සමාගමෙන් ණය අරගෙන ති‍යනවද?”

“නැහැ.”

“මම ‘වසන්ත මාලිගෙයි’ (දමිළ චිත්‍රපටය) කැපිටෝල් සිනමා ශාලාවේ පෙන්වනවා. ඔබට පුළුවන් ජනවාරි 10 හෝ 11 ගාමිණී ශාලාවේ උඹේ චිත්‍රපටය පෙන්වන්න.”

මම පුදුමයට පත්වූයෙමි. එකක්, සූදානම් වීමට කාලසීමාව ප්‍රමාණවත් නැත. අනෙක, ජනවාරිය යනු බෝතල් මාසය යි. හොඳ ආදායමක් ලබාගත නොහැකි කාලයකි. නිහඬව සිටින මා අමතා “මොකක්ද ප්‍රශ්නය?” ඔහු ඇසුවේ ය. “මගේ හඳහන අනුව හොඳ දිනයක් බලලා කියන්නම්” යැයි කීවෙමි.

ඔහුගේ පිළිතුර වූයේ “එහෙනම් උඹ චිත්‍රපට පෙට්ටිය උඩ හිටගෙන හිටපන්” යන්නයි. මේ සංවාදය ඉංග්‍රීසියෙනි.

ගුණරත්නම් මහතාගේ කාර්යාලයේ මේසය මත අභ්‍යන්තර ඇමතුම් සඳහා විශේෂ දුරකථන යතුරු පුවරුවක් විය. වරින් වර එකින් එක තද කළේය. ගත වූයේ සුළු මොහොතකි. දොරවල් හතරකින් ද්‍රවිඩ මහත්වරු හතර දෙනෙක් එතුමා දෙපස සිටගත්තේ ය. එතැන් පටන් ඔවුන් සමඟ සියලුම කතා බහ දෙමළ භාෂාවෙන් ය. මට කිසිවෙක් නොතේරුණු නමුත්, කතා කළේ මගේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය ගැන බව වැටහුණි.

යළිත් ගුණරත්නම් මහතා “ඔබේ නෙගටිව් පට ‘විජය’ චිත්‍රාගාරයට හෙටම බාර දෙන්න” මම ගොළුවත රැක්කෙමි. “ඔව්! මොකක්ද ප්‍රශ්නය?” එය කරන්නට සරසවි චිත්‍රාගාරයට මුදල් ගෙවිය යුතු බව කීවෙමි. “මුදල කොපමණද?” “රුපියල් විසිඅටදහස් පන්සියයක්” එතුමාගේ ගණකාධිකාරි මහතා සමඟ දෙමළ භාෂාවෙන් කළ කතාබහට පසුව, “හෙට ‍උදේ ඇවිත් ඒ චෙක්පත ලබාගන්න” යැයි කීවේ ය. පිටපත් පහළොවක් මුද්‍රණයටත් ප්‍රචාරක කටයුතුවලටත් අවශ්‍ය සියලුම මුදල් දීමට එකඟ විය. මම පුදුම වීමි. මම සතුටට ද පත්වීමි. මොනවා වුණත් දැන් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවාය යන සිතුවිල්ල නිසා ය. සිනමාස් කාර්යාලයේ සිට සුගතදාස ක්‍රීඩාංගණය දක්වා පයින් ම එන විට මුණගැසුන කීපදෙනෙකුට ජනවාරි 11 වැනිදා ‘මාතර ආච්චි’ පෙන්වන බව කීවෙමි. ඒ වන විට මා සතුව තිබුණේ රුපියල් පහක් පමණි. කරලා තියෙන්නේ සහ කරන්න යන්නේ ලක්ෂ පහකට වැඩි වැඩකි.

ලබන සතියට

 

Comments