
කවුරුත් පාහේ ඔහු හඳුනාගන්නේ දක්ෂ නිවේදන ශිල්පියකු ලෙසටය. නමුදු නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, ගීපද රචකයකු, ගායකයකු, රංගන ශිල්පියකු පමණක් නොව ලේඛකයකු යන භූමිකා රාශියකින් අප අතරට පැමිණි ඔහු මේ වන විට තමාටම සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනගාගෙන තිබේ. වචනයේ පරිසමාප්ත අරුතින් කීවොත් ඔහු අපේ මාධ්‍ය ක්ෂේත්රය තුළ බිහිවූ හැකියාවන් ගණනාවකින් යුතු පෙරලිකාරයෙකි (all rounder). ඒ වෙන කවුරුත් නොව අපගේ මාධ්‍ය සහෘදයකුවන උදිත තේනුවරයි. තුරුණු ශක්ති සෞන්දර්යය චාරිකාව හරහා ක්ෂේත්රයට දායාද වූ උදිත සිය මාධ්‍ය මෙහෙවරේ නියැලෙන අතර ගීත රචනයට හා ගායනයද එක් වෙමින් වෙනස්ම වූ ක්ෂේත්රයක සිය හැකියාවන් ප්‍රකට කරන්නට සූදානම් වෙයි.රසඳුන අප ඔහු හා කෙරෙන මේ කතාබහ වෙන්වනුයේ ඒ වෙනුවෙනි.
• නිවේදකයකු ලෙසට නම් පටබැඳි උදිත ගායන ශිල්පියකු හා ගේය පද රචකයකු ලෙස වැඩ ඇරැඹුවා කියන්නේ ඇත්තද?
මම ගීත රචනයට යොමු වුණේ 1999 වසරේදී රුහුණු ප්‍රදීප ගායන පරපුර හරහායි.චාමර වීරසිංහ, සුභාණි හර්ෂණී, වැනි ජනප්‍රිය ගායන ශිල්පීන් සමඟද ගීත ගායනා කරලා තියෙනවා.ඔබ කිවා වගේ නිවේදකයකු ලෙස බොහෝ දෙනකු මා හඳුනා ගත්තද තුරුණු ශක්කි හරහා නිවේදනය සමඟ ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළ එකම පුද්ගලයා වීමේ වාසනාව හිමි වූයේ මටයි.
මේ අතර තමයි මෑත කාලයේදී ගේය පද රචනයට පිවිසෙන්නෙ.ඒ බොසා සහ බක්කි කරත්තෙ යන නිර්මාණ හරහායි.මෙහි ගේය පද රචනය වගේම ගායනයද මගේයි.සංගීත අධ්‍යක්ෂණය කළේ ලස්සන ජයසේකරයි.
• මීට අමතරව ඔබ ගායනා කළ ගීත ගැනත් දැන ගන්න කැමතියි?
නිල් නෙතු, රුහුණු කුමාරි, හිත හඳුනන්නෙ නෑ, වගේම විවිධ ශෛලයේ ගීත රැසක් ගායනා කර තිබෙනවා.
• ලේඛණයටද ඔබට තියෙන්නෙ අපූරු හැකියාවක්?
ඇත්තටම මම වෘත්තියෙන් නිවේදකයෙක් වගේම නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරනවා.ඉතිං මා නිෂ්පාදනය කරන වැඩසටයන් වල පිටපත් සියල්ල රචනා වන්නේ මගේ අනින්මයි.ලේඛණයට මගේ හැකියාවක් වගේම ඇල්මක් තියෙනවා.එයි ප්‍රතිඵලයක් විදිහට නුදුරේදී මා ලියපු නවකතාවක් දොරට වඩීවි.මේ දිනවල එහි වැඩ කටයුතු කරගෙන යනවා.
• රංගන ශිල්පියෙකු ලෙසටත් විටෙක ඔබ පුංචි තිරයේ දක්නට ලැබෙනවා?
ඔව් .ඒ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘එළිය කන්ද‘ ටෙලිනාට්‍යයයේ කතිකාචාර්යවරයාගේ චරිතයට පණ පොවමින්.මීට අමතරව ඉදිරියේදී මා රංගනයෙන් දායකවුණු නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා.
• ඔබ වෘත්තිමය මාධ්‍යය වේදියකු ලෙස භූමිකා රැසක දක්නට ලැබෙනවා?
දැනට ස්වාධීන රූපවාහිනියේ වෘත්තිමය නිවේදන ශිල්පියකුට අමතරව වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, අධ්‍යයක්ෂකවරයෙක් වගේම පසුබිම් කතනයෙන්,පූර්ව ප්රචාරක පට හා වෙළෙඳ දැන්වීම් නිවේදන ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා.
• මෙවැනි සාර්ථක ගමනක මූලික අත්තිවාරම ඔබේ පාසලයි.?
මාතර ගොඩවූව ප්‍රාථමික ජාතික පාසලෙන් තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ.පසුව ශිෂ්‍යත්වය සමත්ෙවලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වෙනවා.මේ අතර 9 වැනි ශ්‍රේණියේදි මාතර රාහුල විද්‍යාලයට යනවා.උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපන හැදැරුවේ රාහුල විද්‍යාලයේ...
• උදිත රටක් හඳුනා ගත්තේ තුරුණු ශක්ති සෞන්දර්යය චාරිකාව හරහා..ඒ අතීතය ගැන සිහිපත් කළොත්?
ඒක අහම්බෙන් සිදුවුණු දෙයක් කියන්න පුළුවන්.නමුත් ඒ අහඹු අවස්ථාව අද මගේ ජීවිතය විශාල වෙනසකට ලක් කරන්නට සමත් වෙලා.2000 වසරේදී තුරුණු ශක්තී තරගය සඳහා අයදුම් කළේ මගේ මල්ලි.හම්බන්තොට දිස්ත්‍රීක් පළමු තරගය සඳහා අපි දෙන්නම නියෝජනය කළා.මම පළමුවැනියා වුණා.මල්ලි දෙවැන්නා වුණා.ඒත් සමස්ථ ලංකා දක්වා යන්නට වාසනාව හිමිවුණේ මටයි.
ඒ වසරේදී නිවේදන අංශයෙන් මම සම්මානයට ද පාත්‍ර වුණා.විශේෂයක් සිදුවුණා. ඒ තමයි ඒ තරගය සඳහා සහභාගී වීමට ලැබුණේ තෝරාගත් එක් ඉසව්වක් සඳහා පමණයි.මට තිබුණු ගායන හැකියාව නිසාම ඉසව් දෙකම සඳහා ඉදිරිපත් වුවත් නිවේදන හා ගායන අංශ දෙකෙන් එකක් තෝරා ගන්නට සිදුවුණා.මා තෝරා ගත්තෙ නිවේදන අංශය.
• එතකොට ඔබ ස්වාධීන රූපවාහිනිය හා සම්බන්ධ වෙන්නෙ?
රූපවාහිනි මහගෙදර ක්‍රීඩා අංශයට නවක නිවේදකයකු ලෙස සම්බන්ධ වෙන්නෙ 2002 වසරේදී.එදා සිට අද දක්වා ITN නාළිකාවෙහි සේවය කරනවා.
• එදා මෙදා තුර ඔබ මෙහෙයවූ වැඩසටහන් මොනවාද?
පාරිසරික වැඩසටහන්, සංගීතමය වැඩසටහන්, වගේම දැනට විකාශනය වන අඟහරුවාදා මල්සර වැඩසටහනෙහි නිෂ්පාදනයෙන්,සිව් මංසල, COFFE TABLE, වාර්ථාමය වැඩසටහන් මෙන්ම අලුත්ම වැඩසටහන වන ‘කුණු කියන්නෙ සල්ලි තමයි‘ කරගෙන යනවා.
• මෙතෙක් ආ ගමන් මඟ ගැන ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම ඒ ගැන සතුටුයි. මොකද වැටුණු තැන් බොහොමයි.මුල් කාලයේදී නම් පුංචි දෙයටත් හිත රිදුණු තැන් තිබුණා.ඒත් ඊතලයක් පස්සට අදින්න අදින්න එහි ශක්තිය වැඩිවෙනවා වගේ ඒ පසුබට වුණු අවස්ථා අත්දැකීමක් කරගත් නිසා මගේ ඉලක්කය වෙත යන්නට තරම් මට ශක්තියක් වුණා.