මගේ දුර්වල තැන් සමා­ජය දැන­ගන්න අවශ්‍ය නැහැ | සිළුමිණ

මගේ දුර්වල තැන් සමා­ජය දැන­ගන්න අවශ්‍ය නැහැ

ටෙලි නාට්‍යවල අපි දකින සමහර චරිත අපේ හිත්වලට කොයි තරම් සමීපද කියනවා නම් හැම මොහොතකම ඒ චරිතය හැම අවස්ථාවකම දකින්න

තිබෙනවා නම් කියා සිතෙනවා. 'මයික්' කියන්නෙත් ඒ වගේ චරිතයක්. මයික් ඉන්නේ 'දෙවෙනි ඉනිම' ටෙලි නාට්‍යයේ. අද අපේ මේ කතා බහ සිදු වන්නේ මයික් ගේ චරිතය තුළින් මෙරට සුවහසක් ටෙලි නාට්‍ය රසිකයින්ගේ ආදරය දිනූ 'දෙනුවන් සේනාධී' එක්ක.

 අද මොකද වෙන්නේ?

ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය 'දෙවෙනි ඉනිම' ටෙලි නාට්‍යයේ අද රූගත කිරීම් සිද්ද වෙනවා. තැන විශේෂයි. අංගොඩ මානසික රෝහලේ ඉඳන් තමා අපි රූගත කිරීම් කරන්නේ.

මයික් ට දෙවැනි ඉනිම ලැබුණේ ?

සාරංග, මගේ මිත්‍රයා කාලයක් තිස්සේ කියා කියා හිටියා,දෙනුවන් අලුත් ටෙලි ඩ්‍රාමා එකක් පටන් ගන්නවා.වෙන වැඩ මුකුත් භාර ගන්න එපා. ලංකාවේ හිට් වෙන්නම කරන්න ඕන. ඒ කාරණාව නිසා අවස්ථාව තියාගෙන ඉන්න කියලා කිව්වා.

මයික් ගේ වර්තමානය දෙනුවන්ගේ අතීතයද?

මයික් කියන චරිතය ඇවිල්ලා, හැමෝම කැමැති, සමාජය තුළ තමන් විශේෂ පුද්ගලයෙක් බව පෙන්වන චරිතයක්. මේ අතරේ අපි ජීවත් වෙන කාලය තුළ , අපිට සියලුම දේ සපුරා ගන්න බැහැ. ඒක තමා මනුස්ස ස්වභාවය.ඉතින් මම හිතුවා, මයික් කියන චරිතය කියන්නේ සමාජයේ එක චරිතයක්. මම පාසල් යන කාලෙදිත් මට සමහර ගැහැනු ළමයින්ව යාළු කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මම කැමැති වුණු ගැහැනු ළමයි, මට කැමැති වුණේ නැහැ.. උදාහරණයක් විදියට ගත්තොත් මගේ උස අඩුයි. මම තමා පන්ති කාමරයේ හිටිය කොටම එක්කෙනා. මගේ size එක මදි වීම ඒකට එක හේතුවක් වුණා. .හැබැයි මානසික මට්ටමින්, අපිට කෙනකුට ආදරේ කරන්න ශක්තියක් තියෙනවා.ඒක එක කාරණාවක්. තවත් දෙයක් තමා මම boys school ඉගෙන ගත්තේ. මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ. මම ඔයාට උදාහරණයක් කියන් නම්, ස්කෝලෙට ලස්සන ටීචර් කෙනෙක් අවට පස්සේ මයික් හැසිරුණු විදිය තමා ඉතිං දෙනුවනුත් හැසිරුණේ. ඒ දේවල් හොඳට මතක තියාගෙන තමා මෙතැන රඟපාන්නේ.

දෙනුවන් ට මේ ලැබුණු අවස්ථාව සුවිශේෂී නේද?

දෙවෙනි ඉනිම මගේ ජීවිතේ වෙනස්ම අවස්ථාවක්. මම රඟපාන්න ඇවිල්ලා අවුරුදු 10 ට වැඩියි. මේ කාලය තුළ දෙවෙනි ඉනිම කියෙන්නේ ජීවිතයේ හම්බ වුණු හොඳම අවස්ථාව. දෙමළ නළුවෙක් ඉන්නවා ප්‍රකාශ් රාජ් කියලා. ඔහු රඟපාන චිත්‍රපටියක, අවසානය දක්වා හොයා ගන්න බැහැ. ඔහු හොඳ පැත්තේද නරක පැත්තේද කියලා.මම හිතනවා actor කෙනෙක් කියන්නේ සප්ලයිස් කැරැක්ටර් එකක් වෙන්න ඕන. ඉතිං මම මයික් තුළින් දෙනුවන් සේනාදී දක්ෂ රංගන ශිල්පියෙක් කියලා සමාජයට පෙන්නලා තියෙනවා සහ පෙන්නමින් පවතිනවා.ඉතිං රංගනය කියන්නේ හැම වෙලාවෙම අහුවෙන් නැති දෙයක්. ඒක ඇවිල්ලා මවාපෑමක්. ඒ මවාපෑම අතිශෝක්තියක් නොවෙන්න ඕන. ඒ කියන්නේ, රඟපෑම රඟනොපෑම සිටීමක් නමුත් රඟපෑමක්. වචනේ පවා තේරුම් ගන්න අමාරුයි. මටවත් හිතා ගන්න බෑ මම කරන දේ.

දෙනුවන් කියන්නේ Entertainment Presenter කෙනෙක්

මම දැනටත් දෙරණ ආයතනයේ නිවේදකයෙක් විදියට Entertainment presenter කෙනෙක් විදියට වැඩ කරනවා. නමුත් මම reality show ඉදිරිපත් කරන කාලේ මම හිතුවා, මේක තමා මගේ වැඩේ කියලා. මම රඟපෑම මුලින් පොඩ්ඩක් අත්හැරලා හිටියේ.

ඇයි ඒ ?

ඒකට එක හේතුවක් තමයි මම හිතුව රඟපෑම මිට එහා මට දියුණු කර ගන්න අමාරුයි කියලා. මට අවස්ථාවක් නැහැ. ෆ්ලෝ එකක් නැහැ කියලා. හැබැයි මට සාරංග පෙන්නුවා, ඔයාට ෆ්ලෝ එකක් තියෙනවා.මේක තමා ඔයාගෙ ෆ්ලෝ එක. මේක හරියටම judge කර ගත්තොත් ඔයාට හොඳ actor කෙනෙක් වෙන්න පුළුවන් කියලා. දැන් මට ලොකු විශ්වාසයක් ඇති කළා දෙවෙනි ඉනිමේ මයික්.

මයික්ට ලැබෙන ප්‍රතිචාර?

ඇති විශාලයි. මගේ මුළු ජිවිත කාලෙටම මේ තරම් ජනප්‍රියත්වයට පත් වෙච්ච කාලයක් නැති තරම්. ඒ කියන්නේ fb එකෙන් පවා මට අසීමිතව විදියට මිනිස්සු මට ප්‍රියතාවයක් දක්වනවා. පෙළක් අය නාට්‍යම බලනවා කියලා කියනවා මම නිසා. මම සාමාන්‍ය පුරවැසියෙක් විදියට පාරේ යද්දී , එක ෂොට් එකෙන්ම කියනවා 'මයික්' කියලා. කිසිම කෙනෙක් වෙන නමකින් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මම මේකේ ප්‍රධාන චරිතයක් නෙමෙයි. අඩුම ගානේ දෙවැනි ඉනිමේ ෆොටෝ එකේවත් මම නැහැ. මම චරිතේම අරගෙන, ඒක සමාජගත කළා.

ඇත්තද පිටපත කියවද්දී හිනා යනවා කියන කතාව?

සමන් එදිරමුණි මට වඩා විහිළු කාරයෙක්. සාරංග මෙන්ඩිස් කියන්නේ, අපිට වඩා දක්ෂ ප්‍රහසන ශිල්පියෙක්. ඉතිං හරියට අපිව මෙහෙවනවා. අඩු කෑලි, වැඩි කෑලි එකතු කරනවා. ඇත්තෙන්ම පිටපත කියවද්දී හිනා යනවා. එහෙම අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙනවා.

මේ යන විදියෙන් ඔබ එක චරිතයකට ම කොටු වෙයිද ?

මම හිතන්නේ , අපි ජීවිත කාලය තුළ කොටු වෙච්ච මිනිස්සු. අපි කොටු නොවුණොත් සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙන්නේ නැහැ. අපි පරිණත වෙනවා කියන්නේ එක ක්ෂේත්‍රයක් තුළ , අපි ඒ තුළ කොටු වෙන්න ඕන. නමුත් අපේ රටේ තියෙනවා කොටු වෙන්න එපා කියන මානසිකත්වයක්. ඇයි දන්නේ නැහැ එහෙම කියන්නේ. මට ඒක හරිම ගැටලුවක්. මම මේ චරිතෙන් මිදිලා, මහා චරිතාංග නළුවෙක් වෙන්න ගිහින් , මේ මිනිස්සු ගේ මට තියෙන සතුට, නැති කර ගන්න මම කැමැති නැහැ. මට මගේ පරාසය ඇතුළේ මට ගන්න පුළුවන් හැමදේම මම ගන්නවා. ඊට එහා මම යන්නේ නැහැ. මම විශ්වාස කරනවා, අපි චරිතාංග විය යුතු නැහැ කියලා.

නමුත් ඔබට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතිලා නැද්ද?

නමුත් ඒ දේට කාලයක් තියෙනවා. කාලය තීරණය වෙනස් කරනවා. මම මේ කාලේදී මේ විදියට හැසිරුණාට , මට අවු.50 වෙද්දී මිට වඩා වෙනස් දෙයක් මම කරයි. කාලයට අපි අවස්ථාව දෙමු.

මේ ක්ෂේත්‍රයේ ඔබට අභියෝගයක් වෙන්න කවුරුත් නැද්ද?

අභියෝගයක් තියෙනවා, මට මම ගැනම. මම මගේ දුර්වල තැන් කියන්නේ නැහැ. ඒ දේවල් සමාජය දැන ගන්න අවශ්‍ය නැහැ. මම ෆයිට් කරන්නේ මාත් එක්ක. මට කරන්න බැරි දේවල් මම කරනවා. 

Comments