තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

දෙන්නටම සම්මාන

රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ඔහුත් ඇයත් අමුතුවෙන් හඳුන්වා දිය යුතු යුවළක් නොවෙයි. දිනපතා රාත්‍රී හතට හිරු ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ඔවුන් දෙදෙනාම නිරතුරු අපේ නෙත ගැටෙනවා. මේ දෙදෙනා ප්‍රවෘත්ති නිවේදනයෙන් රටම හඳුනන සාරංග පතිරණ සහ පුබුදු රත්නායක යි. පසුගිය දා මේ දෙදෙනාගේම දක්ෂතා රටටම හෙළි දරව් වුණා. ඒ පුබුදු වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානයත් සාරංග වසරේ හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානයත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී හිමි කර ගැනීම නිසයි. ලැබුණු සම්මාන ගැන පුබුදු කතා කළේ හරිම සතුටකින්.

'හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය මට හිමි වීම ගැන ලොකු සතුටක් හදවතේ තිබෙනවා. මොකද ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස වසර දහයක කාලයක අත්දැකීම් මා සතුයි. 2006 වරේ දී තමයි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මම කටයුතු කරන්නට පටන් ගන්නේ. ඒ ස්වර්ණවාහිනියේ 'ලයිව් අැට් එයිට්' ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස එක් වෙමින්. පාසලෙන් ඉවත් වූ පසුව මාධ්‍යයට එක් වෙන්න ලැබීම වාසනාවක් වුණා. ඉන්පසුව 2010 වසරේ දී සමපත් බැංකුවේ සේවයට මම එක් වුණා. ඒ අතර 2012 වසරේ දී හිරු නාළිකාවට ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස එක් වෙනවා. අද වන විට වසර පහක් පුරා හිරු නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. වසර දහයක් පුරා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කළ කැපවීමට ලැබුණු සම්මානයක් ලෙසයි මම මෙය දකින්නේ. ඒ වගේම මගේ නමත් සමඟ නිර්දේශ වී තිබුණේ තවත් දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනකුගේ නම්. ඇත්තටම මට මේ සම්මානය හිමිවෙයි කියලා මම හිතුවේ නැහැ. නිර්දේශවීමත් ලොකු දෙයක් කියලයි මම හිතුවේ. කොහොම නමුත් මම මාධ්‍ය ක්ෂේත්‍රයට එක් වෙන විට මාධ්‍ය ලෝකයේ දන්න කියන කිසිවෙකුත් හිටියේ නැහැ. මම දකින්නේ දක්ෂතාවයට සහ කැපවීම මත මම පැමිණි ගමනක් තමයි මේ. වසර ගණනාවක සිට මගේ ඒ කැපවීමට සාධාරණය මේ සම්මානය ඉෂ්ට කළා. ඒ වගේම මේ ගමන මාත් සමඟ අත්වැල් බැදගෙන යන මගේ දයාබර සැමියා සාරංග පතිරණවත් මේ මොහොතේ මතක් කරනවා.'


අපෙනුත් සුබ පැතුම්.

කලා දිවියේ වසර තිස් පහක් සමරනවා කියන්නේ එය කලාකරුවෙකු හෝ කලාකාරියක ලබන ඉහළම සතුටක්. ශ්‍රී ලාංකේය නර්තන අනන්‍යතාවය ලෝකයට විදහා පෑ ඇය සමන්ති විද්‍යාපති. ප්‍රවීණ නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපතිගේ ප්‍රිය බිරිය. අද සමන්ති විද්‍යාපති නර්තනාචාර්යවරිය සිය කලා දිවියේ වසර තිස් පහක් වගේම තම දිවි මගේ පනස් පස්වැනි උපන්දිනය සමරනවා. ඒ වෙනුවෙන් අද පෙරවරු 10 ට ලයනල් වෙන්ට්ඩ් හි දී ඇයගේ ජායාරූප ප්‍රදර්ශනයක් හා උපහාර උළෙලක් ඇගේ සිසු දූ දරුවන් සංවිධානය කොට තිබෙනවා. මේ ගැන සමන්ති විද්‍යාපති සමඟ අපි කතාබහ කළා. ' ඇත්තටම නර්තන දිවියේ වසර තිස් පහක් ගෙවී යනවා කියන්නේ එය ලොකු කාලයක්. සතුටක් දැනෙවා. ඒ වගේම මේ කාලය තුළ දූ දරුවන් වෙනුවෙන් නර්තනය බෙදාහදා දෙන්නට ලැබීම ගැන අප්‍රමාණ සතුටක් හිතේ ඇති වෙනවා. මම අවුරුදු පහේ දී පමණ තමයි චිත්‍රසේන - වජිරා කලායතනයෙන් නර්තනය හදාරන්නට යොමු වුණේ. ඉන් වසර දහයකට පසුව වෘත්තීමය නර්තන ශිල්පිනියක් ලෙසින් නර්තන කලාවට, මුද්‍රා නාට්‍ය කලාවට යොමු වෙන්නට මට හැකිවුණා. 'නල දමයන්ති', 'හපනා' වැනි මුද්‍රා නාට්‍යවලින් මගේ හැකියාවන් ඉදිරියට ‍ෙගන ආවා. අද වන විට මුද්‍රා නාට්‍ය ගණනාවක මම නර්තනයේ යෙදී තිබෙනවා. විශේෂයෙන් රවිබන්දු විද්‍යාපති මගේ ස්වාමියා සමඟ මුද්‍රා නාට්‍ය නිර්මාණය කරමින් ඒවාට හැම අංශයකින්ම වගේ දායක වෙලා නර්තනය ඔස්සේ රටට යමක් කරන්නට ලැබීම සතුටක්.'


නාලකගෙන් 'ඊතලය'

මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන වේදිකා හා සිනමා නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් තමයි නාලක විතානගේ. නාලක සිනමාවත් සමඟ පැමිණි ගමන් මගේ සොඳුරුතම කාලයක් තමයි මේ ගත කරන්නේ. පසුගියදා නාලක ඔහුගේ සිව්වැනි සිනමා අධ්‍යක්ෂණය 'සරුංගල්' චිත්‍රපටය නිර්මාණය කළා. ඒත් සමඟම මේ දවස්වල ඔහුගේ පස්වැනි සිනමා නිර්මාණයට ඔහු සූදානම් වැනි පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන තොරතුරු අපි ඔහුගෙන් විමසා බැලුවා. ' මගේ නවතම සිනමා නිර්මාණය තමයි 'ඊතලය'. එය අපූර්ව කතා තේමාවකින් රචනය වුවක් බව මම ප්‍රේක්ෂකයන්ට කියන්න කැමැතියි. දේශපාලනඥයන් කිහිපදෙ‍නෙකු සහ ත්‍රස්තවාදී චරිතයක් වටා ගෙතෙන කතාවක් එය. මේ චිත්‍රපටය මිෂන් ඇක්ෂන් මූවි එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අතර ආදරය, සංත්‍රාසය, දුක මේ හැම දේම දෝලනය වෙනවා. මැද මාවතේ චිත්‍රපටයක්. මෙහි ධර්මප්‍රිය ඩයස්, ශාම් ප්‍රනාන්දු, ගයාත්‍රි ඩයස්, කැලුම් කුලරත්න, චමත්කා ලක්මිණී ප්‍රධාන චරිත නිරූපණයෙන් එක් වෙනවා. ජීවන් කුමාරතුංගයන් ආරාධිත චරිතයකට දායක වෙනවා. ඒ චරිතය චිත්‍රපටයේ මුල සිට අග දක්වාම දිව යන චරිතයක්. මෙවැනි චිත්‍රපටයක් මම නිර්මාණය කරන්නේ කලකට පසුවයි. එකිනෙකට වෙනස් තේමාවන් ගෙන් යුතු චිත්‍රපටි මම මින් පෙර නිර්මාණය කළ නිසාම මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු සහ ලැබෙන ප්‍රතිචාර ඉහළයි. එනිසා සිනමා කරුවෙක් ලෙස මම පැමිණි ගමන ගැන නිහිතමානී සතුටක් මම ලබනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරියේදී ලෝකයේ දක්නට ලැබෙන ප්‍රබල චිත්‍රපට මෙන් අපේ ලාංකේය සිනමාවෙත් නවමු තැන් සොයා යමින් අලුත් චිත්‍රපට නිර්මාණය කරන්නට මම බලාපොරොත්තු වෙනවා.'


විරාමයට තිත

නිලන්ති ඩයස් ජනප්‍රිය දක්ෂ සුන්දර නිළියක්. මේ දවස්වල නිලන්ති වැඩි සද්ධයක් බද්ධයක් නැහැ. නමුත් ඉඳහිට විකාශය වන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ඔස්සේ ඇගේ ආකර්ෂණීය රුව අපිට දැක ගන්නට ලැබෙනවා.කොහොම වුණත් නිලන්තිගේ නවතම තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා.

'මේ දවස්වල වැඩි පුරම කාලය ගත වෙන්නේ නිවෙසේ සහ බබාගේ වැඩකටයුතු වෙනුවෙන්. පසුගිය දවස්වල 'ස්ටාර් සිටි' රියැලිටි වැඩසටහනට දායක වුණාට පසුව කලාවේ වෙනත් කටයුත්තකට දායක වෙන්නට නොලැබුණු තරම්. දැන් බබාටත් අවුරුදු 4ක්. දැන් එයා පෙරපාසල් යනවා. කාලය තරමක් ඉතුරුයි. එනිසා හොඳ කලා නිර්මාණයකට දායක වෙන්නට මට පුළුවන් කම තිබෙනවා. කලා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න ආරාධනා ලැබුණත් කාර්යබහුල බව වගේම තවත් වැඩකටයුතු නිසා එය ප්‍රතික්ෂේප කරන්නට මට සිදු වුණා. කොහොම වුණත් අලුත් හොඳ චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක චරිතයක් නිරූපණය කරන්නට දැන් මම අදහස් කරගෙන ඉන්නවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් එහි රඟපාන්න දෙවරක් හිතන්නේ නැහැ.

 

 

Comments