‘තුත්තිරි’ මානවීය හරයක් ඇතිකාව්‍ය සංග්‍රහයක් | සිළුමිණ

‘තුත්තිරි’ මානවීය හරයක් ඇතිකාව්‍ය සංග්‍රහයක්

කර්තෘ - කුසුම් නිශාන්ති පතිරාජ

ප්‍රකාශනය -ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

එක් එක් කොටස්වලට ඉරී; විදාරිත වූ ලෝකයක ජීවත්වෙන අපට, දිග හුස්මක් හෙළා ළය සැහැල්ලු කර ගැනීමට ඇති ‍හොඳම කලා මාධ්‍යය වන්නේ කවියයි. ඒ වූකලී සියල්ල ඉක්මවා යන මානවීය හරයක් සහිත කවි වලින් සුපෝෂණය කළ යුතු ලිවිසැරි කලාවකි.

මෙවදන් මා සිතට ඇතුළු වූයේ කුසුම් නිශාන්ති පතිරාජ කිවිඳියගේ ‘තුත්තිරි’ නම් වූ අලුත්ම සහ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය රස විඳින අතරවාරයේය.

බෘහස්පති කලා සරසවියේ හරීෂ් දීප් වල්පොළ තුත්තිරි කවි එකතුවට ලියූ සැකෙවි පූර්විකාවෙහි සටහන් කරන පරිදි කුසුම් නිශාන්ති සතු ප්‍රධානම ගුණය නම් නිරවුල් චින්තනයයි. එය අසත්‍යයක් නොවන බවට නිදර්ශක සපයන්නට තුත්තිරි කාව්‍ය සමුච්චය සමත් වෙයි.

තුත්තිරි කාව්‍ය සංග්‍රහයෙහි විශේෂත්වයක් ලෙස මා දකින්නේ; මෙහි ඇතුළත් නිදහස් ආරේ නිසඳැස් නිර්මාණ හතළිහෙන් දාහතක්ම ස්ත්‍රීත්වය හා සබැඳි නිමැවුම් වීමයි. ඒ අනුව; සීතාවෝ, ගණිකාවක් නොවෙද ඔබත්, යෝධයාගේ බිරිඳ, හිමිකාරයාගේ ඇස්, දුර හා ළඟ, තේ කහටයි, නූතන පෙම්වතිය, සමනලී දුවට, අනාචාරය, ප්‍රශ්නාර්ථය හා පුරුෂාර්ථය යනාදී වශයෙන් ඈ කර ඇති කවි පබැඳුම්වලින් පෙහෙළි වන්නේ, පුරුෂ මූලික පුරුෂෝත්තමවාදී සමාජයේ ස්ත්‍රිය සම්බන්ධයෙන් පවත්නා අගතීන් සහ ස්ත්‍රී පීඩනය දෙසට, අප කිවිඳියගේ කාව්‍යාක්ෂිය යොමුවන ආකරය යි. යෝධයාගේ බිරිඳ නම් වූ පැදිපෙළ ඊට කදිම නිදසුනකි.

“මිනිහ නම් නැගිටලා යන්න යයි
යහන කොන නිදන්නේ ඔහු නිසා.....”

ස්ත්‍රී මානව හිමිකම් අවතක්සේරු කෙරුණු සමාජ පරිශ්‍රයක තමන් ආරක්ෂිත යැයි හිත රවටාගන නිදා ගැනීමට ය අද කාන්තාවන්ට සිදුවී ඇත්තේ. සංස්කෘතයෙන් සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයට දායාද වූ ලංකාර කාව්‍යාභරණ නොපැළැන්දුවත්, මෙවැනි (අන්තර්ගතය අතින් වැදගත් වන) පද්‍ය රචනා සහෘදාවධානයට යොමු වන්නේ නිරායාසයෙනි. මෙහි “යෝධයා” නමැති කේවල සංකේතයෙන් තුත්තිරි රචිකාව නිරූපණය කරන්නේ පුරුෂාධිපති වූ සමාජ ස්ථරයයි. ඒ අනුව යෝධයන්ටත් බිත්තිවලටත් “වටවී, සිරවී, වකුටු වී” කාන්තාවන් ගෘහ අඩස්සි ගත වීමේ සත්‍යයට රසිකයන් වන අපට පිටු පෑ නොහැකිය. ඒ අඩස්සි වලින් ගැලවී යා යුතු ය යන විමුක්තිකාමී ආකල්පය දැල්වීමට මෙන් කුසුම් නිශාන්ති කිවිඳිය “ප්‍රශ්නාර්ථය හා පුරුෂාර්ථය නමැති කෙටි කවියකින් මතු කරන උත්ප්‍රාසය බලන්න.

“අනඟ ගමනක් ගොසින්
ගෙට ආ කලට රහසින්
රහල් හිමි කී ලෙසින්
සෝදවා ගෙට ගත යුතු ද පිරිමින්”

දුර්වල පද සංඝටනාවක් වුවද මෙකවියෙන් මතු කරනා වූ අර්ථයත්, අදහසත් අතරින් නැ‍ඟෙනුයේ ද යම්කිසි මානවීය හරයකි. ඒ අනුව අනියම් සබඳතා පවත්වන පුරුෂයන් පරදාර කර්මයෙහි යෙදී ශුද්ධවන්තයන් ලෙස පෙනී සිටීම කාන්තාවන් නො ඉවසන බව හෙළිදරව් කිරීමට කිවිඳියට අවශ්‍ය වූ බව පැහැදිලි වේ. අප විසින් අගැයෙන්නේ තත්කාලීන වශයෙන් වැදගත් වන ඇගේ එම පරමාර්ථයයි.

“අනාචාරය” නම් වූ සැකෙවි කවියෙන් ඈ නඟන ස්වරය නිර්භය හැඟීමෙකින් යුතුව මතු කරන නිර්දය විචාරයකි.

“මහා රජෙකි
මහ අන්තඃපුරයක් ඇති
අභිමානයක් ලු!
පුරුෂයාට නම්
අනාචාරය
ගැහැනිය කළා නම්
පාපකර්මයක්ලු! එය
ආනන්තරීය
වාගෙම...”

මේ හඬ සමාජ ගර්භයෙන් මතු වන හඬක් බවට පත්වන්නේ කවියේ පද කැටි අතර ඇති, අභිමානයක් ලු! පාපකර්මයක් ලු! යන පද අග යොදා ඇති ‘ලු’ නිපාතය නිසාය. ශ්‍රැතිසුචනාර්ථයේ ‘ලු’ යොදනුයේ කටින් කට පැතිර යන බව ඇඟවීමට ය. ඒ අනුව මෙම සංක්ෂිප්ත පද්‍යය ජනතා මුවින් මුව නැඟෙන ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීම සිත්කලු ය.

“තුන්රෝද රියදුරා” නම් වූ පද්‍යයෙන් තුත්තිරි නිර්මාපිකා ව ගම්‍යමාන කරන්නේ නිර්ප්‍රභූ සමාජයෙහි ජීවන චක්‍රය කරකවමින් දිවි සටනෙහි යෙදෙන මිනිස් දාමයේ නො නවතින දිවිල්ල යි. දවසේ තුන් වේලවත් හරිහැටි උපයා සපයා ගත නොහැකි මිනිසුන් වෙනුවෙන් පෑන මෙහෙයවීමේ යුතුකමින් කුසුම් ද නිදහස් වන්නේ නැත.

“උදයෙන් ම ඔබ යයි
මැදියමේ ගෙදර එයි
ඔබ දුවයි
ඇප නූල අරන් මෙන්
දෙකොන ගිනිගෙන මෙන්
කෑමට ගෙදර එයි
කඩිමුඩිය ඉහමුලින් බේරෙයි
සෙල්ෆෝනය හඬයි
හයර් එක අපරාදෙනේ
බත් පතෙන් බාගයයි
ඔබ දුවයි...
රථගාලේ සගයන්ගේ
කුණුහරුප විහිළු ගොඩ
නැග්ගොත් රුවැත්තියක් රථයට
දෙපිට කැපෙනා වචන හරියට
ඔබ දුවයි...
ගමන් වාර ක්‍රමයට
ටර්න් එක එනතුරා
රථයේම ඇලවෙයි
කෙටි පණිවිඩ
ඉබාගාතේ අරියි...
රාත්‍රියේ ගෙදර එයි
යශෝදරා ද රාහුල ද
නිදි වගෙයි
ඔබ නිදයි...
උදේ හිස් පසුම්බිය
“දුවල ම කන්නම්”
ඔබ දුවයි...”

තුන් සක රියෙහි ඇදුරාගේ ජීවිතය අනවරත දිවිල්ලකි ‘ඇප නූල අරන් මෙන්, දෙකොන ගිනිගෙන මෙන්” උපමා ද දිවිල්ලේ තරම පෙන්වයි. මේ නම් ලියන කවි නොව නිසර්ග කිවියාවකින් ලියැවෙන කවි ය. කවි පෙළේ අවසන් අර්ථයේ එන පරිදි රාත්‍රියේ නිවහනට එන තුන්රෝද රිය­ැදුරුට පෙනෙන්නේ තම තුරුණු ගමන් සගයා වන බිරිය සහ දරුවා නිදා සිටින ආකාරයයි.

බිරිය යශෝදරා ය, දරුවා රහුල ය. කවි රසිකයන් වන අපට මෙතැනදී මතකයට නැ‍ඟෙන්නේ සිදුහතුන්ගේ අභිනික්මන අවස්ථාවයි. එහෙත් මේ සිදුහත් කුමරු නොවේ. සසරාන්තය දැක්මට අභිනිෂ්ක්‍රමණයෙහි යෙදුණු සිදුහත් කුමරාට මෙන් ඔහුට නික්ම යා නොහැකිය. උදේ හිස් පසුම්බිය දකින ඔහු උදයේ අහර කිස සපයා ගැනීමට මුදලක් සොයා ගත යුතුය. ඔහු දුවයි. අපි ද ඔහු සමඟ දුවමු. හදවතින් දුවමින් හදවතට ගලන සංවේදීතාවේ කඳුළට ඉඩ දෙන්නෙමු. කවියකින් කරන්නා වූ සමාජ විවරණය විසිනි එයට අගයක් වටිනාකමක් ලබා දෙන්නෙ. මම පෞද්ගලික ව මෙබඳු කවිවලට ප්‍රිය කරමි.

තුත්තිරි කාව්‍ය සංග්‍රහයෙහි අන්තර්ගත ‘දැල පසළොස්වැනි විවාහ සංවත්සරය, පුප්පන නයි මැද, යුද්ධයේ කඳුළක්, තරාතිරම, කක්කුට්ටෝ, හයි වේ, යශෝදරා, නියඟය, නූතන පෙම්වතිය වැනි පද්‍යයන් කිවිඳියගේ මානව බන්ධූත්වයේ සහ සමාජ දැක්මෙහි, කවි සැරියෙහි, සොඳුරු පද්‍යාවලියක් ලෙස අගය කළ හැකිය.

කාව්‍යාලංකාර භාවිතය සහ ආකෘතික පරිසමාප්තිය පිළිබඳව නොව අන්තර්ගතය පිළිබඳව සලකා බලන විට අද්‍යතන සමාජ සත්තාවෙන් බැහැර වන්නට කුසුම් නිශාන්ති සූදානම් නැතැයි අපට සිතේ. ඇගේ හැම කවියකම ඇත්තේ සමාජයේ විවිධ පැතිකඩ දෙසට සහෘදාවධානය යොමු කරන අනුභූතීන්ය. නූතන පද්‍යයේ කැපී පෙනෙන සංලක්ෂණය වන්නේ ද විලම්බීත විපර්යාසයික සමාජයේ, සරු සත්දහම් නාශනය වූ සමාජයේ, සාමාන්‍ය ජන සමාජයේ සංකීර්ණතාව රූපණය කරන අනුභූතීන් කෙරෙහි කවි ඇස නැඹුරු වී තිබීම යි.

විරහව, කලකිරීම, අපේක්ෂා භංගත්වය, දරිද්‍රතාව, යුද්ධය, ප්‍රේමය සහ සාමය ආදි සමාජ සාධක වත්මන් කවි කිවිඳියන්ගේ අවධානයට ගැනෙන්නේ එබැවිනි. ඒ අනුව කුසුම් ද හාත්පස සමාජ පරිසරයේදී ඇඟ හැපෙන අනුභූතීන්ට සාවධාන වීමේ වරදක් නැත. අද ඇය ම වි ඇගේ නිර්මාණ චාරිකාවේ යෙදුණත් විටෙක මට සිහි වන්නේ අනෝමා රාජකරුණා, මදුරසිංහ ගුණතිලක, දයාසේන ගුණසිංහ වැනි කවි කිවිඳියන්ගේ නිර්භය කාව්‍යාත්මක ප්‍රකාශනයන් ය.

කවිය අභියෝගයට ලක් ව ඇති තත්කාලයෙහි කවි පබැඳුමක් කිරීමට සිතීම සහ පෑන අතට ගැනීම ම අගය කළ යුතු සාධකයකි. එහෙත් පෙනෙන පදාර්ථයන්හි ඇති නොපෙනෙන දේ කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු කිරීම වැදගත් ය. අද්‍යතන කවි කිවිඳියන් ස්වකීය කාව්‍ය නිර්මාණකරණයට එකමාකාරයේ මාතෘකා යොදා ගැනීම නොකළ යුතුය. වක්‍රව, ව්‍යාංගිකව කාව්‍යාත්මකව, අනුභූතීන් සූචනය කිරීමේ ශක්තිය ඔවුන් ලබාගත යුත්තේ සතත අභ්‍යාසය සහ අන්‍ය කාව්‍යාවලීන් ද රස විඳීම තුළිනි. කවුරුන් කෙසේ කීවත් කවි බස යැයි සම්මත බසක් ඇත. ඊට, භාවිත ව්‍යවහාර භාෂාව සහ විදග්ධ වියත් භාෂාව ද මිශ්‍ර කොටගෙන කවි පද බැඳුම්හි නිරත වීමට ඔවුන් ප්‍රෝත්සාහි විය යුතුය. අන් කවි රස විඳීම තරම් සතුටක් තවත් නැතැයි සිතමින් කවියට පෙම් බඳිමින් ඒ තුළින් සමාජ මෙහෙවරක් කිරිමට කවි පබැඳිය යුතුය. ඒ සඳහා කුසුම් නිශාන්ති කිවිඳියට ශක්තිය හා ධෛර්යය ඇති බව ඇගේ කවි වලින්ම පෙනී යයි.

Comments