බෞද්ධ සෞන්දර්යය ගැටුම් නිරාකරණයට හොඳ මඟක් | සිළුමිණ

බෞද්ධ සෞන්දර්යය ගැටුම් නිරාකරණයට හොඳ මඟක්

බෞද්ධ පදනම අමතක කර ලංකාවේ සාහිත්‍යය ගැන සාකච්ඡා කළ නොහැකි ය. කිසි දා පැරැණි නොවන බෞද්ධ සාහිත්‍යය ගුණවත් මිනිසකු නිර්මාණය කරයි. නිර්මාණකරුවන් බුදු දහමින් ආභාසය ලබා නිර්මාණ කළ විට උසස් සාරධර්ම නොපිරිහුණු සමාජයකට මඟ පෙන්විය හැකි ය. මේ පිළිබඳ අදහස් දක්වමින් මෙවර 'සත්මඬල' සමඟ සංලාපයට එක් වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිපාණෝ ය.

සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමෙහි ලා බෞද්ධ සාහිත්‍යයෙන් ලැබෙන ආභාසය කොහොම ද, හාමුදුරුවනේ?

සම්පූර්ණයෙන් ම සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයක්. එහි පදනම වැටුණේ අනුරාධපුර යුගයේ ම යි. බුදු රජාණන් වහන්සේගේ ධර්මයට සිංහල භාෂාවෙන් ලියවුණු අර්ථ වර්ණනා වන 'හෙළටුවා' අපේ මුල් ම සාහිත්‍යය ලෙස සඳහන් කළ හැකි යි. හෙළටුවා අභාවයට යෑමත් සමඟ අපට ඉතිරි වන්නේ පාලි අටුවා. දස ‍වැනි සියවසෙන් පසු පොලොන්නරු යුගයේ නිර්මාණාත්මක සාහිත්‍යය පහළ වුණා. සංස්කෘත 'කාව්‍යාදර්ශයෙහි' අනුවර්තනයක් වන 'සියබස්ලකර' එහි මාර්ගෝපදේශ සැපයුවා.

"පෙදෙන් බුදු සිරිතෑ
බසින් වත් සිරිත් ඈ
පද යුතු බසින් නළු ඈ
අනතුරු ලකුණු දක්වම්"

යනුවෙන් සාහිත්‍යකරණයේ නියැළෙන පුද්ගලයා සෑම අවස්ථාවක ම බුදු සිරිතත්, බුදු ගුණත් වස්තුවිෂයය කරගත යුතු බව එයින් කියවෙනවා. පොලොන්නරු යුගයේ රචනා වුණු අමාවතුර, බුත්සරණ, ධර්මප්‍රදීපිකාව, ජාතක අටුවා ගැටපදය, වෙසතුරුදා සන්නය, අටදා සන්නය, මුවදෙව්දාවත, සසදාවත ඇතුළු සියලු සාහිත්‍යාංග සියබස්ලකර අනුගමනය කළා. ඊට පසු උදා වුණු දඹදෙණි යුගයේ රචනා වුණු සද්ධර්මරත්නාවලිය, කව්සිළුමිණ, ථූපවංශය, බෝධිවංශය යන සියලු සාහිත්‍යාංග ද බෞද්ධ මූලාශ්‍රයන් පදනම් කරගෙන රචනා වුණු බව අපට දකින්න පුළුවන්.

කුරුණෑගල යුගය වන විට 'එළු අත්තනගලු වංශය' වැනි විශේෂ වංශකථා සාහිත්‍යයක් බිහි වෙනවා. ඒ වංශකථා සියල්ල බෞද්ධ පූජනීය වස්තු මූලික කරගෙන ගොඩනැඟුණා. එළු අත්තනගලු වංශය හැර දළදා සිරිත, සිංහල මහා බෝධිවංශය වැනි විශාල වංශකථා සාහිත්‍යයක් බුදුසමය පාදක කරගෙන සිංහලෙන් බිහි වුණා.

එයින් පසු එළඹෙන ගම්පොළ යුගයේ 'සද්ධර්මාලංකාරය' නම් වූ මහා ග්‍රන්ථය ලියවෙනවා. එයත් බෞද්ධ සාරධර්ම සමාජගත කිරීමට ගත් උත්සාහයක්.

කෝට්ටේ යුගයේ කාව්‍යශේකරය, ගුත්තිල කාව්‍යය, බුදුගුණ අලංකාරය වැනි පද්‍ය කෘති රැසක් හා සන්දේශ කාව්‍ය රාශියක් රචනා වුණා. තොටගමු‍වේ රාහුල හාමුදුරුවන්, කෑරගල වනරතන හාමුදුරුවන් ඇතුළු වියත් පරපුරක් බෞද්ධ පසුබිම පදනම් කරගෙන සන්දේශ රචනා කරන්නට යෙදුණු බව පැහැදිලියි.

මහනුවර අවධියේ සාහිත්‍යය පිරිහීමට ලක් වෙලා, නැවත ගොඩනැ‍ඟෙන සෑම අවස්ථාවක දී ම බෞද්ධ ආභාසය ලැබුණා. මහනුවර යුගයේ මාල සාහිත්‍යය, ප්‍රශස්ති සාහිත්‍යය වැනි අවස්ථාවල පමණක් කුඩා වෙනස් වීම් සිදු වුණා...

ඔබ වහන්සේ මේ බෞද්ධ ධාරාව නූතනය හා සම්බන්ධ කර දකින්නේ කොහොමද?

කොළඹ යුගය වන විට නූතන කලාවේ වැදගත් කෘති රැසක් බෞද්ධ ආභාසයෙන් ගොඩනැ‍ඟෙන ආකාරය දැකිය හැකියි. උප්පලවණ්ණ, කුස පබාවතී, සිංහබාහු හැර සරත්චන්ද්‍රගේ අනෙක් නාට්‍ය සියල්ල බෞද්ධ ජාතකකථා පදනම් කරගත් ඒවා. නවකතා දෙස බැලුවත් බොහෝ කෘතිවලට බෞද්ධ කතා පදනම් වුණා. මෙහි දී වික්‍රමසිංහගේ බවතරණය, සරත්චන්ද්‍රගේ විලාසිනියකගේ ප්‍රේමය, සයිමන් නවගත්තේගමගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා වැනි කෘති සඳහන් කළ හැකියි.

සිංහල ගීතය දෙස බලන විට බුදු ගුණ ගායනා, බුදුසිරිත, බෞද්ධ සාරධර්ම පදනම් සාකච්ඡා කරන ආකාරය දැකිය හැකි යි. 10 වැනි සියවසේ සිට වර්තමානය දක්වා ම සියලු සාහිත්‍යාංගවල 75%-80%ක් විතර ම බෞද්ධ ලක්ෂණ දැකිය හැකි යි. ඒ නිසා අපේ සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයක්.

බෞද්ධ සාහිත්‍යයේ සෞන්දර්යය ගැන විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඒ ගැන ඔබ වහන්සේගේ මතය කෙබඳු ද?

බෞද්ධ සෞන්දර්යය සුවිශේෂ එකක්. අනෙක් සියලු සෞන්දර්යාංග තිබෙන්නේ ඇලීම සඳහා යි. නවකතාවක අඩංගු කාමය, ප්‍රේමය, රාගය, තණ්හාව, ආශාව වැනි දේ වැඩීම කලාව තුළ බොහෝ අවස්ථාවල සිදු වෙනවා. ඒත් බෞද්ධ කලාව, බෞද්ධ සෞන්දර්යය සුවිශේෂ යි. එය නෑලීමට මඟ පෙන්වන්නක්. ජාතකකථා සිත්තරා වෙස්සන්තර ජාතකය බිත්තියෙහි අඳින්නේ ඒ දෙස බලාගෙන සිටි පුද්ගලයාගේ මනස වීතරාගි සෞන්දර්යයකින් පෝෂණය වන ලෙසයි.

ථේර-ථේරි ගී බැලුවොත් සියල්ල වීතරාගී උතුමන්ගේ උදාන වාක්‍යය. හොඳ ම සෞන්දර්යවාදීන් වන්නේ රහතන් වහන්සේ යි. රහතන් වහන්සේ සෞන්දර්යය විඳින ආකාරය ථේරගාථාවලින් පැහැදිලි වෙනවා. වීතරාගීන් සෞන්දර්යය වින්දත් එහි කිසිදු අවස්ථාවක එහි ඇලීමක් සිදු වන්නේ නැහැ. උන් වහන්සේ සෞන්දර්යය විඳි මොහොතේ ම එහි නෑලී අවසන් කරනවා.

බෞද්ධ සෞන්දර්යය සමාජගත කරනවා නම්, ගැටුම් නිරාකරණය කිරීමට එය හොඳ මඟක්. එයට හේතුව: එහි අල්ලාගැනීමක් සිදු නොවන නිසා. බිඳ අත්හරින දෙයක් නිසා ගැටුමක් වන්නේ නැහැ. එය නැවත නැවත අත්පත් කරගැනීමට රණ්ඩු කෝලාහල අරගල සඳහා පොලඹවන්නේ නැහැ.

ගීත කලාව බෞද්ධ දර්ශනය හා ගළපාගත හැකි ද හාමුදුරුවනේ?

සම්පූර්ණයෙන් ම ගැළපෙනවා. බුදු රජාණන් වහන්සේ වරක් පංචසිඛ ගායනා කළ ගායනාවක් අනුමත කර තිබෙනවා. උන් වහන්සේ පංචසිඛගේ ගායනාව වින්දනය කර, "ඔබේ ස්වරය ඔබේ ගායනය හා ලස්සනට ගැළපුණා!" කියමින් ඒ පිළිබඳ විචාරයක් කළා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ කවදාවත් ගීතය ප්‍රතික්ෂේප කර නෑ. ගීතය කියන්නේ පුදුම තරම් සෞන්දර්යයක් ගැබ් වූ මාධ්‍යයක්. හැබැයි එය මිනිසුන්ගේ හැඟීම් අවුස්සන, මිනිස්සු කුලප්පු කරවන, නටවන, දඟලවන ඕලාරික අදහස් මතු කරන දෙයක් නොවිය යුතු යි. ගීතය සෑම විට ම මිනිසා සමාධිගත කරවන්නක් විය යුතු යි. අමරදේවගේ ගායනා අප අසන්නේ ඒ සමාධිගත බව සිතේ ඇති කරගෙන.

'බෞද්ධ ගීත කලාව' හැටියට වෙන ම ගීත කලාවක් නම් කළ හැකි ව තිබෙනවා ද, හාමුදුරුවනේ?

වික්ටර් රත්නායක‍යන් ගායනා කළ ගීතවල සියයට හැත්තෑපහක් ම තිබෙන්නේ‍ බෞද්ධ ගීත. රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලියූ සියලු ගීවල බෞද්ධ සාරධර්ම ඇතුළත් ව තිබෙනවා.

බුදු දහම මූලාශ්‍රයක් කරගෙන රචිත 'මේ තරම් සියුමැලි ද කළුගල්...' යන ගීතය මුල් කාලයේ කිසිවකුගේ අවධානයට යොමු නොවුණ ගීතයක්. වර්තමානය වන විට එය රාජ්‍ය සම්මාන දිනූ ගීතයක්. අවුකන ප්‍රතිමාව නිර්මාණය කළ කලාකරුවා කොතැනක සිටිනවා ද යනුවෙන් විමසන විට, කලා වැව ළඟ ඉළුක් සෙවණක මැටි පිලක ඉඳගෙන කළු ගලත් සමඟ හැප්පුණු අත්වල දෑතේ වේදනාව තව මත් පහ ව නොගිය නිසා තෙල් පිරිමදිමින් කලා වැවේ රළ දෙස බලාගෙන භාවනාවක යෙදෙන ආකාරය ගැන එහි සඳහන්. 'මැරෙන ඉපදෙන රළ' පිළිබඳ සිතමින් ඇති වීම, පැවතීම, නැති වීම - උත්පාද, ඨිති, භංග - පිළිබඳ අනිත්‍ය භාවනාව වඩන ආකාරය ද එහි සඳහන්. ඒ නිසා බුද්ධ ධර්මයේ තිබෙන ගැඹුර පැහැදිලි ව ම ගීත මාධ්‍යයට රැගෙන ආ හැකි යි.

Comments