
කඳු - ලඳු කරටිවල වියන් බඳින නාඹර පදමේ “මල් කෙල්ලන් ගේ” පුසුඹ පන්කාදුයි ඕං. ඇයි ඉතිං ඒ මල්කෙල්ලන්ඩ හාතිදිදී (සිඹ සිඹ) මහ හිමේ “මඳු කොල්ලන්” (මී මැස්සන්) බඳින මී වදවල පුසුඹ...? ඉන්ද්‍ර ඒ විතරක් යැ “බණ්ඩි ගොයම් ඇත්තියෝ” වෙල් තිඹිරිගෙට සේන්දුවෙලා ‘වදන පොදන’ කිරිකරල් පැංචියන් ගේ පුසුඹ අප්පරමාණයි ඕං. (අපමණයි.)
ඒ උනාට මංකියන්නේ ඔව්වත් පුසුඹ ද ඈ...? මේ අහන්ඩකො අප්පා, “අපේ බැද්දේ පැට්ටං” ගේ “මනුස්ස කොමේ” ඇති පුසුඹ තරම් කදිම පුසුඹක් මේ දේස දීපාං කොරේවත් නැතිව ඇති ඕං. කීවාම මොකෑ ඒ දූ පුත් පැට්ටං ගේ “කෙළේ ගුණේ” (කෘතගුණය) වෙළුම් කාගිය පුසුඹෙන් ඩිංගිත්තක් මේං...,
‘ගෙරවිලි බියකරු විදුලි අකුණු මැද
‘මහ දඹ’ රුක වූ මයෙ අම්මා
මරසෙන් පරදා බුදුහිමි පිට දුන්
‘මහබෝවයි’ මට මයෙ අම්මා’
හීබදේ (සීපදේ) පුසුඹ ඇහෙනවද (දැනේද?) හිරිමල් වියේදී තිබ්බා කියන, ලීල කං, කෝලකං, ආලකං හිටි අඩියේ ම ඉවත ලෑවේ ඔබටනෙ? ඒවාගේම එතෙක් “පුරුදුපට්ටං වෙලා තිබ්බ” (හුරු පුරුදු වී තිබූ) හැඩකාරකං, දඟකාරකං, කටකාරකං විතරක් නෙවෙයි නානාපරකාර (නොයෙක් මාදිලියේ) ඇවතුම් පැවැතුම් ඔබ ගාව අද කොයි...? හනේ අප්පෝ තෙලට, මිරිසට, ආනමට, වහවැටිලා හිටං (ළොල් වී සිට) කටට රහට ගත්තු කෑම බීම අද ඔබ “අපෝකර” තියෙන හැටිනෙ (අප්‍රිය කළ අපූරුවයි) පුදුමේ. ඒ විතරක් තියා ඇල්වතුර තද සීතලනං, උණුවතුර තද උණු නං ඔබ කටේවත් තිබ්බෙ නෑ නෙවැ. ඇයි අද මේ හැම දෙයක් ම කොරන්ඩ, කියන්ඩ පුරාගත්තේ (ඇරඹුවේ) හරිම සාරසුබාවෙන්. හැබෑට ඔය විදියට ඔබ ඒ දේවල් වෙනස් කොර ගත්තේ මොකටෑ කියා මට නං ඔලුවට එන්නේ, එක්කෝ ඔබට ගිහිගේ කලකිරිලා, නැත්තං මේ සසරම කලකිරිලා, එහෙමත් නැත්තං “බිස්සුං අම්මා කෙනෙක්” (භික්ෂණියක්) වෙන්ඩ “අලෝදරකොමක්” (දැඩි අවශ්‍යතාවයක්) පපුබිස්සට කූටෑලි වෙලා (සිතට සමීපවී) කියලයි.
හත්දෙය්යනේ මං ඔය කියාපු එකක්වත් නෙවෙයි නෙවැ උන්දැට කරදීලා තියෙන්නෙ. අර මුලින් කීව දේවල් වලින් උන්දෑ ඉවත් උනේ වෙන කාරිණාවකට නෙවෙයි උන්දැගෙ කුසේට මං ආදොහේ ඉඳලා මව්මාතාවක් වෙන්ඩ පෙරුම් පුරාපු හින්දාලු නෙවැ. ඔය විදියට බලපුවාම එදා බවලතියක් අම්මා කෙනෙක් වෙන්ඩ පෙරුම්පුරලා තියෙන්නේ බුදුබවක් දිනාගන්ඩ වාගේ කියලයි මයෙ පපුවට වැටෙන්නේ. (මට හිතෙන්නේ)
ඒවා දැන කොරාගත්තු කෙළේ ගුණ දන්න (කෘතගුණෝපේත) අපේ බැද්දේ පුතණ්ඩියෙක් අම්මා “හරි” කොරලා තියෙන්නේ (සමන කර ඇත්තේ) මහබෝවටයි ඕං. ඇයි ඉතිං මහබෝ වහන්සේගේ හෙවණ හරිම සිහිලයිනෙ. අම්මාගේ සෙනේහෙ කන්දරාවත් ඒවාගෙම සොමියිනෙ. අපේ බුදුහාමුදරුවෝ නහන්ඩ (විනාශ කරන්නට) මාර සෙනඟ සේනවන් ආවුද මානාගන ආවවෙලේ (අවි අමෝරා පැමිණි අවස්ථාවේ) කිසි ම බයක් බීතයක් නැතුව බුදුහාමුදුරුවන්වහන්සේ ආරස්සා කොරගත්තේ මේ මහ බෝව නෙවැ. ඒවාගෙම අම්මත් අපි ආරස්සා කොරේ මැසි මදුරුවෙක් ගෙන් වත් ගැහැටක් වෙන්ඩ නොදීඔයි. (හිරිහැරයක් නොවනා කාරයෙනි.) එහෙනම් මයෙ අම්මා මට මහබෝවක්ම නේන්නං.
ඒ විතරක් යැ බැද්දේ තවත් පුත්තර රත්නයක් (පුත් රුවනක්) අම්මා හරි කොරපු හැටි හරිම පුසුඹයි. ඕං මේ ඒ පුසුම අහගන්ඩකො (විඳගන්න)
‘දෑත දෙපා හයිත්තිය කර මා හැදු අම්මා
සීත දුරුතු කිරිකුරහන් යායයි මට අම්මා’
කුරහන් කිරිවදින්නේ දුරුතු මාසයේදීයි. ඉතින් කිරිකුරක්කනෙන් එන පුසුඹෙත්, අපෙ අම්‍මගෙ කිරි පුසුඹෙත් එන පුසුඹ මේ මිහිපිට කොයින්දෑ තවත් ඈ...? මයැම්මා කිරි එරෙන්නේ මං දැඩි කොරන්ඩ නෙවැ. ඒ වාගේමයි හේන් යායේ කුරහන් කිරිවදින්නෙත් අපේ බඩකට පුරවන්ඩයි. මෙහෙම බලපුවාම කිරිකුරහන් යාය මට පේන්නේ මයෙ අම්මා වාගේමයි ඕං. රටම පුසුඹ කොරපු එදා මෙවන් දූ දරුවන් සිටි රට රාජ්ජේ දරුවන් ගාව අද ඒ කෙළේ ගුණ පුසුඹ වනාතේ ගැහුණේ කෝමදෑ දෙය්යනේ...
ඒ සන්දියේ වැදූ අම්මා පූජා වස්තුවක් කරගත්තු බැද්දේ පුත්තු උන්දැලාට වැදුම් පිදුම් කෙරුවේ “කෙළේ ගුණේ” පපු බිස්සේ පුරෝගන බුදුන් පුදන්නා වාගේ මනුස්ස කොමේ මල් පූජා කොරමින් ඕං. ඒත් තමුන්ගෙ අම්මට පොලු පහර පුදන, අගුව හරි අටුපල්ල හරි පුදන, එහෙම නැත්තං මහපාර හරි අනාථ මඩම පුදන නරුම දූ පුත්තු ඉන්න එකම රට රාජ්ජේ, තමයි මේ තුන් තිස්පැයේ අම්මගෙ ගුණවරුණනා කොරන්නේ, බණ කියන්නේ අහන්නේ මව්පිය දිනයක් කියා පුරසාරම් දොඩන්නේ. ඒවා හරියට “ගිනිකඳයට” සිල්සමාදන් කොරන්නා වාගෙ නෙවැ. කොහොම උනත් බැද්දේ ඇත්තන් ගාව තිබ්බ ඒ ගුණේ ම් රට රාජ්ජේ කවදා හරි ආයේ පැලවෙනකං මිනිස් පුසුඹක් විඳින එක නං බොරු ඕං.