
හිත රිදෙන කවි
පොඩි හාමුදුරුවන් නික්ම ගොසිනි. ඒ කුමක් අරභයා ද යන්න පැහැදිලි නැත. උන්වහන්සේ පෙම් පලහිලව්වක පැටලුණා ද? නැතහොත් ගෙදර බර කරට ගත්තා ද? මේ දෙකෙන් එකක් සිද්ධවන්නට ඇත. කෙසේ වුව හිමියන් පන්සල හැර පියා ගොස් ඇත්තේ ගෞරවනීය ආකාරයකට ය. චීවරය නමා යහනක් මත මනාව තැන්පත් කොට තිබේ. ඒ මත මුතු අකුරින් ලියැවුණු කෙටි ලිපියක් ද ඇත. එය අවසන් කිරීමට ඉඩ ලැබී නැත. පොඩි නමට ද මේ නික්ම යෑම දරා ගත නොහැකි බව ඉන් හැඟෙයි. ඒ හැරත් පොඩි හාමුදුරුවන් නැති පාඩුව පන්සල පුරා දැනට ම දකින්නට ලැබේ. අප සිත්හි ශෝකයක් ද, ශාංකාවක් ද ජනිත වේ.
ගිහිගෙය හැර පැවිදි දිවියට යෑම අභිනිෂ්ක්‍රමණය ලෙස හැඳින් වේ. එය ආධ්‍යාත්මික විමුක්තිය සොයා යෑමක් හැටියට ද වැදගත් ය. සිවුරු හැර නැවත ගිහිගෙට යෑම හෙවත් හීරළුවකු බවට පත්වීම අභිනිෂ්ක්‍රමණයක් වන්නේ නැත එය සැලකිය හැක්කේ යළිත් වළට වැටීමක් හැටියට ය. එහෙත් කවියා යථෝක්ත සිද්ධිය “තව ද එක් අබිනික්මනක්” ලෙස ඔසොවා තබයි. එක්කෝ උත්ප්‍රාසය දැනවීම කවියාගේ ඉලක්කය වේ. නැතහොත් නිය ම අභිනිෂ්ක්‍රමණය මේ යැයි හැඟවීම ඔහු ගේ අභිප්‍රාය වේ.
ප්‍රබන්ධය උපුටා ගත්තේ “කඩතිර හැර බලන” නම් කාව්‍ය සංග්‍රහයෙන් ය. 2013 පළ වූ මේ කාව්‍ය සංග්‍රහයට නිර්මාණ 46ක් ඇතුළත් ය. කතුවරයා මාතලේ ආනන්ද අබේවික්‍රම මහතා ය. උක්ත කවිය අපගේ අවධානයට ලක්වන්නේ සාධක දෙකක් නිසා ය. එක සාධකයක් නම්; භික්ෂූන් උපැවිදි වීම ශාසනයේත්, සමාජයේත් ප්‍රශ්නයක් බවට පත් වැ තිබීම ය. අනෙක් සාධකය නම්; මේ ගැටලුව සම්බන්ධයෙන් විවෘත සංවාදයක් නො පැවතීම ය.
මේ විෂයයට අදාළ සිංහල නිර්මාණ කිහිපයක් ගැන ද සඳහන් කළ යුතු ය. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “කෙස්වැටිය” නම් කෙටිකතාව ද, කෝ ආනන්ද හිමියන්ගේ “හේ සිද්ධාර්ථ නම් වෙයි”. නවකතාව ද ඒ අතර ප්‍රධාන යැයි අපට හැඟේ. මේ ප්‍රබන්ධ දෙකෙන් ම පැවිදි ජීවිතයට එල්ල වන සමාජ බලපෑම් ගැන සාකච්ඡා කෙරේ. ගුණරත්න ඒකනායකගේ ‘පොඩි සාදු සහ යහළුවෝ’ නවකතාවත්, නිමල් කරුණාරත්නගේ “අනඳ නද” නවකතාවත්, රොබට් වීරසේකරගේ “නිවන්දැක්මට පෙර” නවකතාවක් අඩු - වැඩි වශයෙන් මේ විෂයය ගැන කතා කරයි. විෂය ක්ෂේත්‍රයට අදාළ චිත්‍රපට කිහිපයක් ඇති බව ද, ජනප්‍රිය සිංහල ගීත කිහිපයක් ඇති බව ද සඳහන් කළ යුතු ය.
“තවද එක් අබිනික්මනක්” පද්‍ය ඔස්සේ ප්‍රධාන සමාජ සංවාද දෙකක් ගොඩනඟා ගත හැකි ය. පළමුවැන්න නම්; භික්ෂුත්වය කෙරෙහි බලපාන සමාජ සාධක කෙරෙහි සංවාදයක් ඇති කිරීම ය. දෙවැන්න නම්; උපැවිදි වීමේ ගැටලුව හා ඒ ආශ්‍රයෙන් බුද්ධ ශාසනයට සිදුවන බලපෑම ගැන සංවාදයක් ඇති කිරීම ය.
නූතන සංකීර්ණ සමාජය තුළ භික්ෂුවගේ හැසිරීම කෙසේ විය යුතු ද? ගනුදෙනු කෙසේ විය යුතු ද? භික්ෂූන් යාවත්කාලීන ලෙස පරිණාමයට පත් වීම සමාජය භාර ගන්නේ කෙසේ ද? මෙබඳු ප්‍රශ්න රාශියක් අප ඉදිරියෙහි පවතී. ඊළඟට පැවිදි වීමේ පරමාර්ථ පිළිබඳ ගැටලු පවතී. අද වන විට කිසිදු දරුවකු සසරෙන් එතෙර වීම සඳහා පැවිදිවන්නේ යැයි සිතිය නොහැකි ය. සමහරු අධ්‍යාපනය සඳහා මහණ වෙති. තවසමහරු ජීවත්වීම සඳහා මහණ වෙති. තවත් සමහරු දියුණුවීම සඳහා ද මහණ වෙති. ශාසනය ආරක්ෂා කිරීම සඳහා මහණ වන අයත් සිටින්නට පුළුවන. මේ අනුව පිරිනිවීම පරමාර්ථය කර නොගත් පිරිසකගෙන් කෝටියක් සංවර ශීලය අපේක්ෂා කළ හැකි ද? ගැටලුවෙහි එක් පාර්ශ්වයක් එසේ විමසුමට ලක් කළ හැකි ය.
මෙහි ඊළඟ ගැටලුව පැන නඟින්නේ ශාසනය මූලික කරගෙන ය. ශාසනය පවතින්නේ භික්ෂූන් පදනම් කරගෙන ය. බුද්ධ ශාසනයේ ජීවමාන සංකේතය හැටියට මහසඟරුවන සැලකේ. එසේ නම්; ශාසනයේ පැවැත්ම සඳහා භික්ෂූන්ගේ පැවැත්ම තහවුරු විය යුතු ය. එහෙත් අද වන විට භික්ෂු ජීවිතය අභියෝගයට ලක්වන්නට පටන්ගෙන තිබේ. මේ අභියෝගය තුළ දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණය වන්නේ භික්ෂූන් සිවුරු හැර යෑම ය. එය සමාජ ප්‍රශ්නයක් බවට පත් ව තිබේ. බෞද්ධ සමාජයට සිය ආගමික හා සංස්කෘතික ජීවිතය පවත්වා ගැනීමට ද, භික්ෂූන් හා විහාරාරාම අවශ්‍ය වේ.
16 වන සියවසේ දී බුද්ධ ශාසනය රැක ගත්තේ ගණින්නාන්සේලා බව සඳහන් වේ. ගණීන් වනා හී කුටුම්බ රක්ෂා කරමින් බෞද්ධ චාරිත්‍ර ඉටු කිරීමට සිටියා වූ පිරිසෙකි. දන් උයන්නට මාගමුන් කැඳවාගෙන දුශ්ශීල ව වසන ආදී ලෙසින් විවේචන පවතින්නේ වුව; ගණීන් නොවන්නට බුදු දහමක් ඉතිරි වන්නේ නැත. සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන’විත් බුද්ධ ශාසනය මෙරට යළි තහවුරු කරන්නේ ඉන් පසුවය . මේ අනුව සමාජය භික්ෂුව කෙරෙහි මීට වඩා බුද්ධිමත් ලෙස ප්‍රතිචාර දැක්විය යුතු යැයි කියන්නට පුළුවන.
දරුවන් තිස් දහසක් පැවිදි කළ යුතු යැයි යෝජනාවක් මීට වසර කිහිපයකට පෙර ඉදිරිපත් විය. ඊට හේතු - සාධක ලෙස දක්වා තිබුණේ ශ්‍රී ලංකවේ බුද්ධ ශාසනය ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රමාණවත් භික්ෂූන් නොමැති බව ය. මේ කාරණය නොයෙක් ආකාරයෙන් සාකච්ඡාවට ලක් වී ඇත. භික්ෂූන් නොමැති කල ශාසනය රැකෙන්නේ නැත. ශාසනය නැති කල බෞද්ධ සමාජයක්, බෞද්ධ සංස්කෘතියක් රැකෙන්නේ නැත. මේ අයුරින් ඉතා පුළුල් ලෙස කවියේ යටිපෙළ සංවාදයට ගත හැකි ය.
කවියකුට නිරූපණය යන ශිල්පීය ලක්ෂණය ඉතා වැදගත් ය. නිරූපණයෙන් සිද්ධියක් ජීවමාන කළ හැකි ය. එලෙස ම වෘත්තාන්තයක් හෙවත් කතන්දරයක් ගොඩනඟන්නටත් පුළුවන. ආනන්ද අබේවික්‍රම මේ ප්‍රබන්ධයේ දී සිය නිරූපණ හැකියාව අපූරුවට භාවිත කරයි. පොඩි නම නික්ම ගිය පසු පන්සලේ ඇති පාළුව හා මූසලබව අපට දැනෙයි.
“බෝමළුවේ මළුව පුරා
බෝපත් විසිරිලා තිබේ
විහාරයේ මල් අසුනේ
පරමල් ගොඩ ගැසී තිබේ.”
කවියෙන් මැවෙන චිත්ත - රූප බලවත් ය. කෙනකු මේ කවිපෙළ ගද්‍ය - වාක්‍ය හැටියට ගළපා පෙන්වන්නට ද පුළුවන. එහෙත් එය එක්තරා මෝස්තරයක් පමණි. වඩාත් වැදගත් වන්නේ කවියෙන් මතු කරන අර්ථය, රසය හා රිද්මය යි.
කවියා එකිනෙක වස්තු හා ස්ථාන සංකේත ලෙස භාවිත කරයි. මේ සංකේතවලින් හැමවිට ම මතුවන්නේ පුළුල් අරුත් ය. බෝමළුව, බෝපත්, පරමල්, මල්අසුන එබඳු සංකේත වෙයි. පරමල් පිළිබඳ සඳහන පාඨක සිත්හි සංකීර්ණ හැඟීම් ඇති කරයි. පරමල් සංකේතයෙන් කියැවෙන්නේ හිමියන්ගේ නික්ම යෑම අප සියල්ලන්ගේ ම පරාජයක් බව ය. සියල්ල අනිස්ථිර ය, අවිනිශ්චිත ය වැනි හැඟීමක් ද මේ ඔස්සේ කෙනකු තුළ මතුවන්නට පුළුවන. අමාවතුර, ධම්පියාව සිල් අරගෙන වැනි යෙදුම් ද බෙහෙවින් අර්ථාන්විත ය. අපේ සාහිත්‍යය, සංස්කෘතිය හා උරුමය පිළිබඳ හැඟීමක් ඉන් ජනිත වෙයි. අමාවතුර ධම්පියාව සිල් අරගෙන යනු නිහඬ බව ය. ඒවා තවදුරටත් ඉදිරියට ගමන් නොකරන බව ය. භික්ෂූන් සිවුරු හැර යන කල කුමන සංස්කෘතියක් ද? කුමන සාහිත්‍යයක් ද, කුමන උරුමයක් ද? කවියා සහෘදයා ඉදිරියෙහි බරපතළ ප්‍රශ්නයක් ඉතිරි කරයි.
කෙනකු මේ ප්‍රබන්ධ විමල් දිසානායක මහතාගේ “මියගිය උවැසිය” පද්‍යය සමඟ සසඳන්නට පුළුවන. එහි ඡායාවක් මෙහි ඇතැ’යි කියන්නට ද පුළුවන.
“පිරුවානා පොත් වහන්සෙ
කනප්පුවෙහි පෙරැළී ඇත.
මිදුල පුරා වියළුණු කොළ
ඒ මේ අත විසිර තිබේ.
මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස් ය.
ඉඳහිට ගෙයි පිළකන්නේ
බල්ලකු උඩු බුරනු ඇසේ”
මහාචාර්ය විමල් දිසානායකගේ ප්‍රබන්ධය පෞද්ගලික අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වී ඇත. එ මඟින් සමාජ ගැටලුවක් සාකච්ඡා වන්නේ නැත. ආනන්ද අබේවික්‍රම අපේ උරුමයට සම්බන්ධ සමාජ ගැටලුවක් සාකච්ඡාවට ගෙන තිබේ. ඒ අතින් පළමු නිර්මාණයට වඩා මේ ප්‍රබන්ධය වැදගත් යැයි කියන්නට පුළුවන.
සමාජ ගැටලු අමතක කොට හුදෙකලා කවි ලියන තැනැත්තා ජනතාවට වැදගත් නිර්මාණකරුවකු වන්නේ නැත.