
දම්සක් දම් දසුන
සම්මුක සෑයෙ සිට බරණැස මිගදායේ
සම්බුදු පියා පළමු දම් දෙසුමට වැඩියේ
දම්සක් සුතුර දම් දෙසුමට මුල් වූයේ
දම් දසුනයි මුළු ලොවටම දැන්වූයේ
සිරුරට වැඩි සැපත් සහ දුක නොම දෙන්න
මග පල ලැබුම අපහසු බව දැනගන්න
ආදීනව අන්තයන් බව දැන වළකින්න
මැදුම් පිළිවෙතේ අනුසස් දැන සැනසෙන්න
හිමිසඳු කෙමෙන් පාපියුමන් තබමින්න
බරණැස ඉසිපතනයේ මිගදායට වඩිමින්න
තවුසන් පස්දෙනා පෙර මිතුරන් දැකගන්න
කතිකාවක යෙදුණි බුදු බව නොමදන්න
බුදු වන්නට ගොසින් නොහැකිව අප හමුවන්න
එන මිතුරාට අසුනක් පමණක් දෙන්න
බුදු අසිරියෙන් බැරි විය ඒ මතයෙහි ඉන්න
පිළිගෙන සැරසුණා සමිඳුන් අමතන්න
බුදුවරයකු සමඟ පෙර සේ නොකර කතා
සිත යොමුකරන ලෙස තම මිතුරන් අමතා
පැහැදී කුලුණු වදනින් සංවරව ඉතා
නෙත් සිත් යොමු කළා සගමොක් සුවය පතා
දම්රස මුළු ලොවම එක සේ පැතිරේවා
මෙත් කරුණා සුවෙන් හදවත් පිබිදේවා
සාමය සතුට සමඟිය නිති ඇතිවේවා
ලොව හැම සතන් බුදු දහමින් සැනසේවා
ඒ. නන්දිසේන ඉන්ද්‍රසේකර
තජීට සහ සඳුනිට
(ළාබාල නර්තන ශිල්පිනින් දෙදෙනෙකුට)
සිත් කරවන වශී
‘නෘත්යාංග්රම්’
සුරූපා සෙන් සමඟ
නටද්දී ‘ශිව අෂ්ටකම්’
මුත්තණු චිත්‍රසේනගෙ
ගුරු වරම් ලැබුණේ ද අදිසිව
රඟන්නට සුරලියන් සේ
දැහැන්ගත කර රඟහල?
බාලසයෙහි වජිරා
මිත්තණිය පෑ නර්තන
දුටුවා ද පෙර භවයක
රඟන්නට විස්මිත ලෙස...?
තජී හා හරි හරියට
සඳුනිද රඟයි
රනලියක සේ
ගල්වා දෑස අංජන
ලක’ඹර ලලාටෙහි
තිලකෙව් දිලෙන මතු දින
බැලරිනාවන් දෙදෙනකු
බිහිෙවන පෙර නිමිති දැක
දෑස’ග කඳුළු මතු විය...
තිලකරත්න කුරුවිට බණ්ඩාර
ලොකු අයියේ
දහසක් කම්කටුලු මැදින්
දුක් දහරා ගලා ඇවිත්
අප ජීවිත මඟ සිටිද්දි
දිවියේ බර උසුලාගෙන
අප මිනිසුන් කළේ නුඹයි...
පියෙක් සේම අප රැකගෙන
ශිල්ප සතර වෙත යොමු කර
නොසැලී බාධක හමුවේ
ජයගන්නා විට දිවි මඟ
සතුටු කඳුළු වගුරුවමින්
සෙත් පැතුවේ නුඹයි සදා
ගාමිණි හේවාපන්න
රජ වීම
හඬති වැලපෙති
යළිදු හිනැහෙති
දූ පුතුන්
කති බොති
දොඩති හිනැහෙති
නෑසියන්
එති වඳිති
යළි හැරෙති
දුටු නුදුටුවන්
සුදු වතින් සැරසිලා
සුවඳ පැන් නහවලා
දෑත මල් රඳවලා
මනමාලි මං වෙලා
දෙනෙත් නොම පිය සලා
උඩුකුරුව වැතිරිලා
ගේ මැද්දෙ රජ වෙලා
අනේ මං මියැදිලා
චන්ද්‍රා සෙනරත්
රළ-වෙරළ හා ගල් පර
කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැලැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු...
ගණන් ගන්නේ නැතිව
අම්බරේ ඇද පලුදු
කොයි කොනින් පෑව්වත්
සිනාසෙනවා තරිඳු...
ගහකොළට හිමි වර්ණ
සොයා අරගල කළත්
අවර්ණව ඇද වැටෙන
කැරලිකරුවන් ය වැහි බිඳු...
පොදු සමාවක් ලැබී
හිරෙන් එළියට ආවොත්
පාඨකයන්ට තද වී
උඹට ගරහයි සිළිඳු...
මට හොඳාකාරවම මතකයි
තාත්තා ගෙනැත් දුන්
සෙල්ලම් අශ්වයා මළ පසු
උගේ ලී මළකඳ වැලඳගෙන
හැඬු හැටි ඒ බිලිඳු...
රළ වෙරළ හා ගල් පර
උනුන් හමු නොවේනම්
අපරිමිත සිඳු හදෙත්
සද්දයක් නැත කිසිදු
රුවන් බන්දුජීව
අභිනිෂ්ක්‍රමණය
ඇසළ මහේ හඳ පායා එන විට තරු මැද අහසේ
නිසල කරන් සිත අභිනිෂ්ක්‍රමණය කරනෙමි රහසේ
සසල වුණොත් මුර සෙබළුන් වට වෙනු ඇත දස දහසේ
කසළ ගොඩක් වූ දිවියම පිළිකුල් කරලමි වහසේ
බිසෝ වෙලා සිටියා මට කල්ප කාලයක් තිස්සේ
යසෝදරා සැනසෙනු මැන නොතෙමි කඳුළැලි වැස්සේ
ළසෝ ගින්න තිබුණත් හිත ගිහිගෙය හැර යනු රිස්සේ
විසෝපයක් නැත ඈතින් නව ආලෝකය දිස්සේ
නෙක විද සෝ බිය කරදර ඉහටත් ඉහළින් ඇතුවා
දුක මිස මිහිපිට කාටත් ඉන් ගැලවීමක් නැතුවා
දැක දැක බහුරූ කෝලම් කොයි ලෙස ඉන්න ද හිතුවා
එක එක බාධක මැඬගෙන ජය ලබගන්නට පැතුවා
අන්දර මල් සුවඳයි මුළු මැදුරේ දස අත දිවේ
සුන්දර දේ පමණයි මගෙ දෙනෙතට ගෙන හැර පෑවේ
ගින්දර මතු වෙයි ටික ටික අළු යට ගිනි උඩ පාවේ
මන්දිර සැප අත හැරලයි මාලිගයෙන් පිට වූවේ
බෙදා ගන්න මනුලෝ සැප මේ බවයෙන් ළඟ ඉන්නා
එදා සිටම යසෝදරා මා හඳුනා ගෙන උන්නා
හදා ගන්න බැරිවූ සිත දමනය කර බැඳ ගන්නා
මුදා ගන්න යම් ලෝ සත බව සාගරයෙන් පන්නා
ලෙඩෙක් මහල්ලෙක් මිනියක් දුටු දවසේ හිත බිඳුණා
අඩක් අඳුර දුරු කරගෙන ශ්‍රමණ රුවක් නෙක රැඳුණා
ඉඩක් ලැබුණු මොහොතේ සිත සතපා ගන්නට යෙදුණා
වැඩක් සදන්නට සතහට ලව්කික සැපතින් මිදුනා
රත්නා ලංකා අබේවික්‍රම
පරෙවියා
කැරකි කැරකී
උනුන් පරයා
ඉගිළ යන විට
ඉහළ අහසට...
පහළ සිටි උන්
තරගයට
විසි කරති
කාසි කොළ
ජය පරාජය
ඉවසනු බැරිව
මරා ගනිති
එකිනෙකා
මේ කිසිත් නොදකින
පෙරවියා...
වේගයෙන් ඇදී එයි
හාම්පුතුගේ අතට...
ආයෙත් මුදල් ඔට්ටුවක්
හීයක වේගයෙන්
යළිත් ඌ
අහසට...
කලක්
සාමයේ වෙළෙන්දන් ළඟ
හුරතල් වූ
සාමයේ දූතයා
දිනක්...
මුඩුක්කු පේළියක
කෙළවර...
මියැද සිටියා
මැස්සන්... පණුවන්
තනි රකී
දැන් ඉතින්
ඌ ළඟ...
රත්නසිරි පතිරණ
උපාධිය
අත කර ගැට පය කර ගැට මැකෙන්නයි
ඇස නිදි ගැට නිදි දැහැනක නිවෙන්නයි
දුක හිත යට දුරු වී සුව සැදෙන්නයි
ඇගෙ දෙඇසට තුටු කඳුළක් උනන්නයි
උගසට බැඳි ගෙට නිදහස ලැබෙන්නයි
දඬු වැට ළඟ වැලපෙන ඉඩ නොදෙන්නයි
මවකට හෙට අස් වැසුමක් ගෙනෙන්නයි
අද හෙට මට රැකියාවක් ලැබෙන්නයි
කළු ලෝගුව ගන අඳුරක් නොවෙන්නයි
හිස පැලඳුම කටු කිරුළක් නොවෙන්නයි
කර මාලය මල පුඩුවක් නොවෙන්නයි
ලද මේ ජය ඇගෙ මිස මගෙ නොවෙන්නයි
සාලිය ගුණවර්ධන
මවක් හැඬුවාය
සාගරයෙ ජලය සේ කඳුළු ගැලුවා නෙතින්
මහාමේරුව තරම් දුක් විඳින්නැති සොවින්
සංසාරයේ මා ළඟට ආව ගිය දූ පුතුන්
අතර නුඹ එක් පුතෙකි සිහි කළොත් බුදු නැණින්
බුදුවරුන් බුදු පදවි ලැබූ ඒ යාමයේ
නුඹව දැක මල්යාය පීදුණා මගෙ ළයේ
මළ හිරුගෙ රතුපාට ඇඳුණ ඒ ජාමයේ
හොරෙන් මෙහි ආව නුඹ මටත් නොකියා ගියේ
දෙනෝදාහක් ලොවට පිළිසරණ විය නිතින්
කුරාකූඹින් පවා නුඹ දකිති සෙනෙහසින්
මහ සයුර මැද මවකගේ පැතුම සිහි කරන්
පුතේ නුඹ බුදු වෙයන් ලබන්නට අම නිවන්
පියසීලි විජේනායක
ආදර පැතුම්
සඳුට සමුදී
පිබිදුණු අරුණලු
මිහිකත සිඹින සඳ
එන්න මඳනලේ
මා වෙත...
යන්න පියඹා මල් සොයා,
බිඟුන් උදුරා ගන්න පළමු
සොරා යන්න මල් සුවඳ
මා පතා ආ නිසා
සිරගත කළ....
ඇගේ කුටියට යන්න
විහිදුවන්න
ඔබේ මල් සුවඳ සමඟ
මගේ සදා නොවෙනස්
ආදර සුවඳ
එම්. එම්. එස්. ගුරුසිංහ
සෝමවීර චන්ද්‍රසිරි කවියා
දිලුණු හදවත පුරා සෝමවිරු පළිඟු මිණ
පිපුණ කැස්බෑව නම් මල් උයනෙ එකලු වුණ
නෙත් නුවණ විහිදවා සරස්වති ළඟට ගෙන
සුවඳ සුරිය මලකි රත් නෙළුම් පැහැය දෙන
කොළඹ කවි පරපුරේ යෝධ සෙබළකු නමින්
උපත කවි සමුළුවේ තිඹිරිගෙය ඔබ වෙමින්
වැදු ඒ සුරතලිය රජ කිරුළ පල ඳමින්
පසුකරයි මහලු විය තුරුණු බව සමින්
දැනුම පරිණත මහා පඬිවරුන් පැරදවූ
ලියා පොතපත මිහිර බස් තෙපුල සුවඳ වූ
ජාතියම ඇමතුවේ කවි බසින් විවිධ වූ
ගලන කවි උල්පතකි සමුදුරක් අබිබැවූ
අතු පැලේ දිළින්දා රජ කරන්නට සිතු
අදහසින් සිත පුරා පිරූ පැතුමන් මතූ
ගැමි සුවඳ හඳුනගත් ළය කුසුම මිණි මුතු
මොරටු මන්තිරි වුණා රජ සබෙහි කවි ගෙතු
තාලයට කවි කියා මැති ඇමති පිරිස මැද
එතන කවි මඩු කළා පතුරමින් කුරවි නද
පිපුණ පරසතු කුසුම් ඒ හඬට සුවඳ විඳ
නිකසලය මිහිරි සිතිවිලි තිබුණ නැණැස බැඳ
වේදිකාවේ එදා හොඳම නළුවෙකු වෙසින්
කසුප් රජු චරිතයට පණ පොවා කවි ඇසින්
මේ හපන්කම් කෙළේ කවි සුවඳ ඇති හිසින්
නිරාකුල හදවතින් දුරදකින නුඹ අැසින්
සොමි කිරණ වෙළාගත් සරසවිය පිරි වරා
පන්හිඳට පණ පොවා කවි ලියු රස පෙරා
මගේ දෙස අවදි කළ නුවණ සිතිවිලි දරා
ඔබේ නම ලියයි ඉතිහාසයේ පිටු පුරා
දෙහිවල ලයනල් ප්‍රනාන්දු
කාසියේ දෝෂය
වරද
ඉරි තැලී මිහිමඬල
උණුසුම් ව මදනල
ඉපල් වී ගහවැල
කියන්නේ කාගෙ වරදද
මාලනී සී. වන්නිසේකර
ඔබ
නිල් ගුවන පුරා පෑයු
තරු පොකුරු අතර
මගෙ ලොව එළිය කළ
එකම තරුව ඔබ
මනහර මහින්ද බෙලිගල
ළමා විය
ඇහිඳීම
අප පොඩිඋන් දොහ
ගස් යට ගිලිහී
නො පෙනී සැඟවුණ
මගේ ළමා විය
ගස්වැල් ගං දිය මත
සිත්තම් කළ
නිල්තුරු සිත්තම
රන්වන් මල්කම
පුරදොර මැදුරෙන්
මදකට මිදිලා
නිවාඩු දවසක
මා හා ගම එන
පුතුට මගේ
ඇහිඳ දෙන්න
දවස පුරා
මම වෙහෙසෙමි
කේ. පී. ඩබ්ලිව්. ප්‍රියන්ත ජයලත්
එදා පෙම්වතිය
එදා ‘හ්ම්’ නෑ
තේරුමක් බේරුමක්
නැති කියැවිලි
අද
සුසුම් ඉවසිලි බෝම
අද - මම
‘හ්ම්’ නෑ
ශාන්ත කුමාර අපෝන්සු
ගම මතක...!
හිස ඔසවා බලමි
මම
කඳුකරයේ කඳු අතරින්
නුඹ දෙස
දයාබර නෙතින්
මචං තිරිකුණාමලේ
සැපෙන් ද? උඹ...
නුඹ හිඳී...
නිලාවෙලි,
‘මාබල් වෙරළ,’
විල්ගම් වෙහෙර,
කෝනේශ්වරම්,
තිරියාය,
ගෝකණ්ණ විහාරය,
දෝතින් තුරුලට ගෙන...,
‘පෙම් පිම්ම’ ළඟ නැවතී
ඇයයි මායි දවසක් ඇඬුවා
උඹට මතකද මන්දා?
අපි හිත හදාගත්තා
වෙන් වෙන්න
(ඔව්! අමාරුවෙන් වුණත්,)
අදත් ඈ හමු වෙනවා
දැන් ඈ අම්මා කෙනෙක්
මං තාත්තා කෙනෙක්
ඒත් අපි දෙන්නා ඉස්සර වගේ
එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්
දෙතැනක දෙපැත්තක...
ගෙවී වසර ගණනක්
මගෙන් දුරස් වී
මහලු වී මා හුෙදකලාවේ සිට ලියමි මෙසේ
ගෙවූ කාලය... මචං තිරිකුණාමලේ...
කොයිතරම් සුන්දර ද?
ජයන්ත ග. ජෝතියරත්න
ගල් වංගුවේ කළු මහත්තයා
ඉසියුම් සිතින්
විදා සිතුම් අත්
වැලඳ ගත්තේ ඔහු
හැම සිතක්
හැම මොහොත
මුණ ගැසුණු
රුදුරු හිරු පාට කළ
කළු අප්‍රිකානුවන් සදිසි
වගා බිම්වල සවි හල
ගැහැනුන් හා මිනිසුන්
දිටී ඔහු
රැජිනන් රජුන් විලසට
දුක් කුණප වළලන්ට
නැණ නුවණ ගෙන එන්ට
පාසලට පා දුවන
ළමා කැල අබිමුවේ
පාලමක් විය උන්ට ගොඩ එන්ට
නින්දෙන්ම ගොස්ය
රැයේ අඳුරක් සමඟ
නොගිය එක දෙයයි
ඔහු සමඟ - ඔහු පිදූ යහ ගුණය
සුනිල් ගුණවර්ධන
එතෙර කවිය
කාසි! කාසි!!
ලොවම හඬයි
දිලෙන ලෝහ කෑලි සැලෙයි
මුළු ලෝකය වසඟ කරන
හැම තැනටම ශාප ගෙනෙන
සල්ලි, නුඹේ වැඩ පෙන්වමි
කපටි ක්‍රියා විවර කරමි
දහස් වරක් දොස් පවරමි
ප්‍රයෝගයේ ආක්‍රමණය
ආදරයේ බිඳ වැටීම
මිතුරුකමේ පණ නැසීම
කාසි වාසි සංක්‍රමණය
තුටු හදවත් මොට කරවන
ගරු හදවත් සුන් කරවන
මුදල් බලය - මිත්‍රවරුනි,
පිළිල තනයි සහසුද්දෙනි
මිනිමරුවන්, කල්ලි හොරුන්
මුදල් බලෙන් බිහිවන්නේ
සල්ලිවලට කෑදරකම
සිර දඬුවම් උපයා දෙයි
පුංචි එකෙක් වුවත් දනියි
සල්ලි බලේ විනාශෙ මුල
දහස් ගණන් මනු හදවත්
දූෂණයට මුල පුරන්ට
තක්කඩියන් බෝ කරන්ට
සමත් කාසි කොහෙන් ලැබෙත්?
නිරයට යන පාර කියන
මග සිතුවම් සකස් කරන
සාම - ප්‍රීති හද වනසන
මුදල් හරිම භයානකයි!
මුදල් බලය, නුඹ නපුරම
බෝ කරතියි මම පවසමි
අපේ ලොවට මුදල් අවැසි
වෙතත්, හොරෙන් - අයථා ලෙස
පාවිච්චිය හරිම කැතයි
වංචනිකව සොයන ධනය
හොර වැඩක්ය; බිය දනවයි
ජර්මනියේ රයින්ලන්තයේ මිලෙන්ඩොන්ක් සිටු මැඳුරේ උපන් ඇය වංශවත් - ධනවත් කාන්තාවකි. පාසල් කාලයේදීම, එනම් අවුරුදු 17 දී ඇය පළමු කවි පෙළ ලියා ඇත. සැල්වටෝරියන් සොයුරියන්ගේ නිකායේ ආරම්භක කර්තෘවරිය වූ තෙරෙස්, පුරා වසර 33ක් තිස්සේ ඇගේ අත් අකුරින් ම ලියූ පද්‍ය රචනා රෝමයේ සැල්වටෝරියානු නිවහනේ ලේඛනාගාරයේ සංරක්ෂිතව ඇත.
ඇගේ කවි, ජර්මන් හා ප්‍රංස භාෂාවලින් ද ලියවී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ, විස්කොන්සින් ප්‍රාන්තයේ වසන ප්‍රංස ජාතික කන්‍යා සොයුරියක “තෙරෙස්ගේ කවි පබැඳුම්” යනුවෙන් ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණු පොතක් 1994 දී ප්‍රකාශයට පත් කර තිබේ. ‘Rebuke of Money’ නම්වූ මේ පැදි පෙළ තෙරෙස් විසින් ජර්මන් බසින් ලියුවේ 1881 අප්‍රේල් 24 වැනිදාය.
ජර්මනිය එකල ආර්ථික පරිහානියකට පත්ව තිබූ හෙයින් ළමා ශ්‍රමයත්, දරුවන් විකිණීමත්, මංකොල්ලයත්, දූෂණය හා නාස්තියත් රටේ බරපතළ ප්‍රශ්න විය.
පරිවර්තනය - බර්නි දසනායක