ආච්චි අම්මාගේ ලියුම් කඩදාසියෙන් මතු වූ ලේඛකයා | සිළුමිණ

ආච්චි අම්මාගේ ලියුම් කඩදාසියෙන් මතු වූ ලේඛකයා

පාලම

ඔහුගේ ආච්චි අම්මා කයියල් අම්මා ය. සිය ජීවිතයේ වීරයන්ගේ ලයිස්තුවේ පෙරමුණේම සිටින්නී ඇයයි. එල්. මුරුගපුපති ලේඛකයා තම ජීවිතයේ පළමු වරට ලිපියක් ලියන්නේ ආච්චි අම්මාට ය. ඔහු එය සලකනුයේ සිය සාහිත්‍ය චාරිකාවේ මංගල පියවර ලෙසිනි. වන්දනාවට කතරගම ගිය ආච්චි අම්මා ගමනේ විස්තර දන්වා ලිපියක් එව්වේ ඔහුගේ නමට ය. ඇගේ ගමනේ විස්තරවලට අමතරව එය ඔහුගේ අනාගත දිවි ගමනට ද ආලෝකයක් සැපයූ මාර්ගෝපදේශන ලිපියක් විය. “පුතේ, හොඳින් ඉගෙන ගෙන උගතකු වෙයන්” කියා ද උගත්කමට අමතරව මනුස්සකම වැඩිදියුණු කරගෙන අභියෝග මැදින් ඉදිරියටම පලයන්’ යනුවෙන් ද එහි ලියා තිබිණ.

‘ආච්ච් අම්මා බොහොම අඩුවෙන් අකුරු සාස්තරය දන්න කෙනෙක්. ඒ වුණත් පුදුමාකාර සමාජ අවබෝධයක් හා ආත්ම ශක්තියක් එයාට තිබුණා. ඒ නිසාම ගමේ ලොකු පිළිගැනීමකුත් තිබුණා. ගොඩ වෙදකම් දැනගෙන හිටපු ඇය ඒකෙන් උපයන රුපියල දෙක එකතු කරලා ගෙදර අගහිඟකම් පියෙව්වා; වන්දනා ගමන් ගියා. ඇත්තම කියනවානම් අපෙ තාත්තාට රස්සාවක් නැතුව හිටපු කාලේ අපේ පවුල ගොඩ දැම්මේ ආච්චි අම්මා. එයා තමා පුංචි කාලේ ඉඳලම අපි හැමෝගෙම පරමාදර්ශය වුණේ. මට මතකයි, ඇගෙන් කතාවක් අහන්නේ නැතුව අපිට රෑට නින්ද ගියේ නැති බව. ඒ කතා වීරත්වය, ආත්ම ශක්තිය වැනි දේවල්වලින් පිරුණු ඒවා. ආච්චි අම්මගෙ කතා ඇසුරෙන් පස්සෙ කාලෙක ‘පට්ටි සොන්නා කතායිකල්’ කියලා ළමා පොතක් මම ලිව්වා. ඒක දැන තමිල්නාඩුවේ පාසල්වල ළමා පොතක් වශයෙන් පාවිච්චි කරනවා. ඒ වගේම මගේ පුතා ඒක ඉංග්‍රිසියට පරිවර්තනය කරලා ඕස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.”

දෙමළ සාහිත්‍ය අඹරේ ඉහළින්ම ලෙළෙන ධජයක් බඳු මුරුගපූපති ලේඛකයා දැන් පදිංචිව සිටිනුයේ ඕස්ට්‍රේලියාවේය. එහි පුරවැසිකමට අමතරව 2002 වසරේ ‘වික්ටෝරියා ප්‍රාන්තයේ හොඳම පුරවැසියා සඳහා වන සම්මානයත්, 2011 දී එම ප්‍රාන්තයේම බහු සංස්කෘතික කොමිසම පිරිනමන ත්‍යාගයත් දිනා ගැනීමට ඔහු සමත් විය. ඔහු ලියූ එකම නවකතාව වන ‘පරවයිකල්’ කෘතියට 2003 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. ඔහුගේ කෙටිකතා අතරින් සුමේයිල් පංගලිකල්’ කෘතියට 1976 රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමුණු අතර, සමන්තරංගල්, ඉන්ගල් තේසම්, ගංගායි මගල් වෙලිච්චාම් හා නින්නායිවුක් කෝලන්ගල් සෙසු කෙටිකතා පොත් අතර වේ. මෑතකදී ඔහුගේ කෙටිකතා එකතුවක් ‘මතක සෙවණැලි’ නමින් සිංහලට නැඟිණි. ‘පට්ටි සොන්නා කතායිකල්’ ඔහු අතින් ලියවුණු ළමා කෘතිය වන අතර විවිධ විෂයයන් අළලා ලියවුණු රචනා හා ලිපි රැසක් ද මේ අතර වෙයි. දෙමළ සාහිත්‍ය අඹරේ මුදු­‍ෙන්ම දිදුළන තරුවක් වන මුරුගපූපති ලේඛකයා සමාජ සාධාරණත්වය වෙනුවෙන් එදා මෙන්ම අදත් සිය පන්හිඳ මෙහෙවයි.

“අපේ තාත්තා තමිල්නාඩුවෙන් ලංකාවට ආපු කෙනෙක්. ඒ කාලේ බෝට්ටුවලින් ලංකාවට ආපු කණ්ඩායමක් එක්ක තමයි තාත්තත් ඇවිත් තියෙන්නෙ. මුලින්ම පුත්තලමේ සයිවර් කඩයක් කරලා පස්සෙ මීගමුවට ආවලු.”

මුරුගපූපති සිය පියා වන ලෙච්චුමනන් පිළිබඳ තොරතුරු හෙළි කරන්නට විය. මුරුගපූපතිගේ මෑණියන් වන කදිරමානික්කම් පියාණන්ට මුණ ගැසෙනුයේ මීගමුවේදීය. මුරුගපූපති පවුලේ දෙවන සාමාජිකයා ලෙස උපත ලබනුයේ 1951 වසරේ ජූලි 13 දා ය. ඔහුට වැඩිමහල් සොයුරියක් හා නැඟණියක සමඟ තවත් සොහොයුයෝ දෙදෙනෙක් සිටිති. ඔවුහු සියල්ලෝම අදටත් මීගමු වැසියෝ වෙති.

මුරුගපූපති මුලින්ම අකුරු කළේ මීගමුවේ විජයරත්නම් හින්දු විදුහලේය. මේ විදුහලට ද ඓතිහාසික පසුබිමක් තිබේ. එය පිහිටුවනු ලැබුවේ මීගමුවේ ප්‍රථම නගරාධිපති විජයරත්නම් නම් යාපනයේ උපන් දෙමළ ජාතිකයෙකු විසිනි. මුරුගපූපති එම පාසලට ප්‍රථමයෙන්ම බඳවා ගත් දෙමළ සිසුන් තිස් දෙදෙනා අතරින් කෙනෙකි. 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් සමත් වූ මුරුගපූපති ඊළඟට යන්නේ යාපනයේ ස්ටැන්ලි විද්‍යාලය වෙත ය.

“තල් ගහක් ජීවිතේ මුල් වරට මම දැක්කෙ යාපනේදී. ඒ වගේම කුලභේදය කියලා එකක් තියෙන බව මුල් වතාවට දැනගත්තෙත් යාපනේදී. දවසක් ඩොමිනික් ජීවා අපේ හොස්ටල් එකට ඇවිත් කතාවක් කළා. ඔහු ඒබ්‍රහම් ලින්කන් ගැන අපට කියා දුන්නා. ලෝකය හුඟක් සංකීර්ණ ගැටුම්කාරී තැනක් බව මම තේරුම් ගත්තේ එදා තමයි. මටත් හිතුණා ඩොමිනික් ජීවා වගේ කෙනෙක් වෙන්න ඕනැ කියලා. මට මතක් වුණා අපේ සියා කෙනෙක් ගැන. එයා තමිල්නාඩුවේ ප්‍රසිද්ධ ලේඛකයෙක්. නම රඝුනාදන්. මැක්සිම් ගෝර්කිගේ අම්මා පොත මුලින්ම දෙමළට පරිවර්තනය කළෙත් ඒ සීයා.”

මුරුගපූපති වැඩි කල් යාපනයේ විසුවේ නැත. ඔහුට එහි හුදෙකලා බවක් දැනිණ. ඔහු යළි මීගමුවට පැමිණියේය. ඩොමිනික් ජීවාගේ සංස්කාරකත්වයෙන් ‘මල්ලිකෛ’ නමින් සඟරාවක් පළ වන බව ඔහුට ආරංචි විය. ඔහු ඊට කෙටි කතාවක් ලීවේය. ‘කනවුගල් ආයිරම්’ ඒ කතාවේ නමයි. එහි තේරුම වූයේ ‘සිහින දහසක්’ යන්න යි. මීගමුවේ මුහුදු රැකියාව කරන ජනයාගේ දුක්බර ජීවිත පුවතක් ඊට පසුබිම් විය. 1972 වසරේ ඒ කතාව ලියන විට ඔහු වයස 21 ක තරුණයෙකි. ලේඛන කලාව තම අනාගත ජීවන මග කරගත යුතු යැයි සිතූ මේ තරුණයා ඊළඟට ‘වීරකේසරී’ පුවත්පතේ මීගමුව වාර්තාකරු ලෙස වැඩ කරන්නට පටන්ගත්තේ ය.

මුරුගපූපති ඉතා චතුර ලෙස සිංහල කතා කරයි. වසර 30ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවත් ඔහුට සිංහල හා දෙමළ භාෂා අමතක වී නැත.

මීගමුවේ ගත කළ තුරුණු ජීවිතය ඉතා අර්ථවත් කටයුතු සඳහා කැප කිරීමට මුරුගපූපති වග බලා ගත්තේය. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට නැඹුරු වූ ඔහු එහි පුතුයුගම් (නවයුගය) පත්තරයට ලිපි හා නිර්මාණ යොමු කළේය. උඩුගම්පොළ කොරොස්ස ශ්‍රී සුධර්මාරාමයේ වැඩ විසූ පූජ්‍ය පණ්ඩිත රත්නසාර හිමියන් සමඟ එක්වී දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩපිළිවෙළක් ඇරැඹීය. ශ්‍රී සුධර්මාරාමය කේන්ද්‍ර කර ගනිමින් කලාව, සාහිත්‍යය හා ජාතික සමගිය ආදි විෂයයන් අලළා සම්මන්ත්‍රණ පැවැත්වීය. ඩොමිනික් ජීවා වැනි ලේඛකයන් පවා මෙම සම්මන්ත්‍රණවලට සහභාගි කරවා ගැනීමට මුරුගපූපති තරුණයා සමත් විය. මීගමුව සාහිත්‍ය කලා කවය පිහිටුවා සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘සුමාලි පන්ගලිකල්’ (බර උසුලන්නෝ) එමඟින් ප්‍රකාශයට පත් කළේ ය. 1977 දී වීරකේසරී පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැඳුණු මුරුගපූපති එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ හා ඩොමිනික් ජීවා වැනි ලේඛකයන් මුල් වී එකල පිහිටුවා තිබූ ප්‍රගතිශීලි ලේඛක සංගමයේ කොළඹ ශාඛාවේ ලේකම් ලෙස ද කලක් කටයුතු කළේ ය. 1985 දී මොස්කව් නුවර පැවැති අන්තර්ජාතික තරුණ සම්මේලනය නියෝජනය කළ එකම දෙමළ තරුණයා වූයේ ද මුරුගපූපති ය.

මෙබඳු කාර්යභාරයක් ඉටු කරමින් සිටි මුරුගපූපති ලේඛකයා 1987 දී ලංකාව අතහැර ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා නික්ම ගියේය. ඊට හේතු කාරණා විමසු කල ඔහුගෙන් ලැබුණේ මෙවන් පිළිවදනකි.

“කෙටි උත්තරයක් දෙනවනම් ‘මරණ බය’ නිසා ය කියලා කියන්න පුළුවන්. මම වාමාංශික අදහස් දරන ලේඛකයෙක් නිසා තමයි ඒ බය ඇති වුණේ. ජූලි කලබලවලදී මීගමුවේ හුඟ දෙනෙකුට කරදර වුණා. අපිත් ගෙවල් අතහැරලා යාපනේ ගියා. දිගටම රටේ කලබල වැඩි වුණා. යාපනයේ පුස්තකාලය විනාශ කළා. රට ගැන කලකිරීමක් ඇති වුණා. අකැමැත්තෙන් වුණත් ඒ තීරණේ ගන්න සිද්ධ වුණා.” ඔහු තැවුල් සිතින් පැවැසීය.

මුරුගපූපති විවාහ දිවියට පිවිසියේ 1979 දීය. ඔහුගේ දයාබර බිරිය මාලතී එකල පාසල් ගුරුවරියකි. ඔහුට හෝ පවුලේ වෙනත් සාමාජිකයකුට හෝ අනාගතයේ ලංකාවට යළි පැමිණීමේ අදහසක් පවතීදැයි විමසූ කල, මුරුගපූපති කියා සිටියේ ඕස්ට්‍රේලියාව වැනි සංහිඳියාව පවතින රටක ජීවත් වීමට පුරුදුව සිටින ඔවුන්ට ලංකාවේ පරිසරයට හැඩ ගැසීම ඉතාම දුෂ්කර කාර්යයක් වනු ඇති බවකි. එහෙත් ලංකාව හා එහි ජනතාව කෙරෙහි ඇති ළෙන්ගතුකම අඩු වීමට එය හේතුවක් නොවන බවත් අනිවාර්යයෙන්ම තමා වසරකට වරක් ලංකාවට පැමිණෙනුයේ ඒ නිසා බවත් ඔහු කියා සිටියේය.

මුරුගපූපති ප්‍රමුඛ ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාංකික දෙමළ පුරවැසියන් කණ්ඩායමක් එකතු වී ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවා තිබේ. යුද්ධයේදී දෙමවුපියන් අහිමි වූ දරුවන්ට අධ්‍යාපනය සඳහා අතහිත දීමට මෙම අරමුදල යොදවයි. 1988 සිට ක්‍රියාත්මක වන මෙම අරමුදලින් උතුරු නැඟෙනහිර දරුවන් 1000කට පමණ මේ වන විට සෙත සැලසී තිබේ.

සිය අනාගත අපේක්ෂා කවරේදැයි විමසු කල ඔහු කියා සිටියේ මෙයයි.

“අපේ ආච්චි අම්මා මම පුංචි කාලේ පාසල් යන්න පොත් නැතුව අඬ අඬා ඉන්නකොට මාවත් අඬගහගෙන මීගමුවේ පල්ලිය ළඟට ගිහින් කඩල විකුණලා මට පොත් අරන් දුන්නා. ඒක මගෙ ජීවිතේ තියෙනකල් මට අමතක වෙන්නෙ නැහැ. ඒ නිසා මගෙත් එකම අරමුණ මගේ නිර්මාණ කුසලතාවලින් අනාගත පරපුරට ඇති තරම් සෙතක් සැලසීමයි.”

Comments