
මැණික නිසා වළල්ලත් වළල්ල නිසා මැණිකත් බබළන්නේය
ම’ විසින් වේදිකාවට ගෙන ආ හතර වැනි නාට්‍ය ‘තහංචි’ සරත්චන්ද්‍ර සමරක්කොඩිගේ පිටපතකි. මෙම නාට්‍යයෙහි ද සංගීතය කලාසූරී ෂෙල්ටන් ප්‍රේමරත්නගෙනි. ඇඳුම් හා වේදිකා පසුතල සෝමබන්දු විද්‍යාපති විසිනි. නර්තන නිර්මාණයන් වසන්ත කුමාරයන්ගෙනි. ප්‍රධාන චරිතය සරත්චන්ද්‍ර නිරූපණය කළ අතර උප ප්‍රධාන චරිත අයිවෝ ඩෙනිස්, සමන් බොකල්වෙල, හා නන්ද රත්නතුංග යන ශිල්පීන් විසින් පණ පෙව්වෝ ය. ආදි වාසික භාෂා විලාසයක් මෙහි විය. තනු නිර්මාණයේදී ෂෙල්ටන් ප්‍රේමරත්න වැදි ගී ආර පාදක කර ගත්තේ ය.
රංජිත් ධර්මකීර්ති විසින් ‘චෙරි උයන’ නාට්‍යය අනුවර්තනයක් ලෙසින් වේදිකාවට ගෙනාවේ ‘මහගෙදර’ නමිනි. ඇන්ටන් චෙකොෆ් ගේ චරිත ශ්‍රී ලංකා සමාජයට සරිලන සේ එම නිර්මාණයෙන් අපූරුවට වේදිකා ගත කළේය. රුසියානු සාහිත්‍ය ගැන මනා අවබෝධයක් හා නාට්‍ය රංග කලාව ගැන හසළ දැනුමක් ඇති නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති මහතා ‘චෙරි උයන’ පරිවර්තනයක් ලෙසින් වේදිකා ගත කළ අතර, එම නාට්‍යය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ උපාධි අපේක්ෂක නවක නළු නිළියන් යොදා වේදිකා ගත කළේය. එම නිෂ්පාදනයේද ප්‍රධාන චරිත දෙක සඳහා සෝමලතා සුබසිංහ සහ මා යොදාගත්තේ ය. ‘ලියතඹරා’ සහ ‘චෙරි උයන’ නාට්‍ය දෙක පුහුණු වෙද්දී මට ලැබුණු දැනුම ඉමහත්ය. ස්ටැනිස් ලාවුස්කිගේ රංග විධි ඉගෙන ගැනීමට ලැබීම භාග්‍යයකි. පිරිපුන් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වීමට අතිශයින් වැදගත් වන්නේ වේදිකාව යි. ශ්‍රී ලංකාවේ බහුතරයක් අතිදක්ෂ සියලුම රංගධරයින් පන්නරය ලද්දේ වේදිකාවෙනි.
හැටේ දශකයේ අග භාගයේදී ම’විසින් රචනා කළ ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත වන ‘අත්තික්කා මල් පිපිලා’ පාදක කරගෙන ‘මාතර ආච්චි’ සිනමා පිටපත සකස් කළෙමි. තිර නාටකය රචනා කිරීමේදී මා හට බර්ටි ජයසේකරගේ සහාය ලැබිණි. නිෂ්පාදකවරයෙක් සොයා ගතිමි. නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු බැහැයි කීවේය. කුඩා කල සිටම තැබූ පය පස්සට ගැනීම මගේ සිරිත නොවීය. නිෂ්පාදකයා හඳුනා ගන්නේ මගේ පාසල් මිතුරා වූ ෂෙල්ටන් කරුණානායකගෙනි. නව නිෂ්පාදකවරයකු සොයා ගැනීම කළුනික සෙවීම වැනිය. ෂෙළ්ටන් මිතුරාගේ මාර්ගයෙන් පියදාස සමරවික්‍රම මහතා හඳුනා ගත්තෙමි. ඔහු ධනවතෙක් නොවේ. කළමනාකරුවෙකි. මා සතුව තිබු රුපියල් විසිපහෙන් නළු නිළියන් තේරීම සුදර්ශි ශාලාවේදී සිදු කෙරිණ. ඒ 1969 ඔක්තෝබර් මාසයේය. 1971 දී පළමු දින රුපගත කිරිම මාකොළ දී සිදු කරන්නට යෙදිණි. පළමු දින රූපගත කිරීම සඳහා දෙනවක හාමිනේ, වොලී නානායක්කාර, චන්ද්‍රා කලුආරච්චි සහ ස්වර්ණා මල්ලවආරච්චි සහභාගි විය. කැමරා උපකරණ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ DNTC ආයතනයෙනි. කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා විසිනි. වරින් වර රූපගත කිරීම් සඳහා ෂෙල්ටන් කරුණානායක, පියදාස සමරවික්‍රම මහතුන් දෙපළ දායක විය. ඊළඟට අපට එකතු වූ ආයෝජකයා වූයේ බ්‍රිගේඩියර් මහින්ද දිසානායක මහතා ය.
ගීත පටිගත කිරීමට සූදානම් විය. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පළමු වන චිත්‍රපට ගීත රචනය ‘මාතර ආච්චි’ සිනමා පටයේ යුග ගීතයයි. (සදුන් සිහින සිහිල් අරණ - පාළු ප්‍රේම නගරයේ...) ‘අඳුර බිඳින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා’ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් විස්මිත ගීත රචකයා විසින් කුලි රියක බොනට්ටුව මත සිගරැට් පැකට්ටුවක් දිග හැර එක හුස්මට රචනා කළේ ‘සිගරැට්ටුව පානය කොට නිම වීමට මත්තෙනි. ‘සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී’ ගීතය වොලී නානායක්කාර විසින් සිය කැමැත්තෙන් ලියු ගීයකි. අවශ්‍ය අවස්ථාව හා ගීතයේ ස්වභාවය පසුබිම මා ඔහුට කියා තිබිණි. ඒ වොලීගේ පළමු හා අවසන් ගීතයයි. ගායකයා වූයේ මගේ බාල සොයුරු සුනිල් එදිරිසිංහයන් ය. සංගීත නිර්මාණ වික්ටර් රත්නායක ය. 1964 දී මගේ ‘අත්තික්කා මල් පිපිලා’ වේදිකා නාට්‍යයේ සංගීතය සැපයූ වික්ටර්ට මගේ පළමු චිත්‍රපටයේ සංගීතය සැපයීමට ද භාර දුන්නේ ය. ඒ ඔහුගේ පළමුවැනි සංගීත අධ්‍යක්ෂණය විය.
චිත්‍රපටය නිම කිරිමට තවත් අයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින විට ධර්මසිරි වික්‍රමරත්නගේ ‘ඔන්න බබෝ ඇතින්නියා’ වේදිකා නාට්‍ය රඟ දැක්වීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාල ශාලාවට ගියෙමු. සවස 3.30 දර්ශනය නිම විය. සංවිධායකවරු අතුරුදන්ය. මුදල් 6.30 දර්ශනයට ප්‍රථම ගෙවිය යුතු ය යන්න සම්ප්‍රදායකි. නරඹන්නන්ට සංවිධායක වරුන් අතුරුදන් බව කීවේ ය. මුදල් නොමැතිව නාට්‍ය වේදිකා ගත කිරිම අපහසු බව කී පසු පිරිසක් අප හමුවී කෙසේ හෝ නාට්‍ය රඟ දක්වන ලෙසට කළ ඉල්ලීමට අපි කැමැති වූයෙමු. අපට රාත්‍රී භෝජන සංග්‍රහය සිදු කරන ලද්දේ කුලියාපිටිය නගරාධිපති දයානන්ද වන්නිආරච්චි මහතාය. එම නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ රුක්මණි දේවි, ප්‍රේමා ගනේගොඩ, ලොයිඩ් වාකිස්ට සහ මා විසිනි.
එදින රාත්‍රී මා වැඩි වශයෙන් දොඩමළු වූයේ වන්නිආරච්චි මහතා සමඟිනි. චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් සිටින බවත් සහාය නිෂ්පාදකවරයකු අවශ්‍ය බවත් මම ඔහුට කීවෙමි. ගත වූයේ සතියකි. චිත්‍රපට නිෂ්පාදනයට දායක වීමට කැමැත්ත පළකොට ලිපියක් ලදිමි. ඇති වූ සතුට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකිය. 1973 ජනවාරි 11 වැනිදා සිනමාස් සමාගමේ ශාලාවල ‘මාතර ආච්චි’ ප්‍රදර්ශනය විය.
එදා මගේ මුල්ම සිනමා සිත්තමට අර්ථ පතිත්වයෙන් දායක වූ පියදාස සමරවික්‍රම, ෂෙල්ටන් කරුණානායක, බ්‍රිගේඩියර් මහින්ද දිසානායකට සහ දිවංගත දයානන්ද වන්නිආරච්චි මහතාගේ බිරියට සහ පුතණුවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් උපහාර පුදමින් 2016 දෙසැම්බර් මස 11 වැනිදා ආනන්ද විද්‍යාලීය ශාලාවේදී කෘතවේදීත්වය පිරිනැමුවෙමි. සුනිල් එදිරිසිංහයන් ද කරුණානායක සහ සමරවික්‍රම යන මහතුන් දෙපළට මූල්‍යමය තිළිණ සමඟ තම කළගුණ පිරිනැමුවේය.
‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් මුල් වරට රංගන දායකත්වය දැරූ ශිල්පීන් අතර, විජය නන්දසිරි, කුයින්ටස් වීරකෝන්, කේ. ඒ. මිල්ටන් පෙරේරා, සරත් ගුණරත්න, සහ ආර්. ජි. සිරිවර්ධන ද ඇතුළත්ය. ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීත ජවනිකාවෙහි වාදක මණ්ඩලයේ රෝහණ වීරසිංහ, සෝමපාල රත්නායක, අමරසිරි පීරිස් පෙනී සිටියේය. එම ජවනිකාවට මිල්ටන් මල්ලවආරච්චි ද සහභාගි විය. මිල්ටන්ගේ මුල්ම චිත්‍රපට ගීය සිරි කුලරත්න රචනා කළ ‘රන් දේදුනු රන් පාටින්’ ගීතය ද ඇතුළත්ය. ස්වර්ණා සමඟ පැමිණි මැණික් කුරුකුලසූරියගේ ප්‍රථම රංගනය ද ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙනි. නවකයන් විශාල පිරිසක් හඳුන්වා දීමට මට හැකි විය.
කෙනෙකු දුප්පත්ව ඉපදීම ලැජ්ජාවට කරුණක් නොවේ. දුප්පත්ව මිය යන්නේනම් එය ලැජ්ජාවට කරුණකි. මෙය මාගේ සිත තුළ කිඳා බැස ඇති අදහසකි. මා තුළ ඇති කුසලතාවය ම’විසින් හඳුනාගෙන ජයග්‍රහණය ලබාගත්තේ මා තුළින්මය. චිත්‍රපටයේ නාමාවලිය නිර්මාණය කරන ලද්දේ ඒ. ඩී. රංජිත් කුමාර විසිනි. වළල්ල නිසා මැණික බබළන්නේ ය. මැණික නිසා වළල්ල බබළන්නේ ය. එමෙන් ම මා නිසා වික්ටර් සහ සුනිල් එදිරිසිංහ බබළන්නේ ය. ඒ දෙදෙනා නිසා මා බබළන්නේ ය. නවකයන් හඳුන්වා දීමටත් කළගුණ සැලකීමටත් මම උත්සුක වූයෙමි.
ලබන සතියට