
වැලිකතර චිත්‍රපටයෙ සමීපරූපය ඉන්ද්‍රචාප හොයාගෙන ගියා. ඈතින් ඈතට, 1971 තරම් ඈත කාලයකට අතීත රූපාවලිය දිව යනවා. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහගෙ පළමු චිත්‍රපටය වැලිකතර සිංහල සිනමා වංශකතාවෙ 232 චිත්‍රපටය කියල සටහන් වෙන්නෙ. ඒ විතරක් නෙවි, සිංහල සිනමාවෙ ස්වර්ණ ජයන්තිය 1947 - 97 කාලෙ ඇතුළෙ ප්‍රදර්ශනය කළ චිත්‍රපට අතරින් හොඳ ම චිත්‍රපට දහය තෝරපු විචාරකයො, වැලිකතර හොඳ ම චිත්‍රපට දහය අතරට එකතු කරනවා පරසතු මල් සමඟ සම තත්වයෙන්. වැලිකතර අධ්‍යක්ෂ ඩී.බී. නිහාල්සිංහ, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ සමීප රූපය ඉන්ද්‍රචාප දකින්නෙ අපේ රටේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියට විතරක් ම නෙවි.
ඔහු අපේ සිනමාවෙ කැමරා අධ්‍යක්ෂවරයෙක් විදියට වගේ ම සංස්කරණ නිර්මාණ ශිල්පියෙක් විදියටත්, විශිෂ්ටයෙක් ලෙස, සම්මානිත කලාකරුවෙක් ලෙසත් ඉන්ද්‍රචාප දකිනවා. වැලිකතර, චිත්‍රපටය තිරගත වුණු 70 දශකය සිංහල සිනමාවෙ ස්වර්ණමය යුගය විදියට විචාරකයො වගේ ම සාමාන්‍ය රසිකයොත් පිළිගන්නවා. ආචාර්ය නිහාල්සිංහ, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, මහගමසේකර, සුමිත්‍රා පීරිස්, මණික් සන්දරසාගර, ගාමිණී ෆොන්ස්කා, සුනිල් ආරියරත්න, විජය ධර්ම ශ්‍රී වගේ සිනමාත්මක චිත්‍රපට හදපු චරිත සමඟ වාණිජමය වශයෙන් ප්‍රේක්ෂකය්නට ළං වුණු චිත්‍රපට හදපු එච්.ඩී. ප්‍රේමරත්න, ටී. අර්ජුන, කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා, යසපාලිත නානායක්කාර වගේ අධ්‍යක්ෂවරුන්ගෙ සමීපරූපත් ඉන්ද්‍රචාප දකිනවා.
හැබෑවට ම 70 දශකය සිංහල සිනමාවෙ ස්වර්ණමය යුගය ම තමයි. සිංහල සිනමාවේ ප්‍රථම සිනමාස්කෝප් ප්‍රමාණයේ චිත්‍රපටයක් ලෙස වැලිකතර 1971 දී ප්‍රේක්ෂකයනට ප්‍රදානය කරන නිහාල්සිංහ ගේ චිත්‍රපට අධ්‍යක්ෂණ භූමිකාවෙ පසුකාලීන අස්වැන්න තමයි, රිදී නිම්නය (1982), මල්දෙණිෙය සිමියොන් (1986), කෙළි මඬල (1981). මේ හැම නිර්මාණයක් ම අබිබවා ඉදිරයෙන් ම තියෙන විශිෂ්ට චිත්‍රපටය විදියට ඉන්ද්‍රචාපට පේන‍්නෙ වැලිකතර. වැලිකතර නිහාල්සිංහ ෙග අධ්‍යක්ෂණයෙ මහරුඵලය විදියටයි, ඉන්ද්‍රචාප දකින්නෙ.
වැලිකතර විශිෂ්ට චිත්‍රපටයක් විදියට නිහාල්සිංහගෙ අධ්‍යක්ෂණයට හේතුකාරක රැසක් තියෙනව කියලා ඉන්ද්‍රචාප දකිනවා. අංක එක තමයි, වැලිකතරට තිස්ස අබේසේකර ලියන තිර නාටකය. නීතිය සුරකින නීති නිලධාරියෙකුත් නීතියට එරෙහිව නීති විරෝධි ජාවාරම් හි නිරත පුද්ගලයෙකුත් අතර, ගැටුම චිත්‍රපටයේ තේමාව වුණත්, ඊට මැදිවන නීති නිලධාරියාගේ බිරිඳ වගේ ම නීති නිලධාරියාගේ තරුණ වියේ ආදර සම්බන්ධයක් ද චිත්‍රපටයේ ගැටුම සංකීර්ණත්වයට පත් කරනවා.
නීති විරෝධී ජාවාරම් හි නිතර නායකයාත්, නීතිය රකින නිලධාරියාටත් පමණක් වන රහස හමුවේ නිලධාරියාගේ බිරිඳ මුහුණ පාන මානසික ගැටලුව, නිලධාරියා ඉදිරියේ ඇති උභතෝකෝටික ප්‍රශ්නය චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානයෙන් ඈත්ව යන්නට ලිහී නොයන්නට ඇද බැඳ තබා ගන්නා ප්‍රධාන හේතු සාධක වේ.
අංක දෙක විදියට වැලිකතරේ සාර්ථකත්වයේ රහස ලෙස ඉන්ද්‍රචාප දකින්නේ, නිහාල්සිංහට අධ්‍යක්ෂණය සඳහා ඔහු විසින් ම තෝරා ගත් නළුවරණයේ (Casting) ප්‍රභාවයි. ප්‍රධාන භූඹිකා නිරූපණය කරන ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා වීරසිංහ ත්‍රිත්වයේ රංගන ප්‍රතිභාව දශක පහක් පමණ ගෙවී ගිය ද අපගේ මනසින් ඈත්ව නොයන්නේ, ඔවුන් තිදෙනා ම එකිනෙකාට නොපරදින අන්දමේ රංගනයක නිරත වන බැවින්.
ඉන්ස්පෙක්ටර් රන්දෙණිය, ගීතා ඔහුගේ බිරිඳ, ගෝරිං මුදලාලි, ගේ රංගන වර්ණනාතික්‍රාන්තයි. ඒවා සැබැවින් ම සිංහල සිනමාවේ රංගනය සඳහා නව පරපුරේ නළු නිළියන් විසින් අධ්‍යයනය කළ යුතු ආදර්ශ චරිත නිරූපණයි. වැලිකතරේ ඩිජිටල් පුනරුත්පත්තිය, ප්‍රදර්ශනයේ දෙවැනි ඉනිම ලෙස දැන් නැරඹීමට අවස්ථාව සැලසී තියෙනවා.
වැලිකතර, ප්‍රබුද්ධ සිනමා අත්දැකීමකට හවුල් වෙන්නට චිත්‍රපට ශාලාවකට යන බුද්ධිමත් ප්‍රේක්ෂකයෙකුට වගේ ම සාමාන්‍ය මුල මැද අග සහිත කතාන්දරයක් සහිත කතාරසයෙන් පිරුණු, ජනප්‍රිය නළු නිළියන්ගේ රංගන නරඹන්නට පුරුදු වී ඇති, කැමැති ඕනම ප්‍රෙක්ෂකයකුට රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් විදියට හඳුන්වන්න ඉන්ද්‍රචාප කැමැතියි.
වැලිකතර නරඹලා සිනමා ශාලාවෙන් එළියට ඇවිත්, එහි ප්‍රධාන චරිත නිරූපණය කරන තුන්දෙනාගෙ ම ජීවිත ප්‍රශ්න ගැන වෙන් වෙන්ව හිතන්නට සිදුවීම වලක්වන්න අමාරුයි. ඔවුන් තුන්දෙනාගෙ ප්‍රශ්න එකිනෙකට වෙනස්. ඒත් අධ්‍යක්ෂ නිහාල්සිංහට පුළුවන් වෙනවා ඒ ප්‍රශ්න යථාර්ථවාදීව ඉදිරිපත් කරන්න.