රසාංගි ද මැල්ගේ රස සර ගී 14 දා | Page 9 | සිළුමිණ

රසාංගි ද මැල්ගේ රස සර ගී 14 දා

සංගීතාචාරිනී රසාංගි ද මැල්ගේ 38 වසරක සංගීත දිවිය සමරා ඉදිරිපත් කරන ‘රස සර ගී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය ලබන 14 වැනි සිකුරාදා සවස 5.00 ට මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විදුහලේ පියසේන කොඩිතුවක්කු රංග ශාලාවේදී පැවැත්වේ.

එදින ඇය නව ස්වතන්ත්‍ර නිර්මාණ හා ජනප්‍රිය ගීත රැසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඇය සමඟ යුග ගායනයෙන් මාධ්‍යවේදී ගුවන්විදුලි ගායන ශිල්පී සොයුරු ගීත් ද මැල් ඇතුළු ප්‍රවීණයෝ ද එක්වෙති.

ගී පද රචනයෙන් සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ෆිලික්ස් සිල්වා, ආචාර්ය අජන්තා රණසිංහ, එම්. එච්. ප්‍රසන්න නන්ද කුමාර, දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, ආරියසේන අහංගම, ඉංජිනේරු ජයසේකර බණ්ඩාර හා ආනන්ද එස්. විජේසිරි දායක වී ඇති අතර, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, පියල් ප්‍රනාන්දු, නවරත්න ගමගේ, එච්. එම්. ජයවර්ධන, බන්දු එස්. කන්නන්ගර හා මර්වින් පෙරේරා යන සංගීත ශිල්පීන් ගී තනු නිර්මාණය කර ඇත.

මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම සංගීතඥ පියල් ප්‍රනාන්දු ප්‍රමුඛ ප්‍රවීණ වාද්‍ය වෘන්දයෙනි. කථනයෙන් ප්‍රවීණ රූපවාහිනී නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර එක් වේ. එදා ගුවන් විදුලි මහගෙදරින් ගායන අත්පොත් තැබු ඇය විශාරද නන්දා මාලිනිගේ ළමා මණ්ඩපයට දායක වීමේ භාග්‍ය උදාකර ගනී. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘ඒ’ ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය මීට වසර 10කට පෙර 2007 දී ‘රසාංගි ස්වර දැහැන’ නමින් ඒකපුද්ගල ගී ප්‍රසංගයක් මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේදී පවත්වා ඇත. මොරටුව උයන කනිටු විදුහලෙන් අධ්‍යාපනයේ අත්පොත් තැබූ රසාංගි ද මැල් පසුව මොරටුව වේල්ස් කුමරි විදුහලට ඇතුළත් වීමෙන් අනතුරුව සංගීත දිවිය ඔපවත් කර ගැනීමට හැකි වූයේ එහි සංගීත ගුරුවරිය ලෙස කටයුතු කළ අතාවුද ආරච්චි ගුරු මෑණියන්ගේ මඟ පෙන්වීමෙනි. පසුව වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ මරදාන ආනන්ද බාලිකා විදුහලට ඇතුළත් වූවාය. එහිදී ගායන දිවිය වෙනත් අතකට යොමු විය. එනම් එහි සංගීත ගුරුවරිය ලෙස කටයුතු කළ ගායන විශාරද මාලිනි බුලත්සිංහල ගුරු මෑණියන්ගේ මඟපෙන්වීම යටතේ සංගීතය හැදෑරීමේ භාග්‍යය උදාකර ගත්තාය. විශාරද මාලිනී බුලත්සිංහලයන් ඇගේ සංගීත කුසලතාවයන් හඳුනාගෙන ‘ආරාධනා ස්වර දැහැන’ සංගීත වැඩසටහන සඳහා සහාය ගායිකාවක ලෙස සහභාගි කරගත්තාය.

රසාංගි ද මැල්ගේ සංගීත දැනුම පුළුල් කරගැනීමට මග පෑදු සංගීත ආචාර්යවරුන් වන ප්‍රේමදාස මුදුන්කොටුව, රෝහණ බැද්දගේ, සනත් නන්දසිරි, එච්. ඩී. ජයසේකර, කෝලිත භානු දිසානායක, ආරියදාස රණවක, සන්ධ්‍යා කුමාරි, සෝමදාස පීරිස්, සුදත් වික්‍රමසිංහ හා ත්‍යාගරාජා යන ගුරුභවතුන් හා ගිරාගම සෞන්දර්යය ගුරු විදුහලේ සංගීතාචාර්යවරුන් වන මහින්ද ප්‍රේමරත්න, ශාන්ත ගීතදේව, නිශාද් සඳුන් පතිරණ, අමිත බණ්ඩාර හා රමණී පුෂ්පලතා යන ගුරුවරුන් හා අනෙකුත් සියලුම ගුරුවරුන් යටතේ සංගීතය හදාරා ඇති අතර, එම ආචාර්යවරුන්ගෙන් ලද දැනුම් සම්භාරය හා ආශිර්වාදය ඊට හේතු වූ බව ඇය පවසන්නීය.

ඇගේ සංගීත දිවියට අත්වැලක් වූ සංගීතඥ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, පියල් ප්‍රනාන්දු, බන්දු එස්. කන්නන්ගර හා ෆිලික්ස් සිල්වා සිහිපත් කරනුයේ ඉමහත් හදපිරි සතුටිනි.

හිටපු විදුහල්පති පියසේන කොඩිතුවක්කු, ආනන්ද වීරසිංහ, වර්තමාන විදුහල්පතිනි වසන්තා කුලසේකර, නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා සෞන්දර්ය අංශයේ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයෙනුත් සිසු දැරියන්ගෙනුත් ලද සහයෝගය ස්තූති පූර්වකව සිහිපත් කරයි.

නව ස්වතන්ත්‍ර නිර්මාණ ගීත 14ක් ඇතුළත් සංයුක්ත ගී තැටියක් එදින එළිදැක්වේ. සංගීත දිවියට 38 වසරක් සපිරීම නිමිත්තෙන් මෙම ප්‍රසංගය නොමිලේ පැවැත්වේ. එදින මැති ඇමැතිවරුන් කලා ශිල්පීන් හා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වෙති.


නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ සිසු සිසුවියන්ගේ සංගීත ප්‍රසංගය දා...

නන්දා මාලිනිය කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍ර යේ ප්‍රවීණතම ගායිකාවක්. සරළ ගීත, ශාස්ත්‍රීය ගීත, ළමා ගීත, චිත්‍රපට ගීත මෙන්ම විමුක්ති ගීත වැනි විවිධ ආකාරයේ ගීත ගණනාවක් එදා මෙදා තුර මෙරට ගීත ක්ෂේත්‍රයට දායාද කර ඇති ඇය මෙරට අනාගත පරම්පරාවට නිවැරැදි සංගීත දැනුමක් ලබාදෙන්නට නිරතුරුවම කැපවී ක්‍රියා කරනවා.

ඇය සංගීතය ඉගැන්වීමේ කටයුතු සිදුකරන්නේ අංක 30, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ පිහිටි නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ දී. පසුගිය 17 වැනිදා ඇගේ සංගීත ආශ්‍රමයේ දරුවන් 50 දෙනකුගේ දක්ෂතා එළිදැක්වීමේ ප්‍රසංගයක් කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිනී රඟහලේදී පැවැත්වුණා.පැය 2ක් පුරා පැවැති මෙම ප්‍රසංගයේදී, නන්දා මාලිනියගෙන් සංගීතයේ අත්පොත් තැබූ මේ දරු දැරියන් ගීත 15 ක් ගායනා කළා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ විසින්.සරත් ප්‍රනාන්දු, සනත් සතිස්චන්ද්‍ර, ඉන්දික රජින්ත, කැලුම් ගීගනගේ, නඳුන් ධනන්ජය යන පිරිස සංගීතය සැපයූවා. මෙම ප්‍රසංගයේ දී ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි,මර්සලින් ජයකොඩි පියතුමන්, සුනිල් සාන්තයන්,අමරදේවයන්, ෂෙල්ටන් ප්‍රේමරත්නයන්,ලෙස්ටර් ජේම්ස් පීරිස්,සී.ටී. ප්‍රනාන්දු සහ ඔස්ටින් මුණසිංහ වැනි ශිල්පීන් වසර 50 ක් තිස්සේ කළ ජීවිත නිර්මාණ කිහිපයක්ද ඩබ්.බී. මකුලොළුව, සී. ද එස් කුලතිලක, ලයනල් රංවල වැනි ජනගීය ප්‍රචලිත කිරීමට පුරෝගාමීවූවන්ගේ නිර්මාණ කිහිපයක් සමඟ කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර,මඩවල එස්. රත්නායක වැන්නන් සමඟ එහි ඉතිහාසයද එක්කර තිබුණා.මෙම ප්‍රසංගය සාර්ථක කරගන්නට අචලා ගම්මන්පිල ගුරුතුමිය සහ චතුරි පෙරේරා අගනා සහයෝගයක් ලබාදී තිබෙනවා. මේ එම ප්‍රසංගයේ විශේෂ අවස්ථා කීපයකි.


මීගමුව විශ්ව රංගනා කලායතනයේ රංගාභිෂේක කළඑළිදැක්ම...

මීගමුව තිඹිරිගස්කටුව විශ්ව රංගනා කළායත‍නයේ සිසු දරු දැරියන්ගේ රංගාභිෂේක මංගල්‍යය පසුගියදා මීගමුව තිඹිරිගස්කටුව ශ්‍රි සුගතාරාම විහාරස්ථානයේදි පසුගියදා පැවැත්විනි.

එහි නර්ථනය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වර්ෂයක් පාසා දොරට වැඩීමේ උත්සව මාලාවේ තවත් එක් පියවරක් මෙවරත් ප්‍රවීණ නර්ථනාචාර්ය සුනිල් තල්ගහගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර උත්සවය අවසානයේදි සිසු දරු දැරියෝ සමූහ ඡායාරූපයකට පෙනි සිටියහ.විශ්ව රංගන කලායතනයේ නර්ථනාචාර්ය නිමාලිද සිල්වා මහත්මියද මෙහි සිටී.

සටහන හා ඡායාරූප - දමින්නගහවත්ත යසපාල චන්ද්‍රසිරි


'සංගීත මඩලේ ප්‍රතිරාව නැංවූ නිර්මාණ ගී ශිල්පියාණෝ'

ජනප්‍රිය හා සම්මානනීය ගායන ශිල්පියකු වූ එච්.ආර් ජෝතිපාල නම් වූ කලාකරුවාගේ 30වැනි ගුණ සැමරුම 2017 ජූලි මස 7දිනට යෙදී තිබේ. එම සැමරුම් දිනය වෙනුවෙන් මේ ලිපිය සැකසෙයි.

ගීතයක රිද්මක් නොමැති වූ විට එම ගීතයෙහි රසවත් බව වියැකී යයි.ඒ අනුව අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ගීතයක අන්තර්ගතයේ ඇති අර්ථාන්විත බව මැනවින් වටහාගෙන රිද්මයට ප්‍රමුඛතාව ලබා දෙමින් ගීත ගායනා කළ ශිල්පීන් අතර එච්.ආර් ජෝතිපාල නම් වූ කලාකරුවාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඕනෑම ගීතයක් මනා සංයමයකින් ගායනා කිරීමට සමත්කම් පෑ ජෝතිපාලයන්ට ගීතයක් ජනප්‍රිය කරවීමට ද එතරම් දීර්ඝ කාලයක් ගත නොවීය. උසස් චින්තන ශක්තියකින් හෙබි ජෝතිපාලයන් සෑම ගීත නිබන්ධයක්ම අපූර්වත්වයෙන් යුතුව ගායනා කරනු ලැබුවේ ස්වකීය අනන්‍යතාව ඉස්මතු වන පරිදිය.

ජෝතිපාලයන් විසින් ගායනා කළ ගීත සමුදාය අතුරින් මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා අම්මේ ඔබෙ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා ”සහ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි උදාරයි ආදරේ”යන ගීත ශ්‍රී ලාංකීය ගීත ඉතිහාසයට එක් වන්නේ අපූර්වත්වයෙන් යුතු මවුගුණ ගීත වශයෙනි. ඒවාගේම ජෝතිපාලයන් විසින් එකී ගීත ගායනා කරන විලාසය අනුව මවු පදවියෙහි ඇති අගය තව තවත් ඉහළ යාමට රුකුලක් වෙයි.ජෝතිපාලයන් විසින් ගායනා කරන තවත් විශිෂ්ට ගණයේ ගීතයක් ලෙස සලකනු ලබන සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ නිර්මාණ ගී ශිල්පියාණෝ සීගිරි ලෙනේ හී රූ අප්සරාවන් ඇන්දා වූ ඒ සිත්තරාණෝ යන ගීතය ද සෑම කලාකරුවකුගේම අගනාකම මුළුමහත් විශ්වයටම කියා පාන අතර සංවේදී හදවත් ඇති ඕනෑම කලාකරුවෙක් ධෛර්යවත් කිරීමට ද පිටිවහලක් වෙයි.

එමෙන්ම සරා සඳේ සිනා සේ ගිලිහී වැටිලා ” සහ රුවන් වලා විමානේ සිරියහනාවෝ දුටුවාදෝ ” වැනි ගීත මගින් ද මතු කරනු ලැබුවේ ඔහු සතු වූ විශිෂ්ට ප්‍රතිභාවයි. ජෝතිපාලයන් ස්වකීය නිර්මාණ මාධ්‍යයක් කරගෙන ප්‍රේමය කෙරෙහි දැක්වූ මෘදු මොලොක් භාවය ද ඔහු විසින් ගායනා කරන ලද ආදරේ සිහිනයකි කිව්වේ එදා කවුද සුදෝ ” චන්ද්‍රා මේ රෑ පාය ආවා”නීල දෑස පුරා” අඬන්නේ ඇයි සුදු මැණිකේ'එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ”සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ ”ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි ”ආදී ගීත මගින් මනා ලෙස ප්‍රකට විය. සැබවින්ම ජෝතිපාලයන් විසින් ගායනා කරන ලද ප්‍රේම ගීතවල වදන් ඇසෙන විට බොහෝ අසන්නන්ගේ පෙම් හැඟුම් පුබුදු වීමද හේතුවක් වේ. විශේෂයෙන් සමනළ මුදුණේ සිරි පද සිඹ සිඹ උදා ඉරක් පායයි” රාජ කිරුළු පළන්දාපු රජ්ජුරුවෝ ” සහ පෘතෘගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා ” වැනි ගීත මගින් ජෝතිපාලයන්ගේ මධුර වූ ගායන විලාසයට අමතරව මහා හඬ පෞරුෂය ද ඉස්මතු විය.

ජෝතිපාලයන් කෙටි කාලයක් තුළ රිදී තිරයට උචිත චතුර ගායකයකු ලෙස නමක් දිනා ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.ඒවාගේම ජෝතිපාලයන් පරිත්‍යාගශීලී හදවතක් තිබුණු ගායකයකු වශයෙන් ද ප්‍රකට වෙයි.හරිහම්බකිරීම ජීවිතයේ එකම සහ මුල්ම අභිලාශය කර නොගත් ජෝතිපාලයන් මිල මුදලට ගැති වී කිසිසේත් කලාවට දෙවැනි තැන ලබා නොදුන්නේය. ජෝතිපාලයන් සෑම විටම තම වෘත්තිය උතුම් කොට සැලකුවේ ඒ අනුව නූතන සංකීර්ණ සමාජයෙහි මුදල් වලට පමණක් ගැති වී කෙටි මාර්ග උපයෝගී කරගෙන සමාජය තුළ වැජබීමට ප්‍රයත්න දරන කලාකරුවන්ට මහඟු ආදර්ශයක් වෙමිනි.

එච්.ආර් ජෝතිපාල නැමැති කලාකරුවා දෙස් විදෙස් රසික රසිකාවියන් අතර අතිශය ජනප්‍රිය වීමට බලපෑ ප්‍රමුඛතම හේතුවක් වූයේ ඕනෑම ශෛලියකින් ගීත ගායනා කිරීමේ හැකියාවයි. ගීතයක සෑම වචනයක්ම නිවැරැදිව උච්ඡාරණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ජෝතිපාලයන් ගීතයක වචන වලින් මතුවන අර්ථය තීව්‍ර කිරීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර වීම ද ඔහු සතු විශේෂත්වයකි. එච්.ආර් ජෝතිපාල නම් වූ කලාකරුවා භෞතික සිරුරින් අප අතර නොමැති නමුත් ඔහු විසින් ගායනා කළ ගීත තව දුරටත් විධිමත්ව සංරක්ෂණය කිරීම ඉතාම වැදගත් වාගේම එවැනි ගීත නිරතුරුව ප්‍රචාරය කිරීම ද ඔහුගේ කටහඬට ඇළුම් කරන ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන්ට මහත් අස්වැසිල්ලලකි.


සිංහබාහු දෙතැනක

 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු අද (09)දින ප.ව2.30ට සහ ප.ව 6.30ට අම්පාර ඥාන ප්‍රදීප ශාලාවේදිත් 11දින පෙ.ව10ට සහ ප.ව 2.00ට මහව සයිමන් නවගත්තේගම ශාලාවේදීත් රඟ දැක්වීමට කටයුතු යොදා ඇත. 

Comments

පිටු