ප්‍රින්ස් උද­යට ගෞර­වා­න්විත සමු­දී­මක් ආද­ර­ණීය ප්‍රින්ස් ප්‍රසං­ගය | සිළුමිණ

ප්‍රින්ස් උද­යට ගෞර­වා­න්විත සමු­දී­මක් ආද­ර­ණීය ප්‍රින්ස් ප්‍රසං­ගය

ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත ආදරණීය ගීත රසක් ගායනා කර අමරණීය මතක රැසක් ඉතිරිකර පසුගියදා (ජූනි 08 ) අප අතරින් සමුගත්තේ රසික හදවත් සංවේගයෙන් පුරවා ලමින්.දිගු කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස්ව සුවපත් කරගැනීමට පවුලේ අය සතු සියලු දේපල විකුණා කෝටි දෙකක පමණ මුදලක් ඔහු වෙනුවෙන් වියදම් කර තිබුණා. ප්‍රින්ස් අවසන් වරට ප්‍රතිකාර ගත් පෞද්ගලික රෝහල් බිල ලක්ෂ 25 ඉක්මවා තිබූ නිසා මෙය ගෙවාගැනීමට හැකියාවක් නොමැති බව ප්‍රින්ස්ගේ නැගනිය ප්‍රසිද්ධියේ ජනමාධ්‍යය හරහා කිව්වා.

මෙම අවස්ථාවේ සිය ආදරණීය ගායන ශිල්පියා වෙනුවෙන් එම මුදල සොයා ගැනීමේ වගකීම කරට ගන්නට සහොදර ගායක ගායිකාවන් පෙරට පැමිණ තිබෙනවා.ඒ අනුව පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටවා ගැනුණු අතර මෙහි ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්.එහි සෙසු සාමාජිකයන් වන්නේ මධුමාධව අරවින්ද, ටිරෝන් මද්දුමගේ ගායන ශිල්පීන්,නිවේදන ශිල්පී සේනක උබේසිංහ සහ සංගීතඥ නුවන් සමරසිංහ යන මහත්වරුන්.

මෙම විශේෂ කමිටුවේ එකමුතුවෙන් හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංග මහතාගේ සහයෝගයෙන් මෙම මුදල සොයා ගන්නට ‘ආදරණීය ප්‍රින්ස්‘ නමින් ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා.

ලබන 14 වැනි වැනි සිකුරාදා මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේදී සවස 6.30 ට මෙම ‘ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය පැවැත්වෙනවා.

යූත් එක්ස්ට්‍රීම් සංගීත කණ්ඩායම සංගීතවත් කරන මෙම ප්‍රසංගයට තම සහෝදර ගායන ශිල්පියා වෙනුවෙන් ගීත ගැයීමට විශාරද අමරසිරි පීරිස්, විශාරද එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ප්‍රියා සූරියසේන, විශාරද නිරෝශා විරාජිනී, විශාරද සමිතා එරන්දතී මුදුන්කොටුව, රෝහණ බෝගොඩ, මරියසෙල් ගුණතිලක, ජගත් වික්‍රමසිංහ, නෙළු අධිකාරි, විශාරද ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල්, භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, උමාරියා සිංහවංශ, කසුන් කල්හාර, අමල් පෙරේරා, චාමර විරසිංහ, චන්දන ලියනආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍ර සේන හෙට්ටිආරච්චි, මධු මාධව අරවින්ද, රොහාන් සිල්වා, ටිරෝන් මද්දුමගේ, නාමල් උඩුගම සමග ආත්මා ලියනගේ යන 28 දෙනා එක්වනවා.

මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය නුවන් සමරසිංහ විසින් සිදුකරන අතර කථනය සේනක උබේසිංහ විසින් සිදුකරනවා.එන්න නරඹන්න මෙම මහා පුන්‍ය කර්මයට ඔබගේ දායකත්වන්න


ලක්‍ෂ විසිනවයකට අධික මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් ගෙවීමට තිබෙනවා

ප්‍රධාන සංවිධායක කීර්ති පැස්කුවල්

“ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියලා කියන්නේ, අපේ රටේ හිටිය ඉතාමත් දක්ෂ ගායන ශිල්පියෙක්. කලාශිල්පියෙක්. ඔහුට අවාසනාවන්ත ලෙස අකාලයේ අප අතරින් සමුගෙන යන්නට සිදුවුවත්, ඔහු විසින්කළ, ගී නිර්මාණ රසිකයන්ගේ හදවත් තුළ හැමදාටම පවතීවි කියලා අපට විශ්වාශයක් තියෙනවා. ඔහු ඒ තරම්ම රසිකයන්ට ළෙන්ගතු චරිතයක්. ප්‍රින්ස් නොපැතු ලෙස, පසුගිය වසර දෙකකට පෙර රෝගාතුර වීමට පටන් ගත් මොහොතේ පටන් ඔහුගේ සොයුරිය ප්‍රින්ස්ව සුවපත් කර ගැනීම වෙනුවෙන් උපරිම කැපවීම් කළා. ඔහුව පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට ඇයට අවශ්‍ය වු‍ෙණත් ඒ නිසාමයි. මේ හේතූන් නිසා ප්‍රින්ස් උපයාගත් ධනය, සහ සියලු දේපල විකුණා සහ උගස් කර ඔහු වෙනුවෙන් වියදම් කිරීමට පවුලේ උදවියට සිදුවූවා. අවසාන අවස්ථාවේ පවා ඔහුව රෝහල් ගතකර ත්බෙන්නේ ඔවුන්ගේ අවසන් ඉඩම් කැබැල්ලත් විකුණා හෝ ප්‍රින්ස්ව සුවපත්කර ගැනීමේ අරමුණින්, නමුත් බලාපොරොත්තු නොවූ ලෙස ඔහු සමුගැනීම, ඉතාමත් කනගාටුදායක තත්වයක් බවට පත්වූවා. ඒ වන විට එම රෝහල සඳහා රුපියල් විසිපන්ලක්‍ෂ තිස්අට දහසක මුදලක් ගෙවීමට නියමිතව තිබුණා. ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීම වෙනුවෙන් දේහය නිදහස් කර ගන්නට ඇයට සිදුවූයේ ලිඛිත පොරොන්දුවක් හා පුද්ගල ඇප දෙකක් මත. ඒ වගේම නවලෝක රෝහලේ හෙදියකගේ මැදිහත්වීම මත රුපියල් ලක්‍ෂ හතරක මුදලක් පොලියටද ඇය විසින් ලබාගෙන තියෙනවා. ඒ අනුව ලක්‍ෂ විසිනවයකට අධික මුදලක් ඇය ප්‍රින්ස් වෙනුවෙන් ගෙවීමට නියමිතව තිබෙනවා.

මේ අවස්ථාවේ කලාකරුවන් වන අපි ප්‍රින්ස් වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියන තැනට ආවා. ඒ නිසාම තමයි ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය සංවිධානය වන්නේ. එයින් ලැබෙන අදායමෙන් ඔහු වෙනුවෙන් වූ ණය බේරලා, ඔහු ණය කරුවකු නොවූ කලාකරුවෙකු ලෙසට ඔහුට ගෞරවනීය සමුදීමක් ලබා දෙන්නට මේ ප්‍රසංගයට ජනප්‍රිය ප්‍රවීණ හා ප්‍රින්ස්ගේ සමකාලීන ශිල්පීන් 28 දෙනකු සහභාගී වෙනවා. ඔවුන් හැමදෙනාම ඉතාමත් කැමැත්තෙන් මේ සඳහා තම දායකත්වය ලබා දෙන්නට ඉදිරිපත් වුණා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන්නට ඉදිරිපත් වුණා. ප්‍රින්ස් ජාතික තරුණ සේවා සභාව තුළින් බිහිවුණු දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු වෙනුවෙන් හැකි උපරිමය කිරීමට එහි සභාපති තුමාත්, කාර්ය මණ්ඩලයත් බොහොම කැමැත්තෙන් එකඟතාවය පලකළා. ප්‍රසංග ශාලාව, සංගීත භාණ්ඩ සමඟ සංගීත කණ්ඩායම කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම පහසුකම් නොමිලේ ලබාදීමට සභාපති තුමා පොරොන්දු වුණා. අවශ්‍ය ශබ්ද උපකරණ, කසුන් සවුන්ඩ් සහ බටංගල සවුන්ඩ් විසින් ලබාදෙනවා. පසුතල අලංකරණය, විදුලි ආලෝකකරණය, ආදී අනෙකුත් පහසුකම් සජිත් ලයිට් ආයතනය අප වෙත ලබාදීමට සූදානමින් සිටිනවා.

මේ දැවැන්ත සංගීත ප්‍රසංගය නරඹා රසවින්දනයක් ලබන ගමන්ම, ප්‍රින්ස් වෙනුවෙන් යමක් කරන්නටත් රසිකයන්ට මෙයින් අවස්ථාව උදා වෙනවා. එවිට අප කිසිවෙක් ණය කරුවන් වන්නෙ නෑ. චේතනාවෙන් තමයි අපි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ, රු. 1000/-, 2000/-, 3000/- වශයෙන් තමයි ප්‍රවේශපත මිල කරලා තියෙන්නේ. මේ මුදල ප්‍රේක්ෂකයාට පාඩුවක් වෙන්නේ නෑ. මේක ඉතා දුර්ලභ ගනයේ වටිනා සංගීත ප්‍රසංගයක් නිසා, ඒ වගේම නව ලෝක රෝහලේ බලධාරීන් හා වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරලා මෙම මුදල අඩුකර ගැනීම පිණිස සැලසුමක් අපට තියෙනවා. ප්‍රින්ස් ඔස්කා සංවිධානයේ සාමාජිකයෙකුව සිටි නිසා ඔහුට හිමි රක්ෂණ මුදලත් මෙහිදී ලබාදීම සිදුවෙනවා. අවසාන වශයෙන් සියලුම දෙනාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.එන්න. නරඹන්න මෙම මහා පුන්‍ය කර්මයට ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා.


මේක පිනක්, මනුස්සකමක්

ගායන ශිල්පී කමිටු සාමාජික මධුමාධව අරවින්ද

“ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ කුමාර ජීවිතයක්, මිනිහෙකුට කුමාර ජීවිතයක් ලැබෙන්න කාරණා කිහිපයක් තිබෙනවා. එකක් උපතින්, එහෙම නැතිනම් ස්වභාවයෙන් තමන් සතුවූ දෙයකින් එහෙම නැතිනම් තමන් ඉපැදෙන රට තමන්ව කුමාරයෙක් කරන්න පුළුවන්. මේක පළවෙනි එක වු‍ෙණ් නැහැ. කුමාරයෙක් විධියට නෙමේ ප්‍රින්ස් ඉපදුණේ. බොහොම සාමාන්‍ය පවුලක උපන් ප්‍රින්ස්ව මේ රට කුමාරයෙක් කළා. ඒ කුමාරකාලෙදි තමයි අපි ඔහුව ගායකයෙක් හැටියට දකින්නේ. මම හැමදාම කියපු දෙයක් තමයි තනිකඩයාව තනිකරන්න එපා කියලා. ඔහු අසනීප වුණ පළමුවැනි දවසේ ඉඳලා, මම විශ්වාස කරපු විධියටම තනිකඩයාව තනිකළේ නෑ මගේ රට. ඔවුන් පිටුපස්සේ හිටගත්තා ආදරණීය මිනිස්සු වූ ඔබ, ඔබට පුළුවන් විධියට ආශීර්වාද කළා. මුදල් පරිත්‍යාග කළා. ඒ වගේම ඔහු යන්නට ගිය දවසේ කනගාටු වෙන්න ඇති.

ඔහුව කුමාරයෙක් කළාට රට, ඒ කුමාරයාව රැක ගන්න දෛවය ඉඩ දුන්නේ නෑ. ඔහුගේ දුක සැප බලා ගන්න ගැහැනියක් ජීවිතයේ සිටියේ නෑ. හිටපු එකම ගැහැනිය අම්මා. අම්මාවත් ඔහුගෙන් උදුර ගත්තා. ඉතිරිවුණේ අවසානෙට සහෝදරිය පමණයි. ඒ සහෝදරකම නිසා අපි ප්‍රාර්ථනා කළ එතුමිය ලබන ආත්මයේ ප්‍රින්ස්ගේ අම්මා වෙන්න කියලා. අපි ඔබ බලාගෙන ඉන්නවා තවමත්, ප්‍රින්ස් යන්නම ගියා.

ඔබේ ආශිර්වාදය, ඔබේ හයිය මේ වෙලේ අවශ්‍යයයි. තනි පොටට වඩා දෙපොට හයියයි. එය පෙන්වන මොහොත උදාවෙලා තියනවා. එන්න ඔබට ගෙන එන්නට පුළුවන් කීයද මීට මොලවාගෙන එන්න. ඒ මිනිසා ණයවිය යුතු කෙනෙක් නොවේ. ඔහු අහිංසකයෙක්. තනිකඩයෙක්. තනිකඩයව තනිනොකර මිට මොලවාගත් මුදල රුපියල වේවා කීයක් වේවා, මනුස්සකමේ නාමෙන් පූජා කරන්න. මේ පෙරහැරට අපි සාදු කාර දෙන්නේ මොකක්වත් හින්දා නෙමෙයි, මේක පිනක්, මනුස්සකමක්. දවසින් දවස ඒවා නැතිවන රටේ, ඒ නිසාම හිස නවලා ආරාධනා කරනවා සහ විශ්වාශ කරනවා ඔබ අපවත් අපි ඔබවත් තනිවෙන්නේ නෑ කියලා. මේ වෙලේ තමයි තේරෙන්නේ ලෝකේ කවුරුත්ම නෑ අපට උදව් කරන්න. එකම ජාතියක් එකම රටක් කිසිම රාජ්‍ය නොවන ආයතනයක් අප පිටුපස්සේ නෑ. ඉන්නේ අපිට අපි විතරයි. ඒ හෙවනැල්ල විශ්වාස කරලා කීර්ති පැස්කුවල් මහතා තැබුව යෝධ පියවරට අපිත් සාදුකාර දෙන්නේ බොහොම සද්භාවයෙන්. ඉතින් ආරාධනය කරනවා මේ පුන්‍ය කර්මයට මනුෂ්‍යකමේ පෙරහරට ඔබේ සාදුකාරය පූජා කරන්න කියලා මධුමාධව අරවින්ද හැටියට මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

 


රටක් ආදරය කරන කලාකරුවෙක්

තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංග

ජනප්‍රිය, නිර්මාණශීලි කලාකරුවන් බිහිකරන්නට ජාතික තරුණ සේවා සභාව ට හැකි වුණා.ප්‍රින්ස් කියන්නේ රටක් ආදරය කරන කලාකරුවෙක්.ඔහුගේ රෝහල් බිල ගෙවීමේ හැකියාවක් පවුලේ අයට නැහැ.පවුලේ අය ප්‍රින්ස් රෝගීවූ අවස්ථාවේ සිට විශාල කැපවීමකින් කටයුතු කළා.මේ වන විට ප්‍රින්ස්ගේ රෝහලේ බිල ගෙවා දැමීමට ප්‍රසංගයක් පැවැත්වීමට ගායක,ගායිකා සංගමය තීරණය කර තිබෙනවා. කීර්ති පැස්කුවල්,මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් මා සමඟ සාකච්ඡා කළා.එහි දී රංග ශාලාව නොමිලේ ලබා දෙන්න මා එකඟ වුණා.මේ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සහයෝගය ලබා දෙන්න සුදානම්.ගායක,ගායිකාවන් 28 දෙනෙකු පමණ දැනටමත් ප්‍රසංගයට දායකත්වය ලබා දෙන්න සුදානම්.ජාතික තරුණ සේවා සභාවේ ආදී විද්‍යාර්ථයන් ද ඒ සඳහා උදව්කරනවා. ලබන 14 වැනි දා මේ ප්‍රසංගය පැවැත්වෙනවා.ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායම youth extreme කණ්ඩායම මේ ප්‍රසංගය සංගීතවත් කරනවා.මා මෙහිදී විශේෂ ඉල්ලීමක් කරනවා .මේ ප්‍රසංගය නරඹන්න ඇවිල්ලා ඔබේ දායකත්වයත් ලබා දෙන්න කියලා.මේ සඳහා මැදිහත්ව කටයුතු කළ සියලු කලාකරුවන්ටත් මගේ ස්තුතිය පිරිනමනවා.


ගෞරවනීය සමුදීමේ ප්‍රසංගයක්

ගායන ශිල්පි කමිටු සාමාජික ටිරෝන් මද්දුමගේ

මට මුලින්ම ප්‍රින්ස්ව දැන හඳුනා ගන්න ලැබෙන්නේ 1990 අනුව දශකයේදී. ඒ ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණ වුණ අවධියයි. ඒ වන විට ඔහු කැසට් පටයක් නිකුත් කර තිබුණා. අපි හුඟාක් හිතවත් වුණා. සොයුරන් විලසට කලා කටයුතුවල නියැළුනා.

ප්‍රින්ස් අසනීපව ඇති බැව් දැනගත් මොහොතේ පටන් නිතර ඔහු ගැන සොයා බලන්නට මා වෙහෙසුණා. මව් පියන් අහිමිවුණ ප්‍රින්ස්ට හිටිය එකම නැගණිය ඔහුව සුවපත් කරගන්නට අපමණ වෙහෙසක් දරුවා. දේපොල විකුණන්නට සිදුවුණා. අවසාන වතාවට ඔහුව නව ලෝක රෝහලට ගෙනාව මොහොතෙන් මා ඔහු ළඟ සිටියා. අවසාන බෙහෙත් වේලත් අරගෙන දුන්නේ මගේ මිත්‍රයා අජිත් නානායක්කාර. කෙසේ නමුත් ප්‍රින්ස් අප හැර ගියා. අපි අපේ යුතුකම් ඔහු වෙනුවෙන් කළා. ඔහුව මේ මොහොතේ ණය කරුවෙකු වී සමුගෙන ගිය කලා කරුවෙකු නොකර ඔහුට ගෞරවණීය සමුදීමක් දීමේ අරමුණ තමයි මේ. “ආදරණීය ප්‍රින්ස්” ලෙන්ගතු සහෝදරත්වයේ ගෞරවනීය සමුදීම ප්‍රසංගය. මේ සඳහා සමස්ථ රසික ප්‍රජාවගේ සහයෝගය අපි බලා පොරොත්තු වෙනවා.


 හොඳ ජීවිතයක් ගත කළ කලාකරුවෙක්

ජාතික තරුණසේවා සභාව තුළින් බිහිවුණ, ප්‍රවීණ නිවේදක සේනක උබේසිංහ

“මුලින්ම මට ප්‍රින්ස්ව ලෙන්ගතුවෙන්නේ රටේ කවුරුත් ප්‍රින්ස්ව හඳුනන්නේ නැති වෙලාවක. යොවුන් ගී, යොවුන් මිහිර හා සැළලිහිනියෝ කියන කාන්තා සංගීත කණ්ඩායම සමඟ අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල සංගීත සංදර්ශනවලට යනවා.

ප්‍රින්ස්, රෝයි පීරිස් වැනි කලාකරුවන්ගේ ගීත ගායනා කරන කාලයක තමයි, මම නිවේදකයෙක් හැටියට ඔහුව පිරිසට හඳුන්වා දෙන්නේ. ඔහු මුලින්ම ගීත හතරක් පටිගත කරනවා විශාරද නිහාල් ගම්හේවා මහත්මයාගේ පද රචනා හා සංගීත අධ්‍යක්ෂණය යටතේ. ඒ ගීත විවිධ නාළිකාවලට දෙන්න ප්‍රින්ස් වගේම අපිත් බොහොම මහන්සි වුණා. ඒ ගීත ප්‍රචාරය වීමත් සමඟම ඔහු ජනප්‍රිය තත්වයකට පත්වුණා. . ඔහු හොඳ ජීවිතයක් ගත කරපු කලා කරුවෙක්. නමුත් නොපැතු මොහොතක ඔහු රෝගාතුර වුණා. ඒ රෝගාතුර වීමත් සමඟම ඔහු උපයාගත් දේපල ඉඩකඩම් යානවාහන විවිධ අයුරින් ක්ෂය වීමකට ලක්වුණා. යුගයක් තමන්ගේ ගායනා හඬින් සුපෝශිත කරලා. ප්‍රේක්ෂක ප්‍රසාදය නිරන්තරයෙන්ම ග්‍රහණය කරගෙන හිටපු කලාකරුවෙක් ණය කරුවෙක් බවට පරිවර්ථනය නොකර, ඔහුගේ නික්ම යෑම සැබැවින්ම ආදරණීය නික්ම යාමක් බවට පරිවර්තනය කරන්න තමයි අප මේ වෙහෙස මහන්සි වන්නේ. 

Comments