
කලාව හා සාහිත්‍ය යනු විද්‍යාව හා තාක්ෂණය තරමටම රටකට අත්‍යවශ්‍ය දෙයක්. යම් රටක අනන්‍යතාව ලොවට පෙන්විය හැකි මිනුම් දණ්ඩක් ලෙසින්ද මෙය හැඳින්විය හැකියි. සංගීත නිර්මාණ, චිත්‍රපට, පොත්පත්, නාට්‍ය කලාව හා සාහිත්‍යයට සෘජුවම සම්බන්ධ වනවා.
මේ අතරින් පොත්පත් සඳහා හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. තාක්ෂණික දියුණුවත් සමඟ පොත්පත් භාවිතය වර්තමානයේ ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පැවතුනද තවමත් පොත්පත් වලට ඇලුම් කරන පුද්ගලයින් ඕනෑතරම් සිටිනවා.
පසුගිය සතියේ අපි කතාබහ කළ පොත් රජු එවැනි පුද්ගලයෙක්. මෙවර විශේෂාංගයත් වෙන් වන්නේ පොත්පත් සඳහා වූවත් අද කතා කරන්නේ තවත් පොත් රජකු පිළිබඳව නොව පොත් මාලිගයක් ගැනයි.
මෙම පොත් මාලිගය ජර්මනියේ කසෙල් නගරයේ මේ දිනවල පැවැත්වෙන ‘Documenta 14’ නම් කලා ප්‍රදර්ශනයේ ප්‍රධාන අංගය වනවා. පුරාණ ග්‍රීක දෙවොලක් වන පාර්තිනොන් (Parthenon) දෙවොලේ සත්‍ය ප්‍රමාණයටම ‘තහනම් කරන ලද‘ පොත් භාවිතයෙන් ඉදිකර තිබෙන මෙම නිර්මාණය නිම කිරීමට පොත් ලක්ෂයක් භාවිතා කර තිබෙනවා.
ආර්ජන්ටිනා ජාතික කලාකරුවකු වන 74 හැවිරිදි මාර්තා මිනුජින් විසින් මෙම නිර්මාණය ඉදිකර තිබෙන්නේ මෙය මඟින් ලොව පුරා රටවල් වලින් විවිධ කලා කෘතින්ට වැට බැඳීම හෙළා දැකීම සඳහායි.
වර්ෂ 1933 දී හිට්ලර්ගේ නාසි හමුදාව විසින් යුදෙව් පොත්පත් අති විශාල ප්‍රමාණයක් පුළුස්සා විනාශ කර දැමූ ස්ථානයේම මෙම නිර්මාණය ඉදි කිරීමෙන් ඇයගේ අරමුණ තවත් ප්රත්යක්ෂ වනවා.
ඇයගේ මෙම නිර්මාණය නිම කිරීමට වර්ග 170 කට අඩංගු පොත් ලක්ෂයක් භාවිතා කර තිබෙනවා. විවිධ රටවල නොයෙකුත්හේතූන් නිසා තහනමට ලක්වී තිබෙන මෙම පොත් අතරට ශු. බයිබලය, සල්මන් රුශිඩි ගේ සාතන් පිළිබඳ කතා හා මාක් ට්වේන් ගේ ටොම් සෝයර්ගේ වීර ක්‍රියා වැනි පොත්ද අඩංගු වනවා. මෙම පොත් ලැයිස්තුව සෑදීමට කැසෙල් සරසවියේ සිසුන් මාර්තා වෙත සහයෝගය ලබා දී තිබෙන අතර පොත් ලක්ෂය සොයාගෙන තිබෙන්නේ මහජන පරිත්‍යාගයෙනි.
ග්‍රීසියේ ඇක්රොපොලිස් නගරයේ තිබෙන Parthenon දෙවොල ක්‍රි.පූ. 447 ඉදිකර තිබෙන අතර එය ලෝකයේ වැඩියෙන්ම සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක් ලෙසින් හැඳින්වෙනවා. ප්‍රදර්ශනයේ ඉදිකර තිබෙන දෙවොලත් සත්‍ය දෙවොලෙහි නියම පරිමාණයට ඉදිකර තිබෙනඅතර ප්‍රථමයෙන්ම යකඩ රාමුවක් නිමවා ඉන්පසුව එයට පොත් තබා ප්ලාස්ටික් වලින් ආවරණය කර තිබෙනවා.
මේ සඳහා ස්වේච්ඡා සේවකයින් රැසක් මාර්තා වෙත සහයෝගය ලබා දී තිබෙනවා. වසර පහෙන් පහට ජර්මනියේ පැවැත්වෙන මෙම Documenta 14 ප්‍රදර්ශනය Adam Szymczyk ගේ නිර්මාණයකි. දින 100 ක් පුරාවටම මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන නිසා මෙයට පටබැඳී ඇති අන්වර්ථ නාමය වන්නේ දින සියයේ කෞතුකාගාරය ලෙසින්.
අවසන් වරට වසර 2012දී මෙම ප්‍රදර්ශනය පැවැත්වූ විට එයට ලක්ෂ 9ක පමණ ජනතාවක් පැමිණ තිබෙන අතර මෙවර එය මිලියනය ඉක්මවනු ඇති බව සංවිධායකයන් පවසනවා. මෙයට අමතරව මෙම ප්රදර්ශනයේම නිවුන් ප්‍රදර්ශනයක් මෙම මස 16 වැනිදා දක්වා ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවැත්වෙනවා.
දේශපාලනික හා විවිධ පටු අරමුණු නිසා තහනමට ලක්වෙන කලා නිර්මාණ වලට හඬක් ලබා දීමට මාර්තා ගත් උත්සාහයේ සාර්ථකත්වය ප්‍රදර්ශනය ආරම්භ වී දින කිහිපයක් ඇතුළත ඇයව ලෝකයේම කතාබහට ලක්වීම මගින් පෙන්නුම් කරනවා.