
• සොකරි නටද්දී අත කැඩුණා
මගේ ගම මහනුවර තල්වත්ත.මව,පියා සහ සහෝදරියන් පහක් අපේ පවුලේ සාමාජිකයන්.තාත්තා කාගීල්ස් ආයතනයේ රැකියාව කළා.රැකියාවට අමතරව සොකරි නැටීම ඔහුගේ විනෝදාංශයක්. විල්සන් අත්තනායක වන ඔහුව එම පළාතේම අය හඳුනන්නේ සොකරි විල්සන් කී විටයි.තාත්තා සමග සොකරි නටන යාළුවා අපේ ගෙදරට අල්ලපු ගෙදර. ඔහු තමයි සොකරි නාට්‍යයේ පරයගෙ චරිතය රඟපාන්නෙ.නිවාඩු දිනවල කට්ටියම එක්වී සොකරි නටන හැටි බලන්න ලස්සනයි.තාත්තලාගෙ සොකරි නාඩගම් බලා ඉන්න අපිටත් සොකරි නටන්න හොඳටම පුළුවන්. තාත්තගෙ පඩි දවසට අම්මා යනවා ගෙදරට අවශ්‍ය බඩු අරගෙන එන්න.එදාට අම්මයි තාත්තයි එනකම් අපි කරන්නෙ සොකරි නටන එක.එදා හරියට අවුරුදු වගේ හරිම සතුටුයි. ඒ අපිට කන්න විවිධ කෑම වර්ග අරගෙන එනව කියල දන්න නිසයි. දවසක් අල්ලපු ගෙදර ළමය පරයට රඟපාද්දී මම තමයි සොකරි වුණේ. නාට්‍යයේ හැටියට ඒ ළමය මගේ අතකින් අදිනවාත් සමගම අත මොකක්ද වුණා වගේ දැණුනා. ඒත් එක්කම අම්මල ආපු නිසා මම මුකුත්වුණේ නෑ වගේ හිටියා.ඒ ළමයාත් ගෙදර දිව්වා.ඒත් ටික වෙලාවක් යනකොට දරාගෙන ඉන්න බැරි තරමටම අත වේදනාවයි.කියන්නත් බයයි නොකියත් බෑ.හිමින් සැරේ ඒ ගැන අම්මට කීවා.අම්ම බැන බැන වෙදගෙදර අරගෙන ගියා.උරහිසෙන් අත පැනල කියල මාස තුනක් බෙහෙත් බැන්දා.එතනින් සොකරි නැටිල්ලත් ඉවරවුණා.
• රංගනය හැදෑරුවා
විවාහය ඉක්මන් වූ නිසා පාසල් ජීවිතයට බොහොම ඉක්මනින්ම සමුදෙන්න සිදුවුණා.ඔහු අක්කාගේ සැමියාගේ මිතුරෙක්.විවාහයත් සමගම නුවරින් කොළඹට එන්න සිදුවුණා.ගොඩක් හැකියාවන් ඇති මැණිකේ ඇයි මේ තරම් ඉක්මනට විවාහ වුණේ කියා ගුරුවරු පවා කම්පාවී තිබුණා.කොළඹට ආවට පස්සෙ හැමෝම අහන්න ගත්තා ඇයි මෙච්චර දක්ෂතා දක්වන ඔබ මුළුගැන්විලා ඉන්නේ කියා.මටත් ටික දිනක් යනකොට මගේ හැකියාවෙන් වැඩක් ගතයුතුයි කියා සිතුණා.පසුව පුවත්පතක පළවු රංගනය සඳහා පුහුණු කිරීමේ පාඨමාලාවකට ඉල්ලුම්පතක් යොමුකළා.එයට ලැබුණු කැඳවීමේ ලිපිය දුටු වෙලේ පටන්ම මගේ පවුලේ ඥාතීන් හා සැමියාගේ පවුලේ ඥාතින් බොහොම උරණවී උඩරට කුල කාන්තාවෝ බයිස්කෝප්වලට යනවද කියමින්දොස් නගන්න ගත්තා. කොහොමහරි අඬා වැලපිලා ඔවුන්ව කැමැතිකර ගත්තා.ලිපිනයේ තිබූ පරිදි ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට අපි ගියා .ධම්ම ජාගොඩ මහතා තමයි එහි හිටියෙ.මට මතකයි එතුමා මට කීවා රංගනයක් සමග ගීතයක් ඉදිරිපත්කරන්න කියා.ඒ ඉදිරිපත්කිරීම දුටු එතුමා 'ඔයා හරියට මේ පාඨමාලාව කරගත්තොත් අනාගතයේදි ඔයා නැතුවම බැරි කලා ශිල්පිනියක් වනවාකියා අනාවැකියක් කීවා'.ඒ වචන ටික අදත් මතකයි.එදා මෙදාතුර ඇත්තටම මා කලාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් වුණා.
• සමුද්‍රදේවියට ඇරයුම්
සමුද්‍රදේවි නාට්‍යයට නළු නිළියන් තෝරාගන්නා බව සඳහන්වු දැන්වීමක් පත්තරේ තිබුණා.මටත් ඒ ගැන ආසාවක් ඇතිවී එයට ඉල්ලුම්පතක් යොමුකළා.පසුව කැඳවීමේ ලිපියක් ලැබුණා. අප සම්මුඛ පරික්ෂණයට සහභාගිවන්න ගියේ පී.වී.නන්දසිරි මගේ සංගීත ගුරුවරයා සමග.ඒ.ජේ.රණසිංහ මහතා කීවා ගීතයක් ගායනාකරන්න කියා.ගීතය ගායනා කළ විට ඔහුට හරිම සතුටුයි.මෙච්චර දවස් හොයපු සමුද්‍රදේවිය හමුවුණා කියා ඔහු සතුටු වුණා.මට මතකයි ප්‍රවීණ නිළියක් මට ප්‍රධානචරිතය ලබාදීමගැන උරණව පුහුණුවීම් අතරතුර විවිධදේ කියන්න ගත්තා.මටත් තරහ ගිහින් පොඩි බහින් බස් වීමකුත් සිදුවුණා.ඒත් ටික කලක් අප විරසකව සිටියත් පසුකාලයේදි සමීප මිතුරියන් බවට පත්වුණා.පසුව ආර්.ආර් සමරකෝන් මහතාගේ කැලණි පාලම නාට්‍යයට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබෙන්නේ මේ කාලයේ.එහිදීත් මා කළ චරිතයම රඟ පෑ අනෙක් ශිල්පිනිය ආර්.ආර් සමරකෝන් මහතා මා හට එහි මංගල දර්ශනය රඟපාන්න අවස්ථාව දුන්නා යැයි උරණව පිටපත විසිකර යන්න ගියා. එදා පටන් කැලණි පාලමේ රූපවතී වුණා.
• පළිඟු මැණිකෙට පැය හතක් ගඟේ
ධම්ම ජාගොඩ මහතාගේ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයේ රඟ පාන්නෙ ක්ෂේත්‍රයට ආපු මුල්ම වකවානුවේදි. බද්දේගම ගඟක රූගතකිරීමක් තිබුණා.ඒ සූරසේන හා පළිඟු මැණිකේ හමුවන දර්ශනයක්.එදා හොඳටම වැහැලා බෙල්ල ළඟටම වතුර .හිටගෙන හිටියෙත් ගලක් උඩ. ගමේ මින්ස්සු ඇවිත් කිව්වා අද වතුර පාර සැරයි ගඟේ වැඩි වෙලාවක් ඉන්න එපා කියලා.කොහොම හරි පැය හතක් ඒ දර්ශනය ධම්ම ජාගොඩ මහතාට හරියනතුරුම නැවත නැවත කළා.මමවත් දන්නෙ නෑ මට සීතල හැදිලා වතරට වැටණා. ඒත් කොහොමහරි ගොඩට ආවා.කට්ටියම බයවෙලා.එදා මට මුකුත් වුණේ නෑ කියන්නෙ මම ලේසියෙන් මැරෙන්නේ නෑ කියනඑක.මාව දැක්ක ගමන්ම ධම්ම ජාගොඩ මහත්තයා කිව්වා මම හිතුවා මට මණිකක් හදන්න වෙයි කියල.එතුමා වැනි අධක්ෂවරු අද කලාක්ෂේත්‍රයේ නැති තරම්.ඔවුන්ගෙන් ලැබූ ගුරු හරුකම් ශිල්ප දැනුම අදටත් ජීවිතයට වටිනවා. එතුමාගේම මිහිකතගෙ දරුවො නාට්‍යයත් රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා.
• කොණ්ඩය ආභරණයක්
අදටත් රසිකයන්ට මැණිකේ කියන නම ඇසුනු ගමන්ම මගේ දිගු වරලස මතකයට එනවා. මුල් කාලෙ කොණ්ඩෙ අදට වඩා ගොඩක් දිගයි.නිරෝගියි.මේවා අපිට ආරෙට ලැබුණු දේවල්.සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය,සමුද්‍රදේවි,කැලණිපාලම ආදි නාට්‍යවල රඟ පෑ සියලුම රංගන ශිල්පිණියන් අතරින් දිගම කොණ්ඩය තිබුණේ මට.මට මතකයි සමුද්‍ර දේවි නාට්‍යයේ සමුද්‍රදේවි දියේ ගිල්වා මරණදර්ශනයක් තිබෙනවා. අවසානයට තිබෙන එම කොටසේදි එය කරන්නේ කොන්ඩය කඩාදාලා. එය දකින ප්‍රේක්ෂකයන් හානේ කියා හූල්ලනවලු. අම්ම ඉතින් ගෙදර ආපු වෙලේ ඉදන් ඇස්වහ පුච්චනවා.වරක් ඕමාන් රටේදීත් මගේ කොණ්ඩය කඩා දමාගත් ඡායාරූපයකට සම්මානයක් ලැබී තිබෙනවා. බොහෝ වේදිකා නාට්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂවරු කැමැති මැණිකේ අත්තනායකගේ සැබෑ ස්වරූපයට. මේකප් දමාගෙන මගේ ස්වරූපය වෙනස්කරනවට ඔවුන් කැමැතිවුණේ නෑ. මට මතකයි වරක් පළිගු මැණිකේ නාට්‍යයේදි මම හොරෙන් පොඩි මේකප් එකක් කළත් එය ධම්ම ජාගොඩ මහතාට අසුවී මේකප් කළ අයටත් බැනවැදී හෝදගෙන එන්න කියුවා.
• කලාශූරි සම්මානයෙන් පිදුම් ලැබුවා
මුල්ම සම්මානය ලැබුණේ1981 වර්ෂයේදි.ඒ මිනි සළඹ වේදිකා නාට්‍යයට. එහි පත්තිනි දේවියගේ රංගනය වෙනුවෙන් පත්තිනි කුමරියට හොඳම නිළිය සම්මානය ලැබෙනවා. එහි රඟපෑමේදි විවිධ හාස්කම්වලට පවා මුහුණදෙන්න සිදුවුණා. 1987දි කලාශූරි සම්මානය ලැබුණා.ඒ පවාහිනිය,ගුවන්විදුලිය,වේදිකාව හා සිනමාව වෙනුවෙන් කළ දායකත්වය වෙනුවෙන්.ජේ. ආර් ජයවර්ධන පාලන සමයේදි ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපති මන්දිරයේදි එම සම්මානය පිරිනැමුවා. හෙන්රි ජයසේන, සෝමලතා සුබසිංහ, වජිරා වැනි ප්‍රවීණයන් අතරින් ළාබාලම රංගන ශිල්පිනිය ලෙස එදා සම්මාන ලබාගත්තා. එය මගේ ජිවිතේටම බොහොම වටිනවා. අද සම්මාන උළෙලවලදි මෙන් එදා නුසුදුස්සන්ට සම්මාන පිරිනැමුණේ නෑ.
• වේදිකා නාට්‍ය 50 ක්
එදා මෙදාතුර වේදිකා නාට්‍ය 50කට ආසන්න ප්‍රමාණයක් සහ රූපවාහිනි නාට්‍ය 200ක්ද, චිත්‍රපට 50ක පමණ රංගනයෙන් දායකවී තිබෙනවා.පුතුන් දෙදෙනා හා දුවත් හොඳින් අධ්‍යාපනය හදාරා සමාජයේ හොඳ පුරවැසියන්ව සිටිනවා. යෝජනාවක් මත ඉතා අඩු වයසකදි විවාහ වුවත් අපි අපේ ජීවිත ඉතා සතුටෙන් ගෙවනවා.