90 වන වියට පා තබන ජ්‍යෙෂ්ඨ ලේඛක ඩොමිනික් ජීවා | සිළුමිණ

90 වන වියට පා තබන ජ්‍යෙෂ්ඨ ලේඛක ඩොමිනික් ජීවා

පාලම

මම ඔහු ලංකාවේ මැක්සිම් ගෝර්කි ලෙස හැඳින්වීමට මැළි නොවෙමි. මන්ද යත්: ඔහු ද මැක්සිම් ගෝර්කි මෙන් සමාජය පත්ලේ සිට ගොඩනැඟුණු ලේඛකයකු බැවිනි. ලාංකික සිංහල ලේඛකයන් අතර පවා සාහිත්‍ය ජීවිතයේ දී මෙන් ම සමාජ ජීවිතයේ දීත් ඔහු තරම් අභියෝගවලට මුහුණ දුන් ලේඛකයකු සිටී දැ යි මම නොදනිමි. කලක සිට මා ඩොමිනික් ජීවා ලේඛකයා ගැන අසා තිබුණත් සජීව ලෙස මට ඔහු දැකගන්නට ලැබුණේ අදින් දස වසකට පමණ පෙර දවසක ය. යුද ගැටුම් නිමා වීමත් සමඟ සිංහල, දෙමළ හා මුස්ලිම් ලේඛකයන් එක් වී ගොඩනැඟූ ‘සිංහල දෙමළ ලේඛක එකමුතුවේ’ මංගල රැස්වීමේ දී මට දෙමළ සාහිත්‍යයේ පතාක යෝධයා ලෙස සැලකිය හැකි ඩොමිනික් ජීවා සමඟ කථා කිරීමේ භාග්‍යය උදා විය.

ඩොමිනික් ජීවා සහෘදයාගේ දිවි ගමනට වසර අනූවක් සපිරෙන මෙසමයේ ඔහුට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමනුයේ හදවතෙහි උතුරා යන සොම්නසකින් යුතු ව ය. සිංහල ලේඛක ප්‍රජාවගේ මතු නො ව, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම සුහද මිතුරකු වන ඩොමිනික් ජීවා සිය ‘මල්ලිකෛ’ සඟරාව මඟින් කළ සේවය ම වුව ලේඛකයකුට පිරිනැමිය හැකි ඉහළ ම සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුකමක් ලෙස මම සලකමි. ‘පිච්චමල’ නම් අරුත ඇති ඒ සඟරාව අඩසියවසක් පමණ කාලයක් ඔහු පළ කළේ ස්වෝත්සාහයෙනි. ඔහුගේ හිතවතුන්ගේ උදවු උපකාර මිස කිසිදු රජයක් හෝ පළාත් සභාවක් හෝ ඔහුගේ මේ ජාතික මෙහෙවරට අනුග්‍රහයක් දුන්නේ නැත. දේශපාලනික වශයෙන් කොමියුනිස්ට්වාදියකු වූ ජීවා යාපනය කොමියුනිස්ට් පක්ෂ ශාඛාවේ සාමාජිකයකු වූයේ යොවුන් වියේ දී ම ය. කුලභේදය ඔඩුදිව ගොස් යාපනයේ කුලහීන ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මුල් ම තරුණ කණ්ඩායමේ ඔහු ද ප්‍රමුඛ සටන්කාමියෙක් විය.

කුලවාදයෙන් හිස උදුම්මාගත් ගුරුවරයකු විසින් පස් වන පන්තියේ දී ජීවා පාසලෙන් පන්නාදමනු ලැබීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඊට ආසන්න හේතුව වූයේ ජීවා ගුරුවරයාගේ අඩුපාඩුවක් පෙන්නා දීම වුව සැබෑ හේතුව නම් අනෙකකි. එනම්: ජීවා ‘කුලහීනයකු’ වීම ය. එකල දකුණේ මෙන් ම උතුරේ ද ප්‍රභූ වංශිකයෝ කුලහීන ජනයාගේ දරුවන්ට සිප්සතර දීම මහත් අපරාධයක් ලෙස දුටහ. ජීවා මුහුණ දුන් ඒ අත්දැකීම කොතරම් කටුක වුව පසු කලෙක ඔහු එය සැලකුවේ වෙස් වළාගෙන පැමිණි ආශීර්වාදයක් ලෙසිනි. සැබවින් ම ඔහුට ලේඛකයකු වීමට මඟ පෑදුණේ ඒ පන්නා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඩොමිනික් ජීවා සමඟ ‘සිළුමිණ’ පුවත්පතට සාකච්ඡාවක් කිරීමට මට මීට වසර කිහිපයකට පෙර අවස්ථාවක් උදා විය. මෙහි දී පරිවර්තන කටයුතුවලින් උදවු කළේ දික්වැල්ලේ කමාල් සහෝදරයා ය. පහ වසරේ දී තමා මුහුණ පෑ ඒ වේදනාකාරි සිද්ධිය විස්තර කරමින් ජීවා පැවසූ වදන් මෙබඳු ය: “අපේ තාත්තා කරනැවෑමියෙක්. ඒ වගේ රස්සා කරන උන්ට මොන අධ්‍යාපනයක්ද කියලයි ගුරුවරයා මාව පන්නගත්තේ. කවදහරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න හීන මවපු මම අන්තිමට නතර වුණේ තාත්තගෙ බාබර් සාප්පුවෙ. මම බාබර් සාප්පුවෙ පොළොවට අත ගහල මට ම දිවුරගත්තා කවද හරි ගුරුවරයාට උත්තර දෙනවා කියල. ඇත්ත ම කියනවා නම් පන්තියෙන් පැන්නුවටත් වඩා මට දරාගන්න බැරි වුණේ අපේ තාත්තගෙ රස්සාවට නිග්‍රහ කරපු-එක යි.”

ජීවාගේ විශ්වවිද්‍යාලය සිහිනය බිඳවැටුණ ද රටේ නමක් දිනූ මිනිසකු වීමේ අපේක්ෂාව ඔහු අත්හැරියේ නැත. ඔහු පියාගේ ජෝසප් සැලුන්හි වැඩ කරන ගමන් විවේකයක් ලද හැම විටක ම පොත් කියවීමට පෙලඹුණේ ය. පූබාලසිංහම් පොත් සාප්පුව තිබුණේ ඔවුන්ගේ බාබර් සාප්පුවට නුදුරිනි. ඒ ඉදිරිපිට ලී බංකුවේ හිඳගෙන පොතක් කියවන යෞවනයකුගේ දසුන ටික කලක් ගත වන විට එහි යන එන කාගේත් නෙත ගැටුණේ ය. පොත් සාප්පුවේ හිමිකාර පූබාලසිංහම් මහතා මේ උද්‍යෝගවත් කොලුවාට කිසිදු බාධාවක් කළේ නැත. ජීවාට රාජගෝපාල් ගුරුතුමා මුණගැසුණේ මෙසේ බංකුව උඩට වී පොත් කියවමින් සිටින අතරතුරේ ය. කුල අභිමානයෙන් ඉදිමුණු එක් ගුරුවරයකු ජීවා පන්තියෙන් පැන්නුව ද යාපනයේ ගුරුවරු සියල්ල එසේ නො වූ හ. රාජගෝපාල් ගුරුතුමා දින කිහිපයක් ම ජීවා නිරීක්ෂණය කිරීමෙන් පසු දිනක් ඔහු හා කතාබහට එළඹිණි. “මම බංකුව උඩට වෙලා පොත් කියවන හැටි බලන් ඉඳලා ගුරුතුමා කිව්වා ‘කියවල විතරන් මඳි, ලියන්නත් පුරුදු වෙන්න ඕනෑ’ කියලා. ඇත්තට ම එතුමා තමා ලිවීමේ ආසාව නමැති ගිනිසිළුව මා තුළ දැල්වූවේ. ටික දවසක් ගත වන විට මම පුංචි පුංචි දේවල් ලියන්න පටන් ගත්තා. ගුරුතුමා ඒවා කියවලා අඩුපාඩු පෙන්නා දුන්නා. ඒ කාලෙ මම වැඩි උනන්දුවක් දැක්වුවේ කෙටිකතා ලියන්න. ලංකාවෙ දෙමළ පත්තරවලට අමතර ව ඉන්දියාවේ පත්තර සඟරාවලත් මගේ නිර්මාණ පළ වුණා. දකුණු ඉන්දියාවේ වාමවාදි අදහස් දරපු ‘වසන්දම්’, ‘සරස්වතී’, ‘තාමරෛ’ වගේ ප්‍රකාශනත් මට රුකුලක් වුණා.”

ඩොමිනික් ජීවා තැළෙන පෑගෙන පීඩිත ජනතාවගේ කඳුළු අතරින් බිහි වූ ලේඛකයෙකි. ඔහුගේ පන්හිඳ පන්නරය ලැබුවේ කුල පීඩනයට එරෙහි ව හා ජීවත් වීමේ අයිතිය ඉල්ලා සටන් වැදුණු ජනතාවගේ ලේ-කඳුළු මතිනි. යාපනයේ ප්‍රගතිශීලී තරුණ කණ්ඩායමක් එක් වී කුලහීන කාන්තාවකගේ මෘත දේහයක් කුලීනයන්ට පමණක් වෙන් කරගෙන තිබූ සොහොන් පිටියක මිහිදන් කිරීමට රැගෙන ගියහ. ජීවා ද එහි පෙරමුණේ ම ගමන් කළේ ය. ප්‍රකෝප වූ කුලීනයෝ අවමඟුල් පෙරහැරට වෙඩි තැබූ හ. සටන්කාමි තරුණයෙක් වෙඩි වැදී මිය ගියේය. මේ ඛේදනීය සිද්ධිය සිදු වූයේ නවසිය හතළිස් ගණන්වල ය. සිය ඇස් පනා පිට සිදු වූ මේ අපරාධය ජීවාට දරාගන්නට බැරි විය. පෑන අතට ගත් ඔහු කෙටිකතාවක් ලීවේ ය. ඔහුගේ මුල් ම කෙටිකතාව වූ එය ‘සුන්දරන්’ පත්තරයේ පළ විය. නිදහස ලැබීමෙන් පසුව වුව කුල පීඩනයේ අඩුවක් සිදු නොවිණ. දකුණේ මෙන් ම උතුරේ ද නිදහසේ පළ නෙළාගත්තේ ඇති හැකි පන්තියේ මිනිසුන් බැවිනි.

පීඩිත ජනතාවට සැබෑ විමුක්තියක් ලැබෙනුයේ සමාන­ාත්මතාව රජයන පාලන ක්‍රමයකින් බව එදා පමණක් නො ව, අද ද ජීවාගේ විශ්වාසය යි. එදා වගේ ම අදත් ඔහු සිය පෑන මෙහෙයවනුයේ ඒ උදාර අරමුණ වෙනුවෙනි. 1961 දී ජීවාගේ ‘තන්නීරුම් - කන්නීරුම්’ (වතුරයි කඳුළුයි) කෙටිකතා පොතට රාජ්‍ය සම්මාන හිමි විය. එය ලංකාවේ පැවති ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී දෙමළ පොතකට පිරිනැමූ ප්‍රථම රාජ්‍ය සම්මානය ලෙස ඉතිහාසගත ව තිබේ. සම්මානයෙන් පිදුම් ලැබුව ද ජීවා සිය සමාජ දේශපාලන දැක්ම අබමල් රේණුවක තරමිනුදු වෙනස් කළේ නැත. අනූවැනි වියට පා තබන විටත් ඔහුගේ පන්හිඳ තරුණ ජවයෙන් පිරී ඇති බව නිසැක ය. “හොඳ ලේඛකයෙක් වෙන්න නම් හොඳ දේශපාලන දැක්මක් තිබිය යුතු යි. ජනතාවට අවංක ව ම ආදරය කරන ලේඛකයකුට විතරයි සැබෑ ලේඛකයකු විය හැක්කේ. ලේඛකයාගේ දේශපාලනය ජනතාවට නිවැරදි මඟ පෙන්වන එකක් මිස ඇතැම් දේශපාලනඥයන්ගේ මෙන් අවස්ථාවාදි අරමුණුවලින් පිරුණු එකක් නොවිය යුතු යි.”

ඩොමිනික් ජීවා සිය ප්‍රගතිශීලි සමාජ දේශපාලන දැක්ම කැටි කර දක්වමින් අප හා එසේ පැවසීය. ලේඛකයා යනු කිසිදු අසාධාරණ බලවේගයක් හමුවේ හිස නොනමන අභීත ජනතා පුත්‍රයකු විය යුතු ය, යන්න මේ කියමනෙන් ඔහු යළි යළිත් තහවුරු කර සිටියි.

හිරිමල් යොවුන් වියේ දීම පන්හිඳ අසිපතක් මෙන් ලෙළවමින් ලේඛන කලාවට බට ඩොමිනික් ජීවා ලේඛකයාණනි, ඔබ අපට ශක්තියක් මැ යි, ඔබ අපට පහනක් මැ යි. චිරං ජයතු සහෘදය!

Comments