
1. ගිලන් රිය - ගිලන් වූවන් (රෝගීන්) ගෙන යෑම පිණිස යෙදෙන රිය හඳුන්වනුව භාවිත කැරෙන නිවැරැදි වදන යි. ඇතැම්හු මෙ සඳහා ‘ගිලන් රථ’ යනු යොදති. ‘ගිලන්’ යනු සිංහල වදන් ද ‘රථ’ යනු සංස්කෘත - පාලි දෙක්හි සම වැ පැනෙන්නක් ද වනුයෙන් එ යෙදුම නො ගැළැපේ. එ වැනි යෙදුම් වියරණයට විරුදු නොවන නමුදු වියත් වහරට එතරම් නොගැළැපෙන හෙයින් හැකි සියලු තන්හි නො යොදා සිටීම මැනැවි. සංස්කෘතයෙන් ම යෙදීම ඇවැසි නම් මෙහි ලා ‘ග්ලාන රථ’ යනු යෙදිය හැකි යි. නැත හොත් පාලියෙන් ‘ගිලාන රථ’ යනු යෙදිය හැකි යි. එ වුව ද එ බඳු යෙදුම් වත්මන් වහරට නම් සුදුසු ලෙසක් නො පෙනේ.
2. ගිලන් උවටැන / ග්ලානෝපස්ථානය - ගිලනුනනට උවටැන කිරීම මෙයින් හැඳින්වෙයි. ගිලන් උවටැන යනු සිංහල වදන් දෙකෙක එකතුවෙකි. ග්ලානෝපස්ථාන යනු සංස්කෘත යි. එ හෙයින් මෙ දෙක ම සුදුසු පරිදි යෙදිය හැකි යි. එහෙත් ඇතැමුන් යොදන ගිලානෝපස්ථාන යනු පාලි - සංස්කෘත මිශ්‍රණයෙකි. එ හෙයින් වියත් වහරට ගැළැපෙන ලෙසක් නො පෙනේ.
3. ගුණ - මේ වනාහි සංස්කෘත, පාලි, සිංහල තුන් බසෙහි ම පොදු වැ පැනෙන වදනෙකි. අග මූර්ධජ ‘ණ’ යෙදෙන සැටි වෙසෙසින් සැලැකිය යුතු ය. ණ ත්ව හේතුවක් (‘ණ’ යනු යෙදීමට විශේෂ නිමිත්තක්) නැති ව ස්වභාවයෙන් ම (මූර්ධජ) ‘ණ’ යෙදෙන තැනෙකි මේ. ගුණවත්, ගුණහීන, නිර්ගුණ, අගුණ ආදි සියලු තන්හි ද ගුණ යනු මෙ සේ ම යෙදන සැටි සැලැකිල්ලට ගත යුතු ය.
4. ගුරුළු - එක්තරා මනඃකල්පිත පක්ෂි විශේෂයක් හඳුන්වනුව යෙදෙන වදනෙකි. මෙහි අග (මූර්ධජ) ‘ළු’ යෙදෙන අයුරු වෙසෙසින් සැලැකිය යුතු යි. එ හෙයින් ‘ගුරුලු’ යනු ඉඳුරා වැරැදි ය. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි යෙදෙනුයේ ‘ගරුඩ’ යි. පාලියෙහි ‘ගරුළ’ යනු යෙදේ. එ අනුව බැලුව ද අග (මූර්ධජ) ‘ළු’ යෙදෙන අයුරු මැනැවින් පැහැදිලි වේ. සිංහලයෙහි පක්ෂ පර්යාය වූ ‘කුරුලු’ යන්න මේ ගරුඩ > ගරුළ යන්නෙන් නිපන් හ යි ඇතැම් වියතුන් දක්වතුදු එය පිළිගැන්ම අපහසු ය. තුලනාත්මක වාග් විද්‍යාව ද දන්නවුන් විසින් තව දුරටත් විමැසුව මනා ය.
5. ගුළු - මෙහි අග යෙදෙන (මූර්ධජ) ‘ළු’ කෙරෙහි අවධානය යොමු කළ මනා ය. එහි (දන්තජ) ‘ලු’ යෙදීම වරදෙකි. සංස්කෘතයෙහි මේ හා අනුරූප වැ යෙදෙනුයේ ‘ගූඪ’ යනු යි. සිංහල වදනෙහි (මූර්ධජ) ‘ළු’ ම යෙදෙන බව ඉනුදු පැහැදිලි වේ. සැඟැවුණු, ගුප්ත යන අරුත් ගුළු යන්නෙන් ලැබේ. අද වහරෙහි එ තරම් නොයෙදෙතත් පැරැණි වහරෙහි සුලබ වැ දක්නා ලැබුණු වදනෙික.
6. ගුළි - මෙහි දු සැලැකිල්ල යොමු කළ යුත්තේ වදනෙහි අග යෙදෙන (මූර්ධජ) ‘ළ’ කෙරෙහි ය. සාමාන්‍ය ව්‍යවහාරයෙහි වඩාත් ප්‍රචලිත වැ ඇත්තේ (දන්තජ) ‘ලි’ සහිත ගුලි යන්න වුව ද එය නිවැරැදි නො වේ. සංස්කෘතයෙහි මේ හා අනුරූප වැ යෙදෙන ‘ගුටික’ ශබ්දයක් වෙයි. ‘ගුළි’ යන්නෙහි (මූර්ධජ) ‘ළි’ විනා (දන්තජ) ‘ලි’ නොයෙදෙන බව ඉනුදු තිර ෙව්.