
“මේ ලංකාධීපයෙහි සිංහලේ පළාතවල් ඉංග්‍රීසි ආණ්ඩුවට පාවා දෙන්නට යෙදුණු සන්දියේදී සහ ඉන්පසු සිද්ධ වුණා වූ කැප්පෙටිපොළ දිසාවගේ බලවත් කැරැල්ලෙදීත් කරන්ඩ කියන්ඩ යෙදුණු කාරණා ගැන මනුෂ්‍යයන් අතරේ දැනට නොයෙක් ප්‍රභේද වූ කතාවල් පවතිනවාය. මින් පසු මේ කාරණා ගැන දැනටත් වඩා වැරැදි වූ බොහෝ කතාවල් පතල වෙන්ට පුළුවන. ඉන්නිසා ශ්‍රී වික්‍රම මහ රජාණන් ඇල්ලීමට සහ කැප්පෙටිපොල කැරැල්ලේ යුද්ධයටත් ගියා වූ මම අවුරුදු හතරක් පමණ පැවතුණා වූ ඒ කෝලහාලවලදී සිදුවූ කාරණා සංක්ෂේප වශයෙන් මට මතක තිබෙන හැටියට කලින් කලට ටික ටික ලියා තමුන්නාන්සේ වෙත එවිය යුතු ය කියා සිතමි. එලෙසින් මා විසින් එවන්ට යෙදෙන කාරණා සජ්ජනයන්ගේ ප්‍රසාද සංවේගය පිණිස තමුන්නාන්සේ විසින් සම්පාදනය කරන අනර්ඝ වූ සිංහල සංග්‍රහ නම් පත්‍රයෙහි ප්‍රසිද්ධ කිරීම යුතුව පෙනෙනවා නම් එලෙස කරන මෙන් ඉල්ලමි. එහෙයින් මා විසින් එවන්නා වූ මේ පළමුවැනි ලියුමේ සිංහලේ රාජ්ජය කර වදාළා වූ ශ්‍රී වික්‍රම මහා රාජෝත්තමයාණන් වහන්සේ ඉංග්‍රීසි හමුදාවට අසුවන අන්දම මට දැනට මතක තිබෙන ප්‍රකාරය මෙලෙස දැනුම් දෙමි.
රජ්ජුරුවන් ඇල්ලීමට පිටත්වූ යුද හමුදාව රංචු කීපයකට බෙදී මහනුවරට යන්ට ගියේය. එයින් මම ගිය රංචුවේ කප්පිත්තන් වන දෙබුස් ලොයිතැන්ත්, ස්තේකන් ඇන්සයින් ක්ලැරට් යන ඉංග්‍රීසි මහත්තැන් ද, කව්ඩුමුනේ ද, තෝර වතුරේ ද, කුරුඳුමුන්නේ ද යන සිංහලේ මොහොට්ටාලවරු තුන්දෙනා ද, ක්‍රීසි සහ කූප්පන් යන ජාකප්පිත්තෝ දෙන්නා ද ඇතුළුව සිපයි ජාවො බංගලි හමුදාව අටසීයක් පමණ සිටියෝය.
අපි සත් කෝරළේ පහළ දොළොස් පත්තුවට අයිති නාගහගෙදර මැදින් යන අතර සිංහලේ නායක්කාර කෙනෙක් ඇතුළු වූ සෙනඟක් සමඟ සුළු යුධයක් වී ඔවුන් පන්නා දමා කුරුණෑගලට බැස සත් කෝරළේ ඉහළ දොළොස් පත්තුව හරහා මාතලේට පැමිණ එතැන් පටන් ගොංගාවන පාරේ මහනුවරට බහින්නට යන අතර අලුත්ගන් තොටුපොළ ළඟදී ජනරාල් ‘ඩොයිලේ’ උන්නාන්සේද, කර්නල් ‘හාඩි’ සහ කර්නල් ‘හුක්’ උන්නාන්සේද තෘප්පුකාර කප්පිත්තෝද, ඔපිසර් මහත්තැන් බොහෝ ගණනක් ද, තඹි මුදියන්සේ ද, ජා මුහන්දිරම් ද, ඉංග්‍රීසි බංගාලි, සිපයි, ජා සොල්දාදුවෝ බොහෝ රාශියක් ද, ඇහැළේපොල, මොල්ලිගොඩ යන අදිකාරම් දෙපොල සහ පිළිමතලව්වේ දිසාව ඇතුළුව උඩුනුවර, යටිනුවර දෙකේ සිංහල සේනාව ද, සබරගමුවේ එක්නැලිගොඩ මොහොට්ටාල ද, දොළොස්වල මොහොට්ටාල ද, මහවලතැන්නේ මොහොට්ටාල ද, තවත් නිලමෙවරු කීප දෙනෙක් ද, ඇතුළුව බොහෝ රාශි ගණනක් සෙනඟ ගඟෙන් මෙගොඩ වෙනවා අපට සම්බ උනෝය.
මේ සෙනඟගේ ගණන කොපමණ ද කීවොත් පස් දවසක් මුළුල්ලේම ඔවුන් අලුත් ගංතොටින් මෙගොඩ උනෝය. අපිත් ඔවුන් සමඟ එකතු වී මැද මහනුවර රජ්ජුරුවෝ ඉන්නවා ය යන වග අසා එහි යන්ට ගියෙමු. ඒ යන අතර තෙල්දෙණියේ හංවැල්ල යන ගමේදී මැද මහනුවරට තව දවසක ගමන් ඇත කියා ජා මුහන්දිරම් කී නිසා එහි නැවතී සිටියෝය. මේ ඉඩමේ බොහෝ දිග පළල ඇති වෙලක් තිබුණේය. ජනගහනයේ ඌෂ්ණය නිසා එක්නැලිගොඩ මොහොට්ටාලත් මමත් වෙලේ ඇවිදින්නට යන්ට සවස තුනට වගේ පිටත් වුණෝය. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල සමඟ සබරගමුවේ සෙනගෙන් පන්සීයක් පමණ පිටත් වුණෝය. මා සමඟ ඉඹුලන්වල ආරච්චි රාල ද යටිපහුවේ කන්කානම ද පිටත් වුණෝය.
මෙලෙස අපි හැතැක්මකින් තුනෙන් පංගුවක් පමණ යන අතර වෙලේ හරහට වයස් දහයක දොළහක පමණ කොලු ගැටයෙක් දුවගෙන යනවා සම්බව සබරගමුවේ සෙනඟගෙන් සමහර දෙනෙක් මොහු එලවා අල්ලාගෙන ආවාම ඔහු මහත් බයින් වැඳගෙන ‘හාමුදුරුවරුනි, මා මරණ්ඩ එපාය. දෙවි හාමුදුරුවෝ වැඩ හිටින තැන මම පෙන්නා දෙංඤාය’ යි කීවේය. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල මේ කොලුවාගේ තුනටියේ වැල් පටක් දමා බන්දවා වැලෙන් අල්ලාගෙන ඔහු ඉස්සර කරගෙන අපි සැම දෙනාම ගියෝය. මෙසේ ටිකක් දුරට ගොස් ‘ඔන්න ඔය දෙවි හාමුදුරුවෝ වැඩ ඉන්න මාලිගාවට ඉහළින් ගහය’ කියා නුග වෘක්ෂයක් පෙන්නුවේය. එතනට අපි ළං වෙනකොට වසා තිබුණු එගෙයි දොර ළඟ ආරච්චි ගෙයි ගෑනු දෙන්නෙක් සිටියෝය.
මිදුලේ සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් ලන්සයක් අරගෙන සක්මන් කරමින් සිට, ‘හා, එක්නැලිගොඩ රාළ කොයි යනවා ද?’ කියා ඇසුවාම ‘අපිත් මෙහාට ආවා තමයි’ කියා ඔහු උත්තර දෙන අතර සැතපෙන ගෙයි අප්පුහාමි අතේ තිබුණු ලන්සෙන් එක්නැලිගොඩ මොහොට්ටාලට ඉතාම සැරෙන් ඇන්නේය. නමුත් ඒ ඇනුම ඔහුගේ වාසනාවන්තකමින් ඔහුට නොවැදී ලන්සේ බිම ඇනී කැබලි කීපයකට කැඩී යන ලද්දේය. එතකොට සබරගමුවේ මිනිස්සු ඔහු අල්ලාගෙන අතින් අතට ඉහළට ගත්තා මම දුටුවා මිස, ඔහුගේ ශරීරයට මක් උනාද කියා මම නොදනිමි. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල ගෙයි දොර ළඟට ගොස් දොර අරින්ට කියා රජ්ජුරුවන්ට කීවේය. නමුත් රජ්ජුරුවෝ දොර නෑර ගෙයිම සිටගෙන ‘එක්නැලිගොඩ අපේ නෑයාද’ කියා ඇසුවෝය. එතකොට ඔහු ඒ මම තමයි, දොර අරින්ඩෙයි’ කියා කීවේය. එතකොට සොරොව්වකින් රිදී වැඩ කරපු වඩන තුවක්කු තුනක් ද ක්‍රීස් දෙකක් ද එළියට දැම්මෝය.
එහෙත් රන් කඩුව එළියට දමන්ට කිවූ නමුත් එලෙස කළේ නැත. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාලගේ කීම පිට මිදුලේ තිබුණු වංගෙඩි වගයක් අරගෙන පාරවල් කීපයක් දොරට ගැසුවාම දොර පැලී ගියේය. ඉන්පසු සබරගමුවේ මිනිස්සු ගේ ඇතුළට වැද ටිකක් වෙලා ගෙයි කෝලාහල කරමින් සිට දේවියන් වහන්සේලාගේ සියලුම ඇඳුම් පැලඳුම් කඩාගෙන රෙදි හතර රියන පමණක් පිටින් දොරට දැම්මෝය. එවිට ඒ දේවීන් වහන්සේලා දෙනම බොටු කපාපු කුකුළෝ වගේ ඒ මේ අතර වැටෙමින් එහා මෙහා වැනෙමින් තැනින් තැන පෙරෙලමින් සිටින අතර ගේ ඇතුළට නොවැදී කිසිවක් නොකොට මගේ මිනිස්සු දෙන්නත් සමඟ පිටත සිටි මම ‘අම්මේයාර්, නීංග පයප්පඩ වාන්ඩම් ඉංගාලේ වාංගෝ’ කියා කීවෙමි. එවිට ඔවුන් දෙදෙනා ‘නාංග කාපාත්ති කෝන්ගෝ’ යන වචනවලින් මා වෙතට පැමිණ මගේ දෙවුරේ එල්ලී ගත්තෝය. විනාඩි ස්වල්පයක් ඇතුළතදී මගේ රෙදි බොහෝ සේම ලේ පෙවී තිබෙනවා දැක බැලූ විට බිසවුන් වහන්සේලාගේ කුණ්ඩලාභරණ කඩා ගනිද්දී කන් ඉරා දමා තිබුණේය.
ඒ තැන්වලින් ගිය ලෙයෙන් මගේ ඇඳුම් තෙමුණේය. ඒ කෝලාහලය ඇතුළතදීම ඉඹුලන්වල ආරච්චිරාළ ලවා බෙහෙත් කොළ වර්ගයක් ගෙන්වා පොඩි කොට තබා ලේ හිටෙව්වෙමි. මීට ස්වල්ප වේලාවකට පසු රජ්ජුරුවන් වහන්සේත් බලාත්කාරයෙන් එළියට දමා ‘තොගේ අප්පාට ගෙන ගොහින් බාර දෙන්ඩ වර’ යනාදී නොයෙක් පරුෂ වචන කියා එක්නැලිගොඩ මොහොට්ටාල, ‘මූ ඌරෙක් වගේ බැඳලා කුදලාගෙන යන්ට කිරිඳිවැල් ගෙනෙවු’ යි කියා බඳින්නට ජෝඩු කරන විට මම මොහොට්ටාලට කථා කොට ‘නිලමෙ සිංහලේ ඇත්තෝ වන තමුන්නාන්සේලා අද මේ පැය වනතුරු මේ රජ්ජුරුවන් වහන්සේට දෙවි හාමුදුරුවෝය, ස්වාමීන් වහන්සේය, දෙමවුපියෝය යනාදීන් කියමින් වැඳ වැටෙමින් බැහැ දකිමින් යටත්ව සිටින නිසා මුන් වහන්සේ අපිට යටත්කමක් නැත.
මුන් වහන්සේ තමුන්නාන්සේලාගේ රජ්ජුරුවෝය, දෙවියෝය, ස්වාමියාය, දෙමවුපියෝය, උන්වහන්සේ වගේ කියන්ට ඕනෑවා මිස උන් වහන්සේ බැඳ අපහාස වශයෙන් නෙරෙක්කු කිරීම තමුන්නාන්සේලාට යුතු නැත.’ කියා කීවෙමි. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල මට බොහොම තද බලයෙන් කථා කොට, ‘ඔතන කීම ගන්ට අපි මෙහෙ ආවා නොවේය’ කියා රජ්ජුරුවන් කිරිඳිවැල්වලින් බඳින්ට ජෝඩු උනේය. එතකොට මගේ කරේ තිබුණු සාළුව ගලවා මේකෙන් බඳින්ඩෙයි කියා ඒක දුනිමි.
මෙසේ රජ්ජුරුවන්ට කරන්නා වූ වෙහෙස ද අපහාස ද මහත් වූ වික්ෂේපයකින් මම බලා සිට කනගාටුව දරාගන්ට නුපුළුවන්ව ඩොයිලේ උන්නාන්සේට මේ බව ලියා අරින පිණිස මගේ සාක්කුවෙන් කඩදාසි කෑල්ලක් සහ පැන්සලයක් ගන්ට උත්සාහ කළ නුමුත් දේවීන් වහන්සේලා දෙන්නා මගේ උර දෙකේ එල්ලී අත් දෙක බදාගෙන උන් නිසා නුපුළුවන්ව යටිපහුවේ කංකාණමට කියා ඒවා මගේ සාක්කුවෙන් අරගෙන අත්දෙක යන්තම් බුරුල් කරගෙන ඔහුට කරබාන්ඩ කියා ඔහුගේ පිට උඩ තියා මෙලෙස ලීවෙමි. එනම්:
‘ඩොයිලේ උන්නාන්සේට බලාගන්නා වග නම් සිංහලේ රජ්ජුරුවෝ අපට අසුවුණෝය. දැන් එක්නැලිගොඩ මොහොට්ටාල රජ්ජුරුවන්ට බොහෝ නෙරෙක්කු කරමින් අපහාස වශයෙන් බැඳලා තල්ලු කරගෙන එනවාය. එනිසා දෝලා ගණනකුත් ගෙන්වාගෙන තමුන්නාන්සේ කඩිනමට මෙහි එන්ට ඕනෑය. රජ්ජුරුවෝ සහ බිසවුන් වහන්සේලාත් නිර්වස්ත්‍රව වගේ සිටින නිසා රෙදිත් ගෙනෙන්ට ඕනෑය.’
මෙසේ ලියා මේ ලියුම යටිපහුවේ කංකාණම අත බොහොම ඉක්මණට යැව්වාය. ඊට සිංහල ගණනේ පැයක් පමණ වේලා යන්ට පළමුවෙන් කර්නල් හාඩි උන්නාන්සේත්, කර්නල් හුක් උන්නාන්සේත් ඔපිසර මහත්තැන් ගණනකුත් තෘප්පුකාරයෝ පණහකුත් අස්වයෝ පිටින් ඉංග්‍රීසි සොල්දාදුවෝ සියයක් සමඟ දෝලා හයක් ඩොයිලේ උන්නාන්සේ එව්වේය. ඒ අතර සබරගමුවේ ඇත්තෝ රජ්ජුරුවන්ට පයින් යන්ට බැරි නිසා බිම එළා තල්ලු කරගෙන ගුහින් එක තැනක පිට්ටනියක හරහා දමා තිබුණේය.
එතෙකොට මෙහි කර්නල්වරු දෙන්නා සහ අනිකුත් ඉංග්‍රීසි සේනාව අප සිටි තැනට පැමිණ රජ්ජුරුවන්ට නෙරෙක්කු පීඩා කරමින් සිටි සබරගමුවේ අයට කස පහරවල් ගහමින් නොයෙක් අපහාස වශයෙන් එහා මෙහා පන්නා දමා කර්නල්වරු දෙන්නා අශ්වයින් පිටින් බැස තොප්පි ගලවා රජ්ජුරුවන් වහන්සේ ඉදිරිපිට දණ නමස්කාර කොට බැමි ලිස්සවා සාත්තුකර හිත් සනසා සැප පහසු විචාරා බඩගිනි පිපාස විභාග කළෝය. රජ්ජුරුවෝ පිපාසය කිව් විට යම් බීර ජාතියක් බොන්නට මනාප ද කියා කර්නල්වරු ඇසුවාම ‘මට දැන් මොන බීමද’ කියා රජ්ජුරුවෝ උත්තර දුන්නෝය. එතකොට කර්නල් ගාඩ් උන්නාන්සේ ‘බ්‍රැන්ඩි, වයින්, මදේරා, පොර්ට් වැයින්, ක්ලැරැට්, බීර ආදි නොයෙක් බීම ජාතිවලුත් තියෙනවාය. මනාප දෙයක් කන්ට බොන්ට හොඳය’ කියා කීවේය.
එවිට රජ්ජුරුවෝ මදේරා වැයින් බෝතල බාගයක් පමණ වතුරත් සමඟ බිව්වෝය. ඉන්පසු රජ්ජුරුවන්ට සහ බිසවුන් වහන්සේලාට සුදු රෙදි ඇඳින්නට දී දෝලාවට වැඩමවා ගත්තෝය. ඒ අතර රජ්ජුරුවෝ මට කතා කොට ‘පුතා, මෙහෙ වරෙන් දැන් මා ගෙනගුහින් ඉංග්‍රීසිකාරයෝ මරා දැම්ම මුත් මේ ස්ත්‍රීන්ට යම් ප්‍රාණ හානියක් කරන්නේ නැත. මේ ස්ත්‍රීන් දෙදෙනා උඹට බාරය. උඹ උන් ආරක්ෂා කර ගන්ට ඕනෑය’ කියා කිව්වෝය. එතකොට මම ‘ස්වාමීන් වහන්සේට කිසි අන්තරාවක් වෙන්නේ නැත’ කියා කීවෙමි. රජ්ජුරුවෝ සහ බිසවුන් වහන්සේලා දෝලාවලින් උස්සා ගන්නවා හා සමඟම කර්නල්වරු දෙන්නා අශ්වයින් පිටින් කඩු ඇදගෙන රජ්ජුරුවෝ උන් දෝලාව දෙපැත්තෙනුත් අනිකුත් ඔපිසර මහත්තැන් එලෙසම කඩු ඇදගෙන දෝලා තුන වටේටත් තෘප්පුකාරයෝ පණහ එසේම අශ්වයින් පිටින් කඩුගත් අත් ඇතිව ඉස්සරහින් සහ පස්සෙනුත් ඉංග්‍රීසි සොල්දාදුවෝ සියය ඊයන් වෙඩි බෙහෙත් දමා බයිනෙත්තු ගහපු තුවක්කු කොකා ඇදගෙන ඉස්සරහින් සහ පස්සෙන්ද සෑදී මහත් ගරු නඹුවෙන් රජ්ජුරුවන් ගෙන ගියෝය.
මේ ගමනේදී උඩරට සිංහල මිනිස්සුවත් ජාවෝවත් සිටියේ නැත. ඉංග්‍රීසි මිලිටරියේ ඇත්තෝත්, පහතරට සිංහල මිනිස්සු වන අපි කීප දෙනෙකුත් පමණක් සිටියෙමු. මෙලෙස ඩොයිලේ උන්නාන්සේ ඇතුළුව යුද හමුදාව උන් තැනට රජ්ජුරුවන් සහ බිසවුන් වහන්සේලා දෙනමත් දෝලාවලින් සහ එක්ව සිටි ආරච්චිගේ ගෑනු දෙන්නා පයින් අරගෙන ඉර බහින වේලාවට පමණ පැමිණුනෝය. එවිට ඩොයිලේ උන්නාන්සේ රජ්ජුරුවන් සහ බිසවුන් වහන්සේලා දෙනමත් බොහෝ ගරු නඹුවෙන් පිළිගෙන ඉටි ගේක යහනාවල තනවා පිටින් මුර ජාම තියා ප්‍රවේසම් කරගෙන සිට දවස් දෙකකින් මහනුවරට ගෙන ගියෝය.’